සිය පවුල වනසා රට වනසමින් සිටි
පාපතරයාගේ මෙතෙක්‌ කතාව




ඒ ඉකුත් 2012 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මුල් සතියේ එක්‌තරා දිනයකි. වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත අලුතින් රැඳවියෝ පිරිසක්‌ රැගෙන ආහ. මේ රැඳවියෝ අතර විවිධ ගණයේ අපරාධකාරයන් වූහ. කුඩ්ඩන්, පාතාල සාමාජිකයන් ස්‌ත්‍රී දූෂකයන් මිනීමරුවන් අතර එක්‌තරා සුවිශේෂී අපරාධකරුවකු ද සිටියේය.

ඔහු නමින් කුමාරස්‌වාමි ක්‍රිෂාන්තන්ය. ඒ දිනවල රටේ මහත් ආන්දොaලනයට ලක්‌වූ ත්‍රිත්ව ඝාතනයක ප්‍රධාන සැකකරු වුණේ ක්‍රිෂාන්තන්ය. තම මව, පියා සහ නැගණියට වස කවා ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්‍රිෂාන්තන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය.

රිමාන්ඩ් බන්ධනාගාරය වෙත අලුතින් රැගෙන යන රැඳවියන් දැකබලා ගන්නට එහි රඳවා සිටින රැඳවියන් අතර තිබුණේ විශාල උනන්දුවකි.

කුඩු ලාලිත ද සිය ගෝල බාලයන් පිරිවරාගෙන බන්ධනාගාරයට අලුතින් ගෙන ආ රැඳවියන් දැක ගැනීමට පැමිණ සිටියේය.

ලාලිත කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිත නමැති හෙරොයින් ජාවාරම්කරුට වැලිකඩ බන්ධනාගාරය තුළ හිමිව තිබුණේ සුවිශේෂී ස්‌ථානයකි. විශේෂ වරප්‍රසාද ලබන රැඳවියකු ලෙස ඔහු බන්ධනාගාරය තුළ හැසිරුණේය. රැඳවියන් මෙන්ම ඇතැම් බන්ධනාගාර නිලධාරියෝ ද ලාලිතගේ සුවච කීකරු ගෝලයන් බවට පත්ව සිටියහ.

ඒ හැම දෙනාම ලාලිතගේ අල්ලේ නැටවෙන ගෝලයන් බවට පත්ව සිටියේ ඔහු සතුව තිබූ මුදල් බලය නිසාය. කුඩු ලාලිත යනු ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කාරයෙකි.

2014 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වැනිදා අතුරුගිරියේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියයනතුරුම කුඩු ලාලිත මහා පරිමාණයෙන් සිය ජාවාරම කරගෙන ගියේය.

බන්ධනාගාරය වෙත අලුතින් රැගෙන එන රැඳවියන්ගෙන් එහි සිටින රැඳවියන් ප්‍රශ්න කිරීම සාමාන්‍ය සම්ප්‍රදායකි. රැඳවියන් සිදුකර ඇති වරදේ ස්‌වභාවය අනුව ඔහුට බන්ධනාගාරය තුළදී දඬුවම් දීමද එහි සාමාන්‍යයෙන් සිදුවන්නකි.

මේ සියල්ල සිදුවුණේ බන්ධනාගාර පාලනයට හොර රහසේය. එදින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ පුද්ගලයන් අතර සිටි සුවිශේෂීම අපරාධකාරයා වුණේ කුමාරස්‌වාමි ක්‍රිෂාන්තන්ය.

බන්ධනාගාර රැඳවියන්ගේ නීති පොත්වලට අනුව මව පියා මැරීම බරපතළ වරදකි. එවැනි වරදක්‌ කළ උන්ට උපරිම දඬුවම් හිමි වුණේය.

"උඹ මහ කාලකණ්‌ණියෙක්‌. හදපු වඩපු අම්මා තාත්තා මරලා දාන එකා තරම් පාහරයෙක්‌ තවත් ඉන්නවද"

රැඳවියන්ගෙන් කුමාරස්‌වාමිට එල්ල වුණේ දැඩි පීඩනයකි. පරණ රැඳවියන් කුමාරස්‌වාමිට දිගින් දිගටම දඬුවම් දුන්නේය. පහර දුන්නේය. මේ ප්‍රහාරයන් වධ බන්ධනයන් ඔහුට උහුලා ගැනීමට පවා හැකියාවක්‌ තිබුණේ නැත.

මේ වධ බන්ධනයන්ගෙන් ක්‍රිෂාන්තන් බේරා ගැනීමට ඉදිරිපත් වුණේ කුඩු ලාලිතය. කුඩු ලාලිතගේ අණට පිටින් යන්නට තරම් ශක්‌තිමත් පුද්ගලයකු ඒ වනවිට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ නැත.

ඕකට වධ දුන්නා ඇති. ඌට පාඩුවෙ ඉන්න දීපල්ලා...

ලාලිතගේ නියෝගය ඒ ආකාරයටම ක්‍රියාත්මක වුණේය. කුඩු ලාලිත සහ ක්‍රිෂාන්තන් අතර සමීප මිතුදමක්‌ ගොඩනැඟෙන්නේ මේ සිදුවීම්වලින් පසුවය.

කොටගල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක ඉපිද හැදී වැඩුණු ක්‍රිෂාන්තන් කුඩා කල ගත කළේ දුක්‌ත ජීවිතයකි. රජයේ සුළු රැකියාවක්‌ කළ ක්‍රිෂාන්තන්ගේ පියා වූ කුමාරස්‌වාමි තම දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙන්නට පසුබට වුණේ නැත.

අධ්‍යාපන කටයුතු නිමකිරීමෙන් පසු ක්‍රිෂාන්තන් කොළොම්පුරයට පය ගසන්නේ පෞද්ගලික අංශයේ රැකියාවක්‌ ලබාගෙනය.

බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයකු වූ ක්‍රිෂාන්තන් වෙහෙස මහන්සියෙන් සිය රැකියාව කරගෙන ගියේය.

සෝබන වැඩවලට ඔහු තුළ තිබුණේ වැඩි කැමැත්තකි. අතේ සතේ නැති වුවද ලක්‍ෂපතියකු ලෙස හැසිරෙන්නට ක්‍රිෂාන්තන්ට අවශ්‍ය විය.

මාසයක්‌ තිස්‌සේ වෙහෙස මහන්සි වී උපයන සොච්චම් පඩිය ඔහුගේ සතියක වියදමටවත් ප්‍රමාණවත් නොවීය.

ක්‍රිෂාන්තන් දහඅතේ ණය වන්නේ ඔහුට තිබූ අනවශ්‍ය වියදම් සඳහාය. මාසයකට දෙකකට වතාවක්‌ ඔහු කොටගල මහගෙදර ගියේය. ඒ සඳහා ඔහු කුලී මෝටර් රථයක්‌ යොදා ගත්තේය. මහගෙදර දී ක්‍රිෂාන්තන් හැසිරෙන්නේ මහා ධනවතකු ලෙසය.

අනවශ්‍ය වියදම් නිසා ක්‍රිෂාන්තන් රුපියල් ලක්‍ෂ ගණනක ණයකාරයකුව සිටියේය. ක්‍රිෂාන්තන්ගේ පියා කුමාරස්‌වාමි සිය රැකියාවෙන් විශ්‍රාම යන්නේ ඔය අතරතුරදීය.

පියා විශ්‍රාම යද්දී රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මුදලක්‌ ලැබුණු බව ක්‍රිෂාන්තන් දැන ගත්තේ සිය මවගේ මාර්ගයෙන්ය.

හතර අතේ ඇති ණයතුරුස්‌ ගෙවා දැමීම සඳහා ඔහු මේ මුදල ඉල්ලා පියාට කරදර කරන්නට පටන් ගත්තේය.

"උඹට පිස්‌සුද? අවුරුදු ගණනක්‌ දහදුක්‌ විඳලා ඉතුරු වුණේ මේ සොච්චම විතරයි. මේ කෙල්ලව දීග දීලා ඒ වැඩකටයුතු කරලා දාන්න ඕනෙ සල්ලි සතයක්‌වත් උඹට දෙන්නෙ නැහැ."

කුමාරස්‌වාමි ක්‍රිෂාන්තන්ට බැණ වැදුණේය. මුදල් ඉල්ලා කොයි තරම් ඇවටිලි කළද ඉන් පලක්‌ නොවීය. මේ අජාසත් පුත්‍රයා ආනන්තරීය පාපකර්මයට අතගසන්නේ ඉන් පසුවය.

"අම්මලා හැමදාම කොටගලට වෙලා ඉන්නවා. දවසක්‌ දෙකක්‌ කොළඹ ඇවිත් මමත් එක්‌ක ඉන්න. කොළඹ බලන්න දේවල් ගොඩක්‌ තියෙනවා...

ක්‍රිෂාන්තන් තම මවුපියන්ට කොළඹට එන ලෙස ආරාධනා කරන්නේ මහා පාපකර්මයට අවශ්‍ය සැලසුම් සියල්ල සකස්‌ කරගෙනය.

එකම පුත්‍රයාගේ ආරාධනය ඉවත නොදැමූ කුමාරස්‌වාමි තම බිරිඳ සහ දියණිය සමග කොළඹ වැල්ලවත්තට ආහ. වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ පිහිටි කුලී නිවස ක්‍රිෂාන්තන්ගේ නවාතැන්පළ විය.

"උඹ බොහොම සැපවත් ජීවිතයක්‌ ගත කරන බව පේනවා. අපිට හරි සතුටුයි."

කුමාරස්‌වාමිත් බිරිඳත් තම දරුවාගේ දියුණුව ගැන අහිංසක සතුටක්‌ වින්දේය. එහෙත් මේ පාපතර පුත්‍රයා එදින රාත්‍රියේ සිදුකළ මහා පාපකර්මය ලෝකයට හෙළි වුණේ දින කීපයකට පසුවය.

රාත්‍රී ආහාරයට ගත් යෝගට්‌ තුළට අධික විෂ සහිත ද්‍රව්‍යයක්‌ මුහුකර ඒවා තම මවටත් පියාටත් නැගණියටත් කෑමට දුන් ක්‍රිෂාන්තන් ඔවුන් තමන් ඉදිරිපිට මියයන තුරුම බලා සිටියේය.

ඔවුන් අවසන් ගමන් ගිය පසු ක්‍රිෂාන්තන් කොටගල ගියේය. ඒ මහ ගෙදරටය. විශ්‍රාම ගිය පසු පියාට ලැබුණු රුපියල් ලක්‍ෂ තුන ලබා ගැනීම ඔහුගේ අරමුණ විය. නිවස අනික්‌ පැත්ත පෙරළමින් මුදල් සෙවූවද එය ලැබුණේ නැත.

ක්‍රිෂාන්තන් වියරු වැටුණේය. අහිංසක දෙමාපියන්ගේ සහ නැගණියගේ දිවි තොරකර ලැබුණු දෙයක්‌ නැත. ඔහු උමතුවෙන් මෙන් රට වටේ සැරිසරන්නට වුණේය. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ක්‍රිෂාන්තන් අත්අඩංගුවට ගන්නේ කුරුණෑගල බලා යන බස්‌ රථයක සිටියදීය.

ක්‍රිෂාන්තන් වැලිකඩ බන්ධනාගාරයට ගාල් වන්නේ ඉන් පසුවය. බන්ධනාගාරය තුළ ගෙවුණු ජීවිතය කටුකය. සුඛෝපභෝගී සෙල්ලක්‌කාර ජීවිතයකට හුරුවී සිටි ක්‍රිෂාන්තන් මේ කටුක ජීවිතයෙන් මිදෙන්නේ කවදාදැයි ඇඟිලි ගනිමින් සිටියේය.

එහෙත් ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට ඥතියකු සිටියේ නැත. හිතවතකු සිටියේ නැත. මහාධිකාරණයේ විභාගවෙමින් තිබූ නඩුව වෙනුවෙන් උදව් උපකාර කිරීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

ක්‍රිෂාන්තන්ට යන්තම් හෝ සහනයක්‌ සැනසීමක්‌ ලැබුණේ වැලිකඩ දී හඳුනා ගත් කුඩු ලාලිත පමණි.

"මල්ලි උඹ කිසි දේකට බය වෙන්න එපා. ඕනෙම දේකට මම ඉන්නවා. උඹ මාත් එක්‌ක වැඩ කරන්න ලෑස්‌ති වෙයං. මම උඹව ගොඩ දාලා දෙන්නම්.

කුඩු ලාලිත ක්‍රිෂාන්තන් සිය ග්‍රහණයට ගත්තේය. ඔහුගේ ව්‍යාපාර පිළිබඳව හැඳින්වීමක්‌ කළේය.

"සල්ලි ගන්න අම්මා තාත්තා මරපු එකාට මේ ව්‍යාපාර කරන එක කඡ්ජක්‌ද? කුඩු ලාලිත ඇඟටපතට නොදැනී කීවේය.

යහමින් මුදල් හරිහම්බ කිරීම ක්‍රිෂාන්තන්ගේ එකම සිහිනය විය. ඒ වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක්‌ හෝ කිරීමට ඔහු දෙවරක්‌ සිතා බැලුවේ නැත.

කුඩු ලාලිතගේ අනියම් බිරිඳ වූ කල්‍යාණි පදිංචිව සිටියේ කොටහේන ප්‍රදේශයේය. ඇය දිනපතාම පාහේ කුඩු ලාලිත බැලීමට බන්ධනාගාරය වෙත ආවාය. දිනක්‌ කුඩු ලාලිත තම මිතුරා වූ ක්‍රිෂාන්තන් ඇයට හඳුන්වා දුන්නේය.

ඉදිරියේදී ක්‍රිෂාන්තන් අපිත් එක්‌ක වැඩ කරනවා. මම එළියට ආව ගමන් ක්‍රිෂාන්තන්වත් එළියට ගන්නවා. අපි එකතු වෙලා අපේ ව්‍යාපාරය දියුණු කරමු.

කුඩු ලාලිත අලුත් මිතුරා වූ ක්‍රිෂාන්තන් සමග හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳව සැලසුම් සකස්‌ කරන්නට වූයේය.

මම ඇතුළෙ ඉන්න කාලෙට බිස්‌නස්‌ එක කරගෙන යන්නෙ කල්‍යාණි. ඒකිට බිස්‌නස්‌ එක හොඳට තේරෙනවා. මගේ හැම කන්ටෑක්‌ එකක්‌ම ඒකිට තියෙනවා.

කුඩු ලාලිත තම බන්ධනාගාර මිතුරාට කීවේය. කුඩු ලාලිත ඇසුරු කිරීම තම ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක්‌ ගෙන ආ බව ක්‍රිෂාන්තන්ට සිතුණේය. ඔහු සමග අලුත් ව්‍යාපාරය කරන ආකාරය පිළිබඳව සිහින මැව්වේය.

කුඩු ලාලිත ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් පිටව යන්නේ ඔය අතරතුරදීය.

"උඹ බය වෙන්න එපා.. එළියට ගිය ගමන් මම උඹවත් ගන්නවා. අපිට ඉදිරියේදී කරන්න ගොඩක්‌ දේවල් තියෙනවා.

බන්ධනාගාරයෙන් පිටවී යන දින කුඩු ලාලිත ක්‍රිෂාන්තන්ට කීවේය. ඔහු ක්‍රිෂාන්තන්ට වූ පොරොන්දුව ඒ අයුරින්ම ඉෂ්ට කිරීමට වගබලා ගත්තේය.

නිදහස ලබා වැඩි දවසක්‌ ගතවන්නට පෙර ක්‍රිෂාන්තන්ට ඇප ලබා ගැනීමේ කටයුත්තට කුඩු ලාලිත අතගැසුවේය. නීතිඥයන් මාර්ගයෙන් ක්‍රිෂාන්තන්ට ඇප ලබාදී ඔහු නිදහස්‌ ලෝකයට නැවත ගන්නට ලාලිතට ඒ තරම් කාලයක්‌ ගත වුණේ නැත.

"ලාලිත අයියා මම උඹට සදා ණයගැතියි. මට බන්ධනාගාර ජීවිතේ එපා වෙලා හිටියේ. මම අද ඉඳලා උඹ කියන ඕනෙ දෙයක්‌ කරනවා." ක්‍රිෂාන්තන් කුඩු ලාලිතගේ දැත් දැඩිව අල්ලාගෙන ඔහුට පොරොන්දු වුණේය.

උඹ සේල්ස්‌ රෙප් කෙනෙක්‌ විදිහට වැඩ කරපු නිසා මේ ඩියුටිය ලේසියෙන් කරන්න පුළුවන් වෙයි. අපි ගේන බඩු ටික ට්‍රාන්ස්‌පෝර්ට්‌ කරලා දෙන එක තමයි උඹට පැවරිලා තියෙන්නෙ... කුඩු ලාලිත ක්‍රිෂාන්තන්ගේ අලුත් රැකියාව ගැන ඔහුට පැහැදිලි කර දුන්නේය...

පාකිස්‌තානයෙන් සහ ඉන්දියාවෙන් කුඩු ලාලිත වෙත එන හෙරොයින් තොග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවි නියෝජිතයන් වෙත බෙදාහැරීමේ කාර්ය ක්‍රිෂාන්තන් වෙත පැවරී තිබුණේය.

ඔහු ඒ කාර්ය ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය. වැඩි දවසක්‌ යන්නට පෙර ක්‍රිෂාන්තන් අතට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ගලා එන්නට විය. අවුරුදු ගණනක්‌ රස්‌සාව කරලා හම්බ කරපු ඒවා එක මාසෙන් මම හෙව්වා..

දවසින් දවස අතට එන මුදල් කන්දරාව දුටු ක්‍රිෂාන්තන් දැඩි ලෙස ප්‍රීතියට පත්වුණේය. ඔහුට අවශ්‍ය වී තිබූ ඉලක්‌කය වෙත යන්නට අලුත් රැකියාව බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ක්‍රිෂාන්තන් තේරුම් ගත්තේය.

තමන් විසින් සමාජයට තරුණ පරපුරට සිදුකරන හානිය පිළිබඳව ඔහු තුළ කිසිදු හැඟීමක්‌ තිබුණේ නැත. ක්‍රිෂාන්තන්ට අවශ්‍ය වුණේ යහමින් මුදල් හම්බකර සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කිරීම පමණය.

කුඩු ලාලිත සමග එක්‌ව හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගිය ක්‍රිෂාන්තන් වසරක්‌ වැනි කාල සීමාවක දී කෝටිපතියකු බවට පත්වුණේය. වත්තල ප්‍රදේශයෙන් නිවසක්‌ මිලයට ගත් මොහු එහි සිට සිය ව්‍යාපාරය කරගෙන ගියේය.

ක්‍රිෂාන්තන්ගේ කල්‍යාණ මිතුරු වූ කුඩු ලාලිත පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්වන්නේ ඔය අතරතුරදීය. මාස ගණනක්‌ තිස්‌සේ කුඩු ලාලිත පසුපස පන්නමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඔහු කොටුකර ගත්තේ 2014 සැප්තැම්බර් මස 05 වැනිදාය. ඒ අතුරුගිරියේදීය.

පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී පලා යන්නට උත්සාහ කළ කුඩු ලාලිතට අවසානයේ සිදුවුණේ වෙඩි කෑමටය. වසර ගණනක්‌ තිස්‌සේ රටේ තරුණ ජීවිත විනාශ කරමින් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයකු ලෙස වැජඹුණු කුඩු ලාලිත අවසන් ගමන් ගියේය.

ලාලිතගේ අකල් මරණය ක්‍රිෂාන්තන්ට ආශීර්වාදයක්‌ විය. ලාලිතගෙන් පසු ව්‍යාපාරයේ වැඩි කොටසක අයිතිය ක්‍රිෂාන්තන්ට ලැබුණේය. ලාලිතගේ අනියම් බිරිඳ වූ කල්‍යාණි සමග එක්‌වූ ක්‍රිෂාන්තන් හෙරොයින් ව්‍යාපාරය ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය.

කුඩු ලාලිතගේ සියලු සබඳතා මනාව ප්‍රයෝජනයට ගත් ක්‍රිෂාන්තන් සහ කල්‍යාණි ඉතාම රහසිගත ආකාරයට ව්‍යාපාරය කරගෙන ගියේ පොලිසියටද අභියෝග කරමින්ය.

කුඩු ලාලිත ඝාතනය කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු ඔහුගේ පැටිකිරිය සොයන්නට පටන් ගත්හ. ලාලිත සබඳතා පැවැත් වූ පුද්ගලයන් පිළිබඳව මෙන්ම ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ වූවන් සොයා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළෝය.

මාස හත අටක්‌ තිස්‌සේ කළ පොලිස්‌ විමර්ශන සාර්ථක වුණේය. ලාලිතගේ හෙරොයින් ජාවාරම පිටුපස ඔහුගේ අනියම් බිරිඳ කල්‍යාණි සහ ක්‍රිෂාන්තන් නමැති දෙමළ තරුණයකු සිටින බව පොලිසිය අනාවරණය කර ගත්තේය.

පොලිසිය ක්‍රිෂාන්තන් පසුපස පන්නන්නට පටන් ගන්නේ ඉන් පසුවය. මාස එකහමාරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ වෙහෙස මහන්සියට නියම ප්‍රතිඵල නෙළා ගන්නට පොලිසියට හැකි විය.

ක්‍රිෂාන්තන් හෙරොයින් තොගයක්‌ රැගෙන වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට පැමිණෙන බවට තොරතුරු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලැබී තිබිණි.

ඒ අනුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වත්තල සුපිරි වෙළෙඳ සංකීර්ණය වෙත ගොස්‌ රැකවල්ලාගෙන සිටියහ. වෙසල් වර්ගයේ ජීප් රථයක පැමිණි ක්‍රිෂාන්තන් රථ ගාලේ වාහනය නතර කර ඉන් බැස ගත්තේය.

පොලිසිය තමන් කොටු කරගෙන සිටින බව ඔහු දැන සිටියේ නැත. ක්‍රිෂාන්තන් කිසිම කලබලයකින් තොරව ජීප් රථයේ තිබූ හෙරොයින් අඩංගු පාර්සලය පිටතට ගෙන නුදුරින් නවතා තිබූ මෝටර් රථයට දමා ගත්තේය. සැඟවී සිටි පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක වූහ. ක්‍රිෂාන්තන් අත්අඩංගුවට පත්විය. ඔහු සතුව තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් තුනක්‌ මෙන්ම රුපියල් විසි හතර ලක්‍ෂයක්‌ද පොලිසිය සොයා ගත්තේය.

තම මවුපියන් ඝාතනය කර මහා පාපකර්මයක්‌ කරගත් මේ නරුම පුත්‍රයා මුළු සමාජයම විනාශ කිරීමේ පාපකර්මයට නැවතත් අත්අඩංගුවට පත්වන්නේය.

තමන් ඇතිදැඩි කළ මවුපියන් මරා දමන්නට තරම් කාලකණ්‌ණි මානසිකත්වයක්‌ ඇති නරුමයකුට රටේ තරුණ පරම්පරාව ගැන කැක්‌කුමක්‌ නැත. මෙවැනි පාපතරයන් මුළු සමාජයෙන්ම අතුගා දමනවා හැරෙන්නට වෙනත් කළ යුත්තක්‌ නොමැත.

හේමන්ත රන්දුණු
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.