සතොස වැසේ කඳුළු ඇසේ
වැහෙන්නෙ නෑ;

සභාපති කිරාන් අතපත්තු කියයි



සතොසේ බඩු නැත්තේ ඇයි? ලංකා සතොස වැහෙයිද? අද බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. මේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාවට පමණක්‌ නොව ලංකා සතොසේ 3200 ක්‌ පමණ වන සේවක සංඛ්‍යාවටද ඔවුන්ගේ පවුල්වල අයටද අද ඇතිවී තිබේ.

පසුගිය කාලයේ රාජ්‍ය ආයතනයක්‌ ලෙස ඉදිරියටම පැමිණි ලංකා සතොසට ඇත්තටම සිදුව ඇත්තේ කුමක්‌දැයි බොහෝදෙනකුට ප්‍රශ්නයකි.

සහල්, පරිප්පු, සීනි, අල, බීලූනු ආදී අත්‍යවශ්‍ය භාණ්‌ඩ පසුගිය කාලය පුරාම අඩුම මිලට අපේ රටේ ජනතාවට අලෙවි කෙරුනේ ලක්‌ සතොස හරහාය. රටේ මිල තීරකයා වීම හරහා රජයට අවශ්‍ය ආකාරයට වෙළඳපොළ මිල හසුරුවා ගැනීම සඳහා සතොස ආයතනයෙන් ලැබුණේ කිව නොහැකි තරමට සේවයකි. එහෙත් අද ඇතැම් ලංකා සතොස අලෙවිසල්වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා හිඟය.

වෙළඳපොළේ සහල් මිල අහස උසට යද්දී එය පාලනය කරන්නට රජය කටයුතු කළේ සතොස හරහා අඩු මිලට විකිණීම මගිනි. ලංකා සතොස රුපියල් 61.30 බැගින් මිලදී ගන්න සුදු කැකුළු සහල් කිලෝව සතොස ජනතාවට අලෙවි කරන්නේ කිලෝව රුපියල් 60 බැගිනි. රුපියල් 68.07 බැගින් මිලදී ගන්නා නාඩු සහල් කිලෝවක්‌ අලෙවි කරනු ලබන්නේ රුපියල් 60 බැගිනි. රුපියල් 75.81 බැගින් මිලදී ගන්නා පොන්නි සම්බා කිලෝව අලෙවි කරනු ලබන්නේ රුපියල් හැත්තපහටය. ලංකා සතොස නොවන්නට වෙළඳපොළේ සහල් මිල කිසිදු පාලනයකින් තොරව ඉහළ යන්නට ඉඩ තිබිණි.

එහෙත් මේ වන විට වෙළඳපොළේ සහල් මිල ඉහළ මට්‌ටමක පවතින විට සතොස හරහා ජනතාවට අඩු මිලට සහල් අලෙවි කරන්නට ගෙන, සහල් තොග සතොස ආයතනයෙන් හොර පාරේ අඩු මිලට පිටකොටුව තොග වෙළඳ පොළට විකිණෙන බවට බරපතළ චෝදනා පවතී. මෙසේ සතොස ආයතනයෙන් සහල් විකුණනු ලබන්නේ ඈත ප්‍රදේශවල සමුපකාර සමිතිවල නම් වලිනි. මෙසේ සමුපකාර සමිතිවල නම්වලින් නිකුත් කෙරෙන සහල් තොග කෙළින්ම යන්නේ පිටකොටුව තොග වෙළඳපොළටය. එසේත් නැතිනම් වෙනත් ගබඩා වෙත ගෙන ගොස්‌ යළිත් පැකට්‌ කර වෙනත් නම් වලින් වැඩි මිලට වෙළඳපොළට යෑවේ. මෙසේ විකිණෙනා සහල් පිටකොටුව හරහා වැඩි මිලට විකිණීමෙන් විශාල ලාභයක්‌ එක්‌තරා පිරිසක්‌ විසින් ලබන අතර සතොස ආයතනයට සම්බන්ධ පිරිසට සෑම සහල් කිලෝවකින්ම රුපියල් 10 බැගින් හිමිවන බව සඳහන්ය.

ඈත පළාත්වල සමුපකාර සඳහා යෑයි පැවසුනද මේ සහල් තොග සඳහා සියලු ගෙවීම සිදුකර ඇත්තේ එකම චෙක්‌ පොතක චෙක්‌ පත්වලින් බවටද හෙළිවී තිබේ.

එක්‌තරා දෙමළ ව්‍යාපාරිකයකු මෙම ගනුදෙනුව පසුපස සිටින බව සඳහන්ය.

එදිනෙදා අලෙවි වන සාමාන්‍ය භාණ්‌ඩ එනම් ග්‍රොසරි බඩු අලෙවියට පසුගිය කාලයේ සතොස ලබාදී ඇත්තේ අඩු ප්‍රමුඛතාවයක්‌ බව එහි සේවකයෝ පවසති. එම නිසා ලංකා සතොස අලෙවිසල්වල මාසික පිරිවැය අඩුවී තිබේ. කලින් මසයකට රුපියල් ලක්‌ෂ 10, 150, 20 ආදී වශයෙන් වෙළදාමක්‌ තිබූ ඇතැම් අලෙවිසල්වල මාසික වෙළෙ¹ම මේ වන විට රුපියල් ලක්‌ෂ 40 -50 දක්‌වා අඩුවී තිබේ.

ලක්‌ සතොස අත්‍යවශ්‍ය ආහාර අඩු මිලට අලෙවි කළේ ඒ සඳහා වැයවන වියදම සෙසු සාමාන්‍ය භාණ්‌ඩවල ලාභයෙන් පියවා ගැනීමෙනි. මේ අතර ඇතැම් භාණ්‌ඩ වර්ග විකිණීම නවතා දමන්නට යන බවද පැවසේ. එසේ තිබියදී එතරම් ඉල්ලුමක්‌ නැති ඇතැම් ශක්‌තිජනක පාන වර්ග ලංකා සතොස වැඩි වශයෙන් මිලදී ගන්නා බවටද සේවකයෝ චෝදනා කරති.

එම නිසා සතොසේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ පමණක්‌ අලෙවියට තැබීම කළ නොහැක. අනෙක්‌ අතට සතොස වෙත යන සෑම පාරිභෝගිකයකුම යන්නේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා පමණක්‌ම නොවේ.

අනෙකුත් සුපිරි වෙළෙඳසල් හා තරග කරන්නට නම් සියලුම භාණ්‌ඩ ලක්‌ සතොසේ තිබිය යුතුය. බොහෝ පාරිභෝගිකයන් සියලු භාණ්‌ඩ එකම ස්‌ථානයකින් මිලදී ගන්නා අතර අත්‍යවශ්‍ය භාණ්‌ඩ එක ස්‌ථානයකිනුත් අනෙකුත් භාණ්‌ඩ තවත් ස්‌ථානයකිනුත් මිලදී ගන්නේ නැත. එසේ නොමැතිනම් ලංකා සතොස වෙත යන පාරිභෝගික සංඛ්‍යාව තවත් අඩුවීම වැළක්‌විය නොහැක.

මේ වන විට ලක්‌ සතොස ආයතනය ඇතැම් සැපයුම්කරුවන්ට මාස කිහිපයක්‌ භාණ්‌ඩවලට මුදල් ගෙවා නැත. මේ නිසා බහුජාතික සමාගම් ඇතුළු සමාගම් ගණනාවක්‌ මේ වනවිට ලක්‌ සතොසට භාණ්‌ඩ සැපයුම නතර කර දමා තිබේ. භාණ්‌ඩ සැපයීම නතර කර ඇති සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව සියයකට අධිකය. ප්‍රධාන පෙළේ සමාගම් රැසකට රුපියල් මිලියන සියගණන් ණය ගෙවීමට තිබේ. මෙය බරපතළ තත්ත්වයකි. ලක්‌ සතොසට එම ආයතන භාණ්‌ඩ නොසැපයීම නිසා බොහෝ සතොස වෙළඳසල්වල රාක්‌ක හිස්‌ය. එහි භයානකකම වන්නේ එවිට සෙසු භාණ්‌ඩ මිලදී ගන්නට පවා ජනතාව සතොස වෙත නොපැමිණීමය.

පසුගිය දිනවල සතොස මිලදී ගැනීම් තෝරාගත් පිරිසක්‌ හරහා පමණක්‌ සිදුවන බවට චෝදනා නැගේ. පසුගිය කාලයේ මිලදී ගැනීම්වලදී එක්‌තරා ආයතනයකින් පමණක්‌ සිදුකළ බව පැවසේ.එම සමගම පිටරටවලින් භාණ්‌ඩ ගෙන්වන සමාගමක්‌ නොවන අතර ඔවුන් පිටකොටුවේ තොග වෙළඳුන්ගෙන් භාණ්‌ඩ මිලදී ගෙන ලාභයක්‌ද තබාගෙන ලංකා සතොසට භාණ්‌ඩ විකුණනු ලබයි. පිටකොටුවේ තොග වෙළඳුන් අඩුමිලට භාණ්‌ඩ සැපයීමට මිල ගණන් ඉදිපත් කළද ඔවුන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැත. එම චෝදනා නිසා භාණ්‌ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අදාළ අමාත්‍යංශය තුළට ගෙනවිත් තිබේ. කෙසේ වෙතත් මුදල් ගෙවීමේ ප්‍රමාදය නිසා දැන් දැන් සතොස ආයතනයට භාණ්‌ඩ ලබාදෙන්නට තරගයක්‌ද නැත. කෙසේ වෙතත් අදාළ මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්‌ත විය යුතුමය. නැතහොත් අවසානයේ එහි බලපෑම පාරිභෝගිකයාට වැඩි මිලක්‌ ගෙවන්නට වීමය. අද ලංකා සතොසේ ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සමනය වෙළඳපොළට වඩා වැඩිවී ඇත්තේ මේ නිසාය. මේ තත්ත්වය වහාම නිවැරදි නොවුන හොත් ලංකා සතොසට සැමදාම එන පාරිභෝගිකයා එයින් ඈත්වනු ඇත.

මාලිගාවත්ත සතොස මධ්‍යම ගබඩාව නව පාලනාධිකාරිය විසින් වසා දැමීම සතොස අලෙවිසල්වල භාණ්‌ඩ හිඟයට ප්‍රධාන හේතුවක්‌ බව පැවසේ. එතෙක්‌ රට පුරා කුඩා සැපයුම්කරුවන් භාණ්‌ඩ සැපයීම මාලිගාවත්ත මධ්‍යම ගබඩාව වෙත සිදුකර එතැන් සිට සතොස ලොරි මගින් එම භාණ්‌ඩ රටපුරා බෙදාහරින ලදී. නව ක්‍රමය යටතේ භාණ්‌ඩ සැපයුම්කරුවන් Rජුව සතොස වෙළඳසල් වෙත යවන ලදී. මේ නිසා කුඩා ප්‍රමාණයේ සැපයුම්කරුවන් දැඩි අපහසුතාවන්ට මුහුණ දුන් අතර බොහෝ කුඩා සැපයුම්කරුවන් සතොස හැරගියේ එම නව ක්‍රමය යටතේ පාඩු දරන්නට වීම නිසාය. මේ කුඩා හා මධ්‍ය පරිමාණ සැපයුම්කරුවන් ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ නැවත ඇරඹිය යුතුය.

සතොස ආයතනයේ මේ වන විට සේවය කරන සේවක පිරිස 3200 කි. මේ අතරින් බොහෝදෙනකු විවිධ බැංකුවලින් නිවාස හා අනෙකුත් ණය ලබාගෙන සිටිති. යම් ලෙසකින් ලංකා සතොසට කිසියම් අකරතැබ්බයක්‌ වුවහොත් රැකියා අහිමිවීම පමණක්‌ නොව තමන්නට කිවනොහැකි තරමේ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බව ලංකා සතොස සේවකයෝ පවසති.

නව පාලනාධිකාරිය පත්වීමත් සමඟ ලක්‌ සතොස ආයතනයේ ඉහළ නිලධාරීන් ගණනාවක්‌ වැඩ තහනමට ලක්‌ කිරීම හෝ සේවයෙන් ඉවත් කිරීම සිදුකරන ලදී. අනෙකුත් සේවකයන් රැසක්‌ ද මාරුකර යෑවීම හෝ වැඩ තහනමට ලක්‌වීම සිදුවිය. මේ නිසා එහි කළමනාකරණ ව්‍යqහයේ අඩුපාඩු ඇතිවීමද සතොසට අහිතකර ලෙස බලපා තිබේ. තමන් විවේචනය කරන සේවකයන්ට තමන් විවේචනය කළහොත් කවර හෝ වරදක්‌ අල්ලා වැඩතහනම් කරන බවට සේවකයන් ගෙන්වා තර්ජනය කරන තරමට අද ලංකා සතොසේ ඇතැම් ඉහල නිලධාරීන් පහත් තත්ත්වයට වැටී තිබේ. මේ නිසා සේවකයන්ට රැකියාව ගැන බියෙන් රාජකාරි කරන්නට සිදුව තිබේ.

රටේ කවර හෝ ආණ්‌ඩුවකට බඩුමිල අඩු කර ජනතාවට සෙත සලසන්නට නම් ලක්‌ සතොස වැනි යාන්ත්‍රණයක්‌ අත්‍යවශ්‍ය වේ. පසුගිය රජය සමයේ රටේ කවර මට්‌ටමින් බඩු මිල වැඩි වුවද එය පාලනය කරගත හැකි වූයේ ලක්‌ සතොස නිසාය. එසේම ගොවීන්ගෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම හා ඒවා ලක්‌ සතොස හරහා රටපුරා බෙදාහැරීම නිසා ගොවීන්ට තම නිෂ්පාදන සඳහා නිසි මිලක්‌ ලබාගන්නට හැකි වූ අතරම පාරිභෝගිකයන්ට සහන මිලකට භාණ්‌ඩ මිලදී ගත හැකි විය. එම නිසා ලක්‌ සතොස රැක ගැනීම ඕනෑම රජයක වගකීමක්‌ වේ. එපමණක්‌ නොව එළවළු වෙළදාම පවා ලංකා සතොස හරහා කරවන්නට රජය උත්සහ ගත යුතුය. එවිට ගොවියාද රැකගෙන පාරිභෝගිකයාද රැකගන්නා ක්‍රමවේදයක්‌ රජයට ඇති කළ හැක. එවිට එළවළු මිල ස්‌ථාවරව පවත්වාගෙන යාමටද හැකියාව තිබේ.

ලක්‌ සතොස ආයතනය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති කිරාන් අතපත්තු මහතාගෙන් zදිවයිනZ කළ විමසීමේදී,

ලක්‌ සතොස ශාඛාවල භාණ්‌ඩ හිඟයක්‌ නැහැ, විවිධ චෝදනා වලට ලක්‌වුණු අය කීපදෙනෙක්‌ නීත්‍යනුකූලව ඉවත්කර තිබෙනවා, සමහරු මාරු කළා, මාරු කිරීම් කළෙත් මණ්‌ඩලයක්‌ හරහා, සියලුම මිලදී ගැනීම් කරන්නේ අමාත්‍යාංශය මගින් පත්කළ ටෙන්ඩර් මණ්‌ඩලයක්‌ හරහා, මම එහි එක්‌ සාමාජිකයෙක්‌ පමණයි, අපි ගන්නේ අඩුම මිල ඉදිරිපත් කරන තැනින්. මම ලක්‌ සතොස භාරගන්න කොට රුපියල් කෝටි 300 ක්‌ සැපයුම්කරුවන්ට ගෙවන්න තිබුණා. ඒවා ටික ටික ගෙවා ගෙන යනවා. කෝටි 100 ක පමණ වේගයෙන් අලෙවි නොවන භාණ්‌ඩ අප ආයතනයේ ඉතිරිව තිබෙනවා. එම නිසා වැඩි ඉල්ලුමක්‌ තියෙන වේගයෙන් අලෙවිවන භාණ්‌ඩ පමණයි දැන් අපි මිලදී ගන්නේ.

අපි වැඩි මිලට සහල් මිලදී ගෙන ජනතාවට සහනයක්‌ ලෙස අඩු මිලට විකුණනවා. සුදු සහල් කිලෝවකින් රුපියල් 1.30 ක්‌ද, පොන්නි සම්බා කිලෝවකින් ශත 81 ක්‌ද, නාඩු කිලෝවකින් රුපියල් 8.07 ක්‌ද අපි පාඩු ලබනවා.

අපේ වෙළඳසල්වලට හැර සහල් අපි විකුනන්නේ සමුපකාර තොග වෙළඳ සංස්‌ථාවට පමණයි. ඔවුන්ගෙන් වෙනත් පාර්ශ්වයක්‌ ගන්නවාදැයි මම දන්නේ නැහැ.

මම පැමිණි පසු අප්‍රේල් මාසයේ වාර්තාගත ආදායමක්‌ එනම් රුපියල් මිලියන 3200 ක්‌ ආයතනය ලබාගත්තා. හැම අවුරුද්දෙම මැයි, ජුනි මාස වල අදායම අඩුයි. ලංකා සතොස කිසිම හේතුවක්‌ මත වසා දමන්නේ නැහැ.

ශක්‌තිජනක පානයන් පාසල් ළමුන් හා ලොරි රියෑදුරන් මිලදී ගන්න නිසා අපි මිලදී ගත්තා. මාලිගාවත්ත ගබඩාව වහපු නිසා විශාල මුදලක්‌ ඉතුරු වුණා. වෙළෙදාම අඩුයි කියන එක මම පිළිගන්නේ නැහැ. අනෙක්‌ තැන් වලට වඩා බදු අපේ වැඩි නැහැ. අනෙක්‌ තැන්වල අඩුමිලට දෙන්නේ බදු වැඩිපුර ගන්න අයට.

ජනිත සෙනෙවිරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.