නෙළුම් කුළුණේ විදුලි සෝපානය වැඩි මිල කොන්ත්‍රාත්තුවට යයිද?

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ විදුලිසෝපාන සහ ගමන් කරන තරප්පු සැපයීම සහ සවිකිරීම සඳහා ජපානයේ Fujitec අනුබද්ධ ඉදිකිරීම් ආයතනයට අනුමැතිය හිමිවී ඇති අතර ඒ සඳහා අතුරු කොන්ත්‍රාත්තුවක්‌ ද පිරිනමා ඇති අතර එකී අතුරු කොන්ත්‍රාත්තුව අදාළ ඇගයීමේදී තාක්‌ෂණික ඇගයීමට අනුව ප්‍රතික්‌ෂේප වූ අධික මිලක්‌ ඉදිරිපත් කළ වෙනත් ආයතනයකට ලබා දීමට දරන උත්සාහයක්‌ වාර්තා වේ.

ව්‍යාපෘතියේ ඉංජිනේරු වන මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශක ඒකකයේ අනුමැතිය ද ලැබී ඇත්තේ ඉහත සඳහන් සැපයුම්කරුටය. තවද ඉංජිනේරුවරු 25 දෙනකුගෙන් පමණ සමන්විත තාක්‌ෂණික උපදෙස්‌ අනුකමිටුවකින් ද එකී අතුරු කොන්ත්‍රාත්තුව පිරිනැමීම ඇගයීමට ලක්‌ වී ඇත.

රජයේ ඉංජිනේරු කාර්යයන් සඳහා ප්‍රධාන උපදේශක වන ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදෙස්‌ ද තාක්‌ෂණික ඇගයීම් අවස්‌ථාවේදී මෙයට ලැබී ඇත.

ජපානයේ Fujitec ආයතනය මගින් සපයන විදුලිසෝපාන තත්/මි 7 ක වේගයක්‌ සහිතයි. වසර 30 කට වඩා කාලයක්‌ උසස්‌ ප්‍රමිතියෙන් යුතු අතිවිශේෂ ව්‍යාපෘති සඳහා යුරෝපයේ, ඇමරිකාවේ, ආසියාවේ සහ සිංගප්පූරුවේ සවිකර ඇති මෙවැනි විදුලිසෝපාන තවමත් ඉතා උසස්‌ මට්‌ටමක ක්‍රියාත්මක වෙමින් පවතී. ලොව ප්‍රසිද්ධ ඇමරිකාවේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ ගොඩනැඟිල්ලේ විදුලිසෝපාන පවා සවිකර ඇත්තේ ද මෙම Fujitec ආයතනය බව දැනගන්නට ලැබී ඇත.

තවද Fujitec Lanka පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ලියාපදිංචි වී ඇති අතර ඉදිකිරීමේ ක්‌ෂේත්‍රයේ රුපියල් මිලියන 250 කට වඩා ආයෝජනයක්‌ මේ වනවිට කර ඇත.

නෙළුම් කුළුණේ විදුලි සෝපාන ඉදි කිරීම සඳහා ඇස්‌තමේන්තු මුදල රුපියල් මිලියන 450ක්‌ වේ.

වාර්තා වන කරුණු අනුව මෙම විදුලිසෝපාන සැපයුම තාක්‌ෂණය අතින් නොගැළපෙන, මිල අධික වෙනත් සැපයුම්කරුවකුට ලබාදීම සඳහා එක්‌ නිලධාරියකුගේ අයථා මැදිහත්වීමක්‌ සිදුවෙමින් පවතී.

කිසියම් හෙකයකින් මෙය වෙනත් සැපයුම්කරුවකුට ලබාදුන්නොත් ඒ සඳහා නෙළුම් කුළුණේ විදුලි සෝපාන ඉදිකිරීමේ සැලසුම වෙනස්‌ කිරීමට සිදුවන අතර ඒ සඳහා අතිවිශාල මුදලක්‌ අමතරව දැරීමට සිදුවන බවද වාර්තාවේ.

මේ පිළිබඳව අප විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ, මේ පිළිබඳව අධිකරණයේ නඩුවක්‌ පවතින බැවින් කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවයි. එමෙන්ම මේ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා තම ආයතනය මගින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක්‌ පත් කර ඇති බවත් එම කමිටු වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳ නිවේදනය කරන බවත් ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා කියා සටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.