මෛත්‍රී - මහින්ද එක්‌ කිරීමේ උභතෝකෝටිකය!

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත දැන් ගැසට්‌ කරනු ලැබ ඇත. එහෙත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරවා ගත හැකි ද යන උභතෝකෝටිකය දැන් මතු වී තිබේ. එජාපය මෙම සංශෝධනයේදී දරන ස්‌ථාවරය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව කිසිසේත් වැඩි නොකළ යුතු බව ය. කුඩා පක්‍ෂවල අදහස වන්නේ මේ ක්‍රමය සුළු පක්‍ෂවලට මෙන්ම ඔවුන්ගේ නියෝජනයට ද සාධාරණයක්‌ ඉටු නොකරන බව ය. ඔවුහු මෙයට ඡන්ද පත්‍රිකා දෙකක්‌ යෝජනා කර සිටිති.

මේ මතභේද නිසා 20 වන සංශෝධනය සිහිනයක්‌ පමණක්‌ විය හැකි ද යන්න අපට ද ගැටලුවකි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉJද්‍ර‚ලයක්‌ සේ සිටින්නේ විස්‌ස සම්මත කරන තෙක්‌ පාර්ලිමේන්තුව විසුරුවා නොහරිමි යන ස්‌ථාවරයේ ය. මේ දේශපාලන අවුල කුමක්‌ ද යන්න මෙයට මැදි වී සිටින හෘදය සාක්‍ෂියක්‌ සහිත සියලුම පිරිස්‌ ඉඳුරා දනිති. ඒ සියලු දෙනාම අපේක්‍ෂා කරන්නේ මෙම පවතින මැතිවරණ ක්‍රමයටම එළඹෙන මැතිවරණය පැවැත්විය යුතු බවය. වෙනසකට මුල් වූ එජාපය ද ඒ වෙනස මඟහැර යන බව ඉතා පැහැදිලිය.

තමන් සමඟ සිටින ශ්‍රීලනිපය මෙන්ම තමන් බලයට පත් කිරීම සඳහා මුල් වූ එජාපයද තවමත් සිය දේශපාලන බලය රඳවා ගැනීම පිළිබඳව දක්‌වන උනන්දුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ද දන්නා කරුණකි. එහෙත් තමන් ක්‍රියා කළේ බලය අත්හැරීමටය. විධායක බලය භාවිත කරමින් නීතියට උඩින් වැජඹීමට ජනාධිපතිවරයාට කිසිදු වුවමනාවක්‌ නොමැති බව සිය භාවිතය තුළින් ඔහු ජනතාවට පමණක්‌ නොව ලෝකයටම ඔප්පු කර තිබේ. ඒ ක්‍රියාව අගයමින් ජනාධිපතිවරයා පැසසූ පිරිසම අද තම බලය තහවුරු කර ගැනීමේ සුපුරුදු දේශපාලන ක්‍රියාදාමය තුළම සිටිති.

මේ දේශපාලන බල අරගලයට ප්‍රධාන පක්‍ෂ දෙකම මැදි වී සිටින අතර මුස්‌ලිම් හා දෙමළ පක්‍ෂද මැදි වී සිටින අයුරු පෙනේ. ජ.වි.පෙ. අපේක්‍ෂාව ද මැතිවරණයකට යැම බව පෙනේ. ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරළියේ වැඩි බර එජාපය සතු බව ඔවුහු කල්පනා කරති. එයට හේතුවක්‌ ද තිබේ. එනම් එදා මෛත්‍රීපාල පොදු අපේක්‍ෂකයා වටා ගොනු වූ සියලු බලවේග අතර ප්‍රමුඛයා එජාපය වීම ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සටකපට දේශපාලනඥයකු නොවන අතරම හෘදය සාක්‍ෂියක්‌ සහිත ජනතාවාදී නායකයකු ලෙස ද ජනතාවගේ විශ්වාසයට පාත්‍රව සිටින්නෙකි. එනිසා ඔහුට තමන්ට අනුබල, අනුග්‍රහ දැක්‌වූ එජාපය ප්‍රමුඛ පිරිසට පිටුපෑමට ද අසීරු වී තිබේ. බලයට එන තෙක්‌ පොරොන්දු පෙන්වන දේශපාලන විධි ක්‍රමය ද ඔහුට අභිමත නොවේ. එනිසා තමන්ට සතුරුකම් කළ, අවමන් කළ ශ්‍රීලනිපයේ පිරිස්‌ සමඟ ද අද ඔහු දේශපාලන ගනුදෙනුවක නිරතව සිටියි.

ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාදාමය එජාපයේ ඇතැම් පිරිස්‌වල විවේචනයට ලක්‌වීම පුදුමයක්‌ ද නොවේ. එජාපය දින සියයෙන් ඔබ්බට යැම නොමැනවයි කියන්නේ ජනාධිපතිවරණයේදී ලැබූ ජනරැල්ල තමන්ට වාසිදායක ලෙස භාවිත කිරීමට බව නිසැකය. පහුවෙන හැම මොහොතක්‌ පාසාම එජාප විරෝධී කොටස්‌ ඒකරාශී වන බව එජාපය දනී. එය තමන්ගේ ජයග්‍රහණය දුර්වල කරන්නක්‌ බව ද එජාපය දනී.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වන්නේ ලක්‍ෂ 62 ක ජන වරමකින් ය. ඒ තුළ එජාපයේ පංගුව ලක්‍ෂ කීයද? එසේම දෙමළ හා මුස්‌ලිම් පංගුව කොපමණද? ජවිපෙ හා සරත් ෙµdන්සේකා මෙන්ම හෙළ උරුමය ද ඒ සම්මාදම තුළ සිටිති. රාජපක්‍ෂවරුන්ට විරුද්ධ වූ සිවිල් සංවිධාන මෙන්ම ශ්‍රීලනිපයෙන් වෙන් වූ සුළු පිරිසක්‌ හෝ එදා වූහ. මේ සියල්ලේ පොදු සාධකය මෛත්‍රීපාල මහින්ද පරදවා ජය ගැනීමය.

එජාපය හා ශ්‍රීලනිපය ප්‍රතිපත්ති අතින් විශාල වෙනසක්‌ නොපෙන්වුවද මේ පක්‍ෂ දෙක අතර විශාල දේශපාලන වෛරයක්‌ තිබෙන බව ඔවුන්ගේ හැසිරීම්වලින් පෙනේ. දේශපාලන සංස්‌කෘතියක්‌ මෙන්ම ප්‍රබුද්ධ මනසක්‌ සහිත රනිල් වික්‍රමසිංහ අගමැතිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ ක්‍රියා කිරීමට බාධාවක්‌ නැත. එහෙත් රනිල් විරෝධය සිය දේශපාලන ආත්මයේ කොටසක්‌ බවට පත් වූ අය සන්ධානය තුළ සිටිති. ඔවුහු මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සෘජු විවේචන ද එල්ල කරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කියවීම මතුපිටින් බලා ඔහු ගැන නිගමනවලට එළඹීම තර්කානුකූල නැත. තමන් විසින් බලයට පත්කළ යුත්තේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සංධානය බව ඔහු පැහැදිලිව තේරුම් ගෙන සිටියි. ශ්‍රීලනිපයට සිය ජීවිතයම කැප කරමින් සිටින නායකයකු එය අත්හැර අලුත් බලවේග ගැන සිතනු ඇද්ද? තමන්ට එරෙහිව, තමන් විවේචනය කළ අයට ඇමැති පදවි ප්‍රදානය කිරීමේ දේශපාලන අර්ථය අප තේරුම් ගත යුතුය. මේ වන විට එජාපයට වැඩි කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාවක්‌ හිමි වුවද, ශ්‍රීලනිපයට ද ඒ හා සමාන ඇමැති ධුර සංඛ්‍යාවක්‌ පිරිනමා තිබෙන බව ද අප මතක තබා ගත යුතුය.

අද මහින්ද රැල්ලක්‌ ගොඩ නැගෙමින් තිබේ. මහින්ද හා මෛත්‍රී එක්‌ නොවුවහොත් ශ්‍රීලනිපයේ ගමනක අවසානය බව කාටත් වඩා හොඳින් දන්නේ මෛත්‍රීපාලය. එහෙත් දෙපසට බෙදුණු අය ද දිය යටින් ගින්දර ගෙන යන අය ද මෛත්‍රී - මහින්ද ගින්නට පිදුරු දමමින් සිටිති. ශ්‍රීලනිපයේ පිරිසක්‌ පක්‍ෂය හැර දමා ගිය මෛත්‍රීපාල ආපසු කැඳවා එහි සභාපති ධුරය පිරිනමන්නේ ද නිකම්ම නොවේ. ඔවුන්ට වුවමනා මෛත්‍රීපාල එජාපයට හයිවීම වැළැක්‌වීමටය.

ජනාධිපති ධුරයට යළිත් තරග නොකරන්නා වූද, එහි අධිපති බලය නිර්ලෝභීව අත්හැර දමන ලද්දා වූද, මෛත්‍රීපාල ජනාධිපතිවරයාට වෙනත් දේශපාලන අරමුණු නැත. ඔහු ශ්‍රීලනිපය බාර නොගත්තේ නම් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හිතලුවක්‌ පමණි. එහෙත් ඔහුගේ දේශපාලන කියවීම මතුපිටින් දකින අය ඔහුට නොයෙක්‌ විවේචන කරති. එජාපයේ ඇතැම් කෙනෙක්‌ මෛත්‍රී තමන්ගේ පක්‍ෂයට බලයට ඒමට ඉඩ දී නිහඬව සිටිනු ඇතැයි සිතූහ.

අද මෛත්‍රීට වුවමනා දේශපාලන ණය ගෙවීමට වඩා ජනතාව අපේක්‍ෂා කරන දේශපාලන ප්‍රතිසංස්‌කරණ ලබාදීමය. එහෙත් දෙපක්‍ෂයේම පිරිස්‌ ඔහුට කකුල් මාට්‌ටු දමමින් සිටිති. ඔහු වරක්‌ මා සමඟÊකළ ප්‍රකාශයක්‌ මගේ සිහියට නැගෙයි.

"මැතිවරණ චාරිකාවේදී මට පැහැදිලි වූ ප්‍රධාන කරුණු දෙකක්‌ තිබුණා. එකක්‌ විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම, එහි බලතල අඩුකිරීම, අනෙක තමා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. මා ජනාධිපති කළොත් එය ඉටුවන බව ජනතාව විශ්වාස කළා. ජනතාව ජනවාරි 8 වැනිදා දුන්න තීන්දුව එයයි. ඒ තීරණයට ගරු කිරීමත්, එයට ණය ගෙවීමත් මගේ පරම අභිලාෂයයි."

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද පාර්ශ්වය හා එක්‌වීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා එකඟÊවන්නේද අද ඔහු මැදි වී සිටින දේශපාලන පීඩනයෙන් අත්මිදීමටත් වඩා මේ ජනතා අපේක්‍ෂා ඉටු කිරීමටය. ශ්‍රීලනිපයට මහින්ද නැතිව ගමනක්‌ නැති බව අද තිබෙන යථාර්ථයයි. එහෙත් මහින්ද පාලනය පෙරළීම සඳහා උරදුන් මෛත්‍රීපාල ඒ ප්‍රශ්නය තම කර පිටට දා ගැනීමට කොහෙත්ම කැමැති නැත. දේශපාලනයේදී තනි තීන්දු නොව සාමූහික තීන්දු ගැනීම බුද්ධිමත් ක්‍රමයයි. මෛත්‍රී - මහින්ද එක්‌ කිරීමට පත් කළ කමිටුව ඒ එකඟතාව ඇති කිරීමට බුද්ධිමත්ව හා නම්‍යශීලීව ක්‍රියා කළ යුතුයි.

මහින්ද අද ජනප්‍රිය හා ආකර්ෂණීය නායකයකු බවට පත්ව සිටියි. ඔහු යන හැම තැනකම ජනතාව රොක්‌වෙති. ඔහු වෙනුවෙන් ජය ඝෝෂා නඟති. එජාපය මහින්දට කෙබඳු නිර්දය විවේචන කළත් මහින්දගේ ජනප්‍රසාදය අඩු වී නැත. එජාපය සමඟ සසඳන විට මහින්ද මේ රටට නිදහස ලබා දුන් නායකයා ය.

එජාපය විසින් රාජපක්‍ෂවරුන්ට එරෙහිව නගන ලද චෝදනා පත්‍රය තවමත් ජනතාව තුළට කාවැදී නැත. හොරුන්, අපරාධකාරයන් ඇල්ලීමට පිහිට වූ විශේෂ ආයතනවලට කුඩුකාරයන්, එතනෝල්කාරයන් බවට චෝදනා කරන එකම දේශපාලනඥයෙක්‌වත් අල්ලා ගත හැකි වී තිබේද? ඒ වෙනුවට තුන් හතර දෙනෙක්‌ අත්අඩංගුවට රැගෙන මහා ඝෝෂාවක්‌ නැගූ බව ද ඇත්තය. එහෙත් මහා පරිමාණ දූෂණ ගැන, කොමිස්‌ ගැසූ අය ගැන අද රටට ද උනන්දුවක්‌ නැත. මේ ආණ්‌ඩුව ගැන ශ්‍රීලනිපයේ හිටපු ඇමැතිවරයෙක්‌ කීවේ ඔවුන් පාර්ලිමේන්තුව ශෝක ප්‍රකාශ කියවන තැනක්‌ බවට පත්කර තිබෙන බවය. රටේ ගෞරවනීය ආයතනය ගැන අපි එසේ නොකියමු. එහෙත් ආණ්‌ඩුව කතා කළ ව්‍යවස්‌ථාදායක සභාවේ පත්කිරීම්වලට සිදුවූයේ කුමක්‌ද? විගණන පනත හෝ තොරතුරු දැන ගැනීමේ පනතට කුමක්‌ වීද?

ආණ්‌ඩුවට හෝ විපක්‍ෂයට ඒ කිසිම දෙයක්‌ අවශ්‍ය නොවේද? ජ.වි.පෙ දැන් කියන්නේ ද මේ ආණ්‌ඩුවට තවදුරටත් රැඳී සිටිය නොහැකි බව ය. එපමණක්‌ නොව මේ ආණ්‌ඩුවත් පරණ පීල්ලටම වැටී තිබෙන බවය. රාජ්‍ය ආයතන දුර්වල වී තිබෙන බවය. නිලධාරීන් තීරණ ගැනීමට බිය වී සිටින බව ය. එනිසා වහාම මැතිවරණයකට යා යුතු බවය.

ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා කියන්නේ මේ පාර්ලිමේන්තුව කල් ඉකුත් වී ඇතැයි කීම විහිළුවක්‌ බවය. මේ ආණ්‌ඩුව තමන්ට බාර දිය යුතු බවය. වෙනකක්‌ තබා ඔහු කීවේ මේ ආණ්‌ඩුව ඉවත් වුවහොත් ඉතා ඉක්‌මනින් රට උඩට ඔසවා තැබීමට තම පක්‍ෂයට හැකි බවය. නිමල් සිරිපාල මහතා අගමැති කිරීමට ද බාධාවක්‌ නැති බවය.

කෙසේ හෝ ආණ්‌ඩුව හා විපක්‍ෂය අතර උද්aගතව තිබෙන ගැටුම උත්සන්න වෙමින් තිබෙන බව නම් ඉතා පැහැදිලිය. විපක්‍ෂයට වුවමනා විශ්වාසභංග දෙක ඉක්‌මනින් විවාදයට ගැනීමය. එජාපය 20 වැනි සංශෝධනයට සහාය නොදෙන්නේ නම් වෙනත් ආණ්‌ඩුවක්‌ හදාගෙන හෝ එය සම්මත කර ගත යුතු බව අතුරලියේ රතන හිමියෝ ද කියති. එය සිදු වුවහොත් එජාපය ගන්නා පියවර කුමක්‌ද? ඔවුන්ට තවමත් තිබෙන වාසිය මෛත්‍රී - මහින්ද විරසකය පමණි.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම සුළුතර ආණ්‌ඩුව නිසා රටේ ආර්ථිකය කඩා වැටීමට හැකි බවය. දූෂණ නැති කර, වියදම් කපා හැරීමෙන් පමණක්‌ රටක ආර්ථිකයක්‌ ගොඩනැඟිය නොහැකි බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසය. ඔවුන් යෝජනා කරන්නේ ද බහුතර බලයක්‌ තිබෙන ආණ්‌ඩුවක්‌ පත් කර ගත යුතු බවය. මැතිවරණයකට ගොස්‌ ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ ඇති කිරීම එජාපයේ අපේක්‍ෂාවය. එහෙත් මැතිවරණයකදී දේශපාලන හැසිරීම කුමක්‌දැයි දැන්ම කිව හැකිද?

ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කළ ආකාරයට වඩා වෙනස්‌ව මහ මැතිවරණයකදී ඔවුන් ක්‍රියාකරනු ඇත. එදා මෛත්‍රීපාල මහතාට සහාය දැක්‌වූ දෙමළ සන්ධානය වෙනම තරග කරන බව කියා තිබේ. මුස්‌ලිම් කොංග්‍රසය එජාපය සමඟÊඑක්‌ වුවත් ජවිපෙ, හෙළ උරුමය හා සරත් ෙµdන්සේකා වෙනම තරග කරන බව ද පෙනේ. සිවිල් සංවිධාන කුමක්‌ කරනු ඇද්ද?. ඔවුන්ගේ සටන් පාඨය කුමක්‌ද? මෛත්‍රී - මහින්ද එක්‌වීමක්‌ නම් ඔවුහු අපේක්‍ෂා නොකරති. ජනාධිපති මෛත්‍රීපාල ද එජාපය සමඟ දේශපාලන ගමනකට සූදානමක්‌ නැති බව පැහැදිලිය. දැන් කිසිවෙක්‌ ජාතික ආණ්‌ඩු ගැන ද කතාබහ නොකරති. ජනාධිපතිවරයා කියන්නේ 20 සම්මත කර ගෙන පාර්ලිමේන්තුව විසුරුවා සන්ධාන රජයක්‌ පිහිටුවා ගත යුතු බවය. මේ වන විට එජාපය සමඟÊආණ්‌ඩු කිරීමෙන් ලබාගත් අත්දැකීම් ද ඔහුට තිබේ. මොන දේ වුණත් තමන්ගේ මහ ගෙදර වන ශ්‍රීලනිපය සමඟ සිටීම ඔහුට ශක්‌තියක්‌ බව අමුතුවෙන් වටහා දීමට අවශ්‍ය නොවේ.

අද අප ඉදිරියේ තිබෙන්නේ මොහොතින් මොහොත වෙනස්‌ වන දේශපාලනයකි. ජනාධිපති මෛත්‍රීපාල මහතා අවංකවම 20 වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටියි. එහෙත් ඒ වුවමනාව අන් කිසිවකුට නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ම කරන ලද ප්‍රකාශයකින් මේ ලිපිය අවසන් කරමි.

කෙබඳු සමාජ ප්‍රතිසංස්‌කරණ සිදු කළත් දේශපාලනඥයාගේ මනස තුළ ප්‍රතිසංස්‌කරණයක්‌ සිදු නොවේ නම් නීතියෙන් හෝ වෙන අන් අයුරකින් හෝ සිදු කරනු ලබන කිසිදු ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියකින් අපේක්‍ෂිත ප්‍රතිඵල අත්නොවනු ඇත. සැබැවින්ම අපේ දේශපාලන සංස්‌කෘතීන් ගැන ඊටත් වඩා යමක්‌ කිව හැකිද?

ගාමිණී සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.