රනිල්ගේ කාටවත් 20 තේරෙන්නේ නෑලු
මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි



අපේ රටේ දේශපාලන පක්‍ෂ තම තමන්ට ජයගන්නට තිබෙන අභියෝගාත්මක ප්‍රශ්නවලට වෙන වෙනම විසඳුම් සොයමින් සිටින අතරේ තවත් සතියක්‌ වේගයෙන් ගෙවී ගියේය.

මේ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයට අභියෝගයක්‌ වූයේ හැකි ඉක්‌මනින් ආණ්‌ඩුව විසුරුවාහැර ඊළඟ මැතිවරණයට යන්නේ කවදාද යන ප්‍රශ්නයයි. ඔවුන් සටන් කළේ ඒ වෙනුවෙනි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රී කණ්‌ඩායමට තිබුණේ ඊට වඩා තරමක්‌ එහා ගිය ප්‍රශ්නයකි. ඔවුන්ගේ අභියෝගය පාර්ලිමේන්තුව විසුරුවා ඊළඟ මහ මැතිවරණයට යැමට පෙර 20 වැනි සංශෝධනය ජයගැනීමය. මෛත්‍රී පිල වෙහෙසුණේ ඒ අනුවය. ශ්‍රීලනිපයේ මහින්ද පිලේ අරමුණ වුණේ මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපයේ අගමැති කර ඔහු වටේ පක්‍ෂය ගොනුකර ගැනීමය. ඔවුන් ඒ වෙනුවෙන් ලොකු සටනක්‌ කළහ. ජවිපයට ප්‍රශ්නයක්‌ වුණේ එන්න එන්නම තමන් ජනතාවගෙන් ඈත්වීම වළක්‌වා ගැනීමය. මේ සඳහා මෙහෙයුම ඇරඹූ ජවිපය දැන් එජාපයටත් රජයටත් මහින්ද පිලටත් මදි නොකියාම පහර ගහන ප්‍රතිපත්තියක්‌ ක්‍රියාවට නගා තිබිණි.

මේ අයුරින් පසුගිය සතියේද ශ්‍රී ලාංකික දේශපාලනය තුළ ජනමතයක්‌ එක අරමුණක්‌ එක ගමනක්‌ දැක ගන්නට ඉඩ ලැබුණේ නැත. ඔවුහු විවිධ අරමුණු සහිතව ඒ ඒ පැතිවල ගමන් කරමින් සිටියහ. රට බොහොම ව්‍යාකූල ගමනක්‌ යන බව බොහෝ දෙනකුට පෙනෙන්නට වූයේ එනිසාය.

මාතර රැස්‌වීමට පශ්චාත් මරණ පරීක්‍ෂණ

පසුගිය සති අන්තයේ පක්‍ෂ විපක්‍ෂ කොයි කවුරු අතරත් කතාබහට ලක්‌වුණ ප්‍රධානතම මාතෘකාව වූයේ මාතර රැලියයි. රැලිය මුළුමනින්ම සංවිධානය කර තිබුණේ ඩලස්‌ අලහප්පෙරුමය. මහින්ද යාපා ඔහුට ලොකු සහායක්‌ දැක්‌වූ අතර විමල්, දිනේෂ්, වාසු, උදය රැලියේ පිටස්‌තර සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටියහ.

මහින්ද සමඟ පෙරට රැලි මාලාවේ අන් කවර රැලියකටත් වඩා අතිවිශාල සෙනඟක්‌ මාතරට පැමිණීම තුළ තිගැස්‌මට පත් පාර්ශ්ව ගණනාවක්‌ම තිබිණි. විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ මහින්ද විරෝධී කණ්‌ඩායමේ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ ජනසන්නිපාතය නිසා කලබල වූහ. එක්‌සත් ජාතික පක්‍ෂය මෙය එතරම් ප්‍රශ්නයක්‌ කර නොගත්තේ මාතර බඳු තැනක මෙබඳු මහ සෙනඟක්‌ මහින්ද වෙනුවෙන් ඒකරාශි වන බව ඔවුන් දන්නා නිසාය. එහෙම තිබියදීත් එම මහ සෙනඟ මාතරට ගැනීම නිසා පැමිණියා නොව, මුදල් වියදම් කර වාහන දමා ඇද්දුවා යන මතය තහවුරු කරන්නට දේශපාලනිකව වෙහෙසුනහ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ මහින්දගේ නැගිටීම දකුණු පළාත වෙනුවෙන් නිවැරැදිව පෙන්නුම් කළ මාතර රැස්‌වීමේ "සංඥව" මෛත්‍රීපාල පාර්ශ්වය ද මැනවින් හඳුනා ගත්තේය. මහින්දට ශ්‍රීලනිපයට ඔය තරමටම අවශ්‍ය බව පක්‍ෂයේ පහළ ස්‌ථරය කියයි නම් ඒ සඳහා ක්‍රමවේදයක්‌ සකසන්නට මෛත්‍රී පාර්ශ්වයෙන් ද යෝජනා මතු විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සන්ධාන නායකයන්ට හා තම සමීපතම ලේකම්වරුන්ට උපදෙස්‌ දුන්නේ මේ ගැන කතාබහ කිරීමට සන්ධාන පක්‍ෂ කණ්‌ඩායම් රැස්‌වීමක්‌ තමන්ගේ ප්‍රධානත්වයෙන් කැඳවන ලෙසය. ලේකම්වරු ඒ සඳහා විපක්‍ෂයේ සිටින සන්ධාන පාක්‍ෂිකයෝ සංවිධානය කරන්නට වූහ. "මහින්ද ඕන නම් ඒ සඳහා ක්‍රමවේදයක්‌ සකසන රැස්‌වීම" ලෙස මේ ගැන පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ මත පළ කරන්නට පටන් ගත්හ.

තලතා ලස්‌සන බව මහින්දත් කියලා

රත්නපුර පුංචි දඹදිව පන්සලේ නායක හිමියෝ අපවත් වූයේ ගිය සති අන්තයේය. මේ නාහිමියන්ට අවසන් ගෞරව දක්‌වන්නට ලංකාවේ සතර අතින් මහ සෙනඟ ඇදී ආ අතර දේශපාලනඥයෝ ද විශාල පිරිසක්‌ රත්නපුර සිරිපා කන්ද පාමුල මේ පුරාණ පන්සලට පැමිණ ගියහ.

ආදාහන පූජෝත්සවය පසුගිය සඳුදා පැවැත්විණි. පන්සලේ ප්‍රධාන දායකත්වය උසුලනු ලැබූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතානගේ ප්‍රධානත්වයෙන් ආදාහන පූජෝත්සවය සංවිධානය කෙරිණි.

ආදාහන උත්සවය වෙලාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද නායක හිමියන්ට අවසන් ගෞරව දක්‌වන්නට පැමිණියේ චානක වක්‌කුඹුර, රංජිත් සොයිසා ඇතුළු පිරිසක්‌ සමඟය. ආණ්‌ඩු පක්‍ෂය පැත්තෙන් තලතා අතුකෝරල ඇතුළු පිරිසක්‌ පැමිණ සිටි අතර ඇය සිටියේ ප්‍රධාන පීඨ§කාවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශෝක පණිවිඩය කරුණාරත්න පරණවිතාන විසින් කියවනු ලැබූ අතර අගමැතිගේ පණිවිඩය කියෑවූයේ තලතා අතුකෝරළය.

උත්සව සභාව මෙසේ පවතිද්දී ඊට එකතු වූ ජනාධිපති මහින්ද ඉඳගත්තේ සාමාන්‍ය අමුත්තන් වාඩිගෙන සිටින පැත්තේය.

ඔහු එතන වැඩි වේලාවක්‌ සිටියේ නැත. යන්නට නැගී සිටි මහින්ද කෙළින්ම ගියේ අනපේක්‍ෂිත ලෙස තලතා අතුකෝරළ ළඟටය. ඕ ඉන් මවිතයට පත්වූවාය.

ඔබතුමාටත් කතාවක්‌ කරන්න දෙන්න පුළුවන්... තලතා කීවාය.

නෑ තලතා ඒක අවශ්‍ය නෑ. මම මෙහෙම තැන්වල හරිම අපහසුවෙනුයි ඉන්නේ. ඒක නොවෙයි. ආණ්‌ඩු පක්‍ෂයේ ඉඳලම ඔයා දැන් හරි ලස්‌සන වෙලානේ...

ඔබතුමා තමයි ලස්‌සන වෙලා තියෙන්නේ. දැන් විවේකය වැඩි නිසා.... මෙසේ දෙපැත්තට විහිළුවක්‌ දෙකක්‌ හුවමාරු කර ගත් දෙදෙනා දෙපැත්තට ගියහ. උත්සව සභාව පවතිද්දී හිටපු ජනාධිපතිවරයා එතනින් සමුගෙන එන්නට ආවේය. ජෝන් සෙනෙවිරත්න, චානක වක්‌කුඹුර ඇතුළු පිරිසත් මේ සමඟම එන්නට ආහ.

මෛත්‍රී මහින්ද සමගි කරන්න පෙරමුණක්‌ හැදිලා

මෛත්‍රී මහින්ද සමගියකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට නායකත්වය ලබා දී හදන ශ්‍රීලනිප ආණ්‌ඩුව ගැන සිහින දකින මේ රටේ හුඟදෙනකුගේ අභිප්‍රාය වූයේ මහින්දත් මෛත්‍රීත් එකතු කළ යුතු බවය. එසේ නොවුණහොත් නිසැක ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කොටස්‌ දෙකකට කැඩී ඡන්දය ඉල්ලීම තුළ එක්‌සත් ජාතික පක්‍ෂය ජයගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවීම බව ශ්‍රීලනිපයේ අතිවිශාල බහුතරයක්‌ දැන සිටියහ. හුඟදෙනෙක්‌ උත්සාහ කළේ ඒ අවසන් ප්‍රතිඵලය වැළැක්‌වීමටය.

එහෙත් එය හිතන තරම් ලෙහෙසි පහසු වුණේම නැත. එක්‌ එක්‌ පාර්ශ්වවලින් යෝජනා ගෙනවිත් මෛත්‍රීත් මහින්දත් සමගි සාකච්ඡා මේසයේ දෙපැත්තේ වැඩි කරන්නට ඔන්න මෙන්න තිබියදී කතාබහ බිඳවැටුණු අවස්‌ථා ද ගණනාවක්‌ම තිබිණි.

මේ එකඟ වී ආපසු යන මෛත්‍රී බොහෝ විට ආපසු වෙනස්‌ කරන්නේ රාජිත හෝ චම්පික හෝ සෝභිත හිමියන් හෝ චන්ද්‍රිකා මැතිනිය හමු වූ විට බව දැන් මේ රටේ රහසක්‌ නොවේ.

මේ තතු කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතර නායකයෝ සිටියේ මෛත්‍රී - මහින්ද සමගි කළ යුතුයි කියන මතයේය. මේ නිසා පසුගිය අඟහරුවාදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායම හා බස්‌නාහිර ක්‍රියාකාරිකයන්ගේ රැස්‌වීමක්‌ පවත්වන්නට යෙදිනි.

මෙම හමුව සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කෙරුණේ ශ්‍රීලනිපයේ මහලේකම්වරයා හා සන්ධානයේ මහ ලේකම්වරයා අතිනි. සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු හා බස්‌නාහිර පළාත් පාලන නියෝජිතයෝ මීට සහභාගි විය යුතු විය. රැස්‌වීම අඟහරුවාදා සවස පදනම් ආයතනයේ පවත්වන්නට සියල්ල සූදානම් වූහ.

හිරුණිකාට හා ප්‍රසන්නට හූ වර්ෂාවක්‌

නියමිත පරිදි පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම ආරම්භ කෙරිණි. මෙහිදී මුලින්ම කතා කළේ කුමාර වෙල්ගමය.

ජනාධිපතිතුමනි, මේ යන විදිය හරි යන්නේ නැහැ. මෙහෙම ගියොත් හැදෙන්නේ යූ. ඇන්. පී. රජයක්‌. අපි අපේ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න නම් අගමැති අපේක්‍ෂකයා හැටියට මහින්ද රාජපක්‍ෂ මහත්තයා ගන්නම වෙනවා. මේක මගේ මතය නොවෙයි. අපේ ගම්වල ඉල්ලීම.....

කුමාරට පසුව ඊළඟට කතා කළේ ඩිලාන් පෙරේරාය.

මාකට්‌ කරන්න පුළුවන් භාණ්‌ඩ එපායෑ වෙළඳපොළට දාන්න. ඡන්දෙදී අපට මාකට්‌ කරන්න පුළුවන් මහින්ද මහත්තයා විතරයි. අපි ඒක නොකළොත් ඉතිහාසයේ මහා විශාල වරද්දාගැනීමක කොටස්‌කරුවන් වෙන්න අපට සිද්ධ වෙනවා. ජනාධිපතිතුමනි, අපි පක්‍ෂයේ ජයග්‍රහණය ගැන කල්පනා කරමු. ඩිලාන්ට පසුව ධනසිරි අමරතුංගය.

"මම යූ.ඇන්.පී. කාරයෙක්‌. මම මෙතැනට ආවේ එතැන ඉඳල නිසා එතැන වෙන දේ ගැන, ඉන්න අය ගැන මම හොඳට දන්නවා. මම හොඳටම රනිල් ගැන දන්නවා. රනිල් කියන්නේ තමන්ගේ ගෙදර පොල් කඩන මිනිහවත් හිරේ දාන ජාතියේ මිනිහෙක්‌. ඒක නිසා අපිට රනිල් එක්‌ක ගමනක්‌ නෑ. මහින්ද හැර අපට වෙන විකල්පයක්‌ නෑ.

එහෙම වෙන්න විදිහක්‌ නෑ... කියමින් මේ වෙලාවේ ලොකු කතාවක්‌ මහින්ද විරෝධීව කරන්නට නැගී සිටියේ ප්‍රසන්න සෝලංගආරච්චිය.

එහෙත් ඔහුට කතා කරන්නට ලැබුණේම එපමණකි. පසුපසින් විශාල ඝෝෂාවක්‌ හා බැණවැදීම් නිසා ප්‍රසන්න වාඩි වූයේය.

ප්‍රසන්න වාඩිවන විටම නැගිට්‌ටේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. හිරුණිකාට කතා කරන්නට වචනයක්‌ ඉඩ නොලැබිණි. පිටුපසින් හූ හඬ සමඟ පරුෂ වචන වරුෂාවක්‌ එල්ල විය. හිරුණිකා කිසිවක්‌ කරකියාගත නොහැකිව ශාලාවෙන් එළියට ගියාය.

හරි හරි කලබල වෙන්න එපා. ඔයගොල්ලන්ගේ ඉල්ලීම ගැන කතා කරගන්න නේ අපි අද මෙතැනට ආවේ. අපි ඔක්‌කොමටම කතා කරන්න බෑ. අපි ඒකට කමිටුවක්‌ පත්කරමු. සුසිල් කමිටුවක්‌ දාන්න.

මේ අනුව සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත කමිටුව නම් කළේය.

ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, ටී. බී. ඒකනායක, කුමාර වෙල්ගම නම් හතර යෝජනා කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රී සුසිල්ට එස්‌. බී. දිසානායක හා එස්‌. බී. නාවින්නව පෙන්නුවේ මේ දෙන්නාවත් දාන්න කියන්නාක්‌ මෙනි.

මේ මේ... අපෝ අපිව ඕවට ගාවගන්න එපා... යනුවෙන් දෙදෙනාම කියමින් සංඥ කළ නිසා ඒ නම් දෙක නොකියවිණි.

මෙතනට ශ්‍රීලනිපයේ ලේකම් තුමයි සන්ධානයේ ලේකම්තුමයි ඉන්න ඕන. නැත්නම් මෙතැන කිසිම නිලබලයක්‌ නැහැ. ඩිලාන් කීවේය.

මේ නිසා සුසිල් ප්‍රේමජයන්ත හා අනුර යාපාව ද මේ කමිටුවට නම් කෙරිණි. කමිටුවේ කාර්ය භාරය වූයේ මහින්ද - මෛත්‍රීS සමගිය ඇතිකර පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා වැඩපිළිවෙළක්‌ යෝජනා කරන්නටය.

මේ යෝජනාව සභාසම්මත වී ක්‍රියාත්මක තලයට පත්වීම නිසා එම රැස්‌වීමේ සිටි බහුතර පිරිසක්‌ සතුටු වූහ. ඩිලාන් කැපී පෙනිණි. ඔහු එළියට ආවේම "ඔන්න අපේ පළමුවැනි වැඩ කොටස ඉවරයි" කියා හඬ නගා ප්‍රකාශ කරමිනි.

එහෙත් රාජිත, චම්පික, එස්‌. බී. දිසානායක, එස්‌. බී. නාවින්න ඇතුළු පිරිසක්‌ එතරම් සතුටක්‌ ප්‍රදර්ශනය නොකළහ. රාජිත එළියට ආවේ ලොකු තරහකින් බව පෙනිණි. ඔහු වටකරගත් මාධ්‍යවේදීන් සිදුවුණු දේ ගැන කරුණු අසද්දී ඔහු ඔවුන්ට බැණවැදුණා මිස කිසිවක්‌ කීවේ නැත.

කරු ඉන්නේ තවම කනස්‌සල්ලෙන්

මේ තරම් පාර්ලිමේන්තුවේ බලයක්‌ තිබියදීත්, පක්‍ෂ නායකයන් වැඩිදෙනකුගේ සහයෝගය ලැබී තිබියදීත් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගත නොහැකිවීම ගැන පසුගිය සතියේත් ඇමැති කරු සිටියේ කනස්‌සල්ලෙනි. මේ සඳහා කරුට උදව් කළ සිවිල් සංවිධාන හා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක්‌ පසුගිය සතියේ කරු ජයසූරිය මුණගැසෙන්නට පැමිණියහ.

අධෛර්යමත් වන්න එපා. ඔබතුමා මේ වෙනුවෙන් අප්‍රමාණව කැපවුණ බව අපි දන්නවා. අපි කොහොමහරි එකට ඉඳල මේ වැඩේ කරගමු. ඔවුහු යෝජනා කළහ.

මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට විරුද්ධව හිතාමතාම පිරිසක්‌ බාධා කරනවා. එදා විපක්‍ෂයේ ඉඳල මම මන්ත්‍රීවරයෙක්‌ විදියට ඔය පනත ගෙනෙද්දීත් ආණ්‌ඩුවේ ඉඳගෙන ඔය පිරිස මට බාධා කළ හැටි මතකයි... කරු කීවේය.

මේ අතරතුර පසුගිය සෙනසුරාදා අමාත්‍ය කරු හා චම්පික රණවක හෝමාගම බලා පිටත්ව ගොස්‌ තිබුණේ මිහිඳු පෙරහැරක්‌ නැරඹීමටය. පෙරහැර පැවැත්වුණේ හෝමාගම පුරාණ රජමහා විහාරයේදීය.

මෙම පෙරහැර මීට වසර 54 කට පෙර මුලින්ම ආරම්භ කරන ලද්දේ ඩී. පී. පනාගොඩ මහතා විසිනි. එදා ඔහුට ඒ සඳහා වියදම් වී ඇත්තේ රු. 80 කි. අද රටේ සුප්‍රකට මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සුප්‍රකට පෙරහැරක්‌ වී ඇති එය කඳුළු පිරි දෙනෙතින් යුතුව නරඹමින් පනාගොඩ මහතා අතීත විස්‌තර අමාත්‍යවරු ඉදිරියේ ගෙනහැර පාන්නට වූහ.

මේ වෙලාවේ අමාත්‍යවරු ඔහුට ස්‌තුති කළේ මීට වසර 54 කට පෙර අරඹා පනාගොඩ මහතා අද වනතුරුත් ඊට නොකඩවා ලබාදෙන දායකත්වය හා නායකත්වය පිළිබඳ ප්‍රශංසා කරමිනි.

සුදු වෑන් වෙනුවට සුදු පෑන්

අඟහරුවාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට හිතවත් මාධ්‍යවේදීන් වෙනුවෙන් එක්‌තරා සාදයක්‌ පැවැත්විණි. ඒ සඳහා මාධ්‍යවේදීන් 100 ක්‌ පමණ පැමිණ සිටියහ. මාධ්‍යවේදීන් වේලාසන පැමිණ මධුවිතින් හා රසමසවුලෙන් සංතර්පනය වෙමින් සිටින අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණියේ රාත්‍රි 9.00 ට පමණය.

සාමාන්‍යයෙන් මෙබඳු සාද සඳහා පසුගිය රජයේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය මෙම ශාලාව අතිවිශාලය. එහෙත් මෙම සාදයේ ආරාධිතයන් ඉතා සීමිත බැවින් අතිවිශාල ශාලාවේ බොහෝ මේස පුටු හිස්‌ව තිබීම විශේෂත්වයකි.

සර්.... හෝල් එකේ හැටියට සෙනඟ නම් මදි නේද.... මාධ්‍යවේදියෙක්‌ රනිල්ගෙන් විමසුවේ මේ අතරය.

අපි ආරාධනා නම් යෑව්වා ඔච්චරයි. ඇවිත් ඉන්නේ. අනිත් එක මහින්ද වගේ මම දන්සල් දෙන්න කැමති මිනිහෙකුත් නෙමෙයි නේ... රනිල් කීවේය.

ඉස්‌සර මේ වගේ පාටිවල මාධ්‍යවේදීන් කියල ආවේ මාධ්‍යවේදීන් නොවන අය. අපි කතා කළේ උදව් කරපු අයට විතරයි රනිල් තවදුරටත් කීවේය.

රනිල් මෙතනදී සෑම මේසයකටම ගොස්‌ මාධ්‍යවේදීන් සමඟ කතාබහ කළේය. සෑම තැනකදීම රනිල් කීවේ "අපට ඊළඟ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයට යෝජනා ලබාදෙන" ලෙසය.

ඔයගොල්ලෝ දැන් බය නැතුව මාධ්‍ය රස්‌සාව කරන්න. අද සුදුවෑන් නෑ. තියෙන්නේ සුදු පෑන් විතරයි. රනිල් කීවේ මාධ්‍යවේදීන් හිනස්‌සවමිනි.

සාදය රාත්‍රි 12.00 ද ඉක්‌ම යනතුරු පැවැත්විණි. අගමැතිවරයා ඒ මුළු කාලයම ගත කළේ මාධ්‍යවේදීන් සමඟය. සාදය පෙර පැවති සාදවලට වඩා වියදම් අඩු සාදයක්‌ වී තිබිණි. ඒ අතර සාදය සංවිධානය කළ ලේකම්වරු කැඳවා රනිල් උපදෙස්‌ දුන්නේ මෙබඳු වියදම් රජයේ වියදම් ලෙස නොයොදා වෙනත් විකල්ප ක්‍රමයක්‌ මගින් මෙබඳු සාදවල වියදම පියවා ගන්නට කටයුතු කරන ලෙසය.

මේ අතරතුර තව තැනක තව අපූරු වැඩක්‌ සිදුවෙමින් තිබිණි. එතැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක්‌ රැස්‌ව සිටියහ. ඔවුන් කළේ එක්‌තරා දුරකථනයකින් ඇසුණ සාකච්ඡාවක්‌ කන්aදී අසා ගෙන සිටීමය. සාකච්ඡාව එදා පදනම් ආයතනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවයි. එතැන සිටි අයෙක්‌ දුරකථනය මගින් සියලු විස්‌තර හිටපු ජනාධිපතිවරයා වෙත අසන්නට සලස්‌වා දී තිබිණි.

මෛත්‍රී - මහින්ද සමගිය බිඳින්නටත් මෙහෙයුමක්‌

අඟහරුවාදා හවස පදනම් ආයතනයේ සිදු වූ සිද්ධිය නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද විරෝධී කණ්‌ඩායම හොඳටම කැළඹී සිටියහ. මහින්දව ගෙනැවිත් මෛත්‍රීපාලට පූට්‌ටු කරන්නට ඇතැම්හු ගෙන යන ව්‍යාපාරය කෙසේ හෝ නතර කළයුතුය කියා සිතන පිරිසක්‌ ද සිටියහ. මේ පිරිස වෙනම රැස්‌වී ඊළඟට කළයුත්තේ කුමක්‌දැයි කතා කරන්නට වූහ. ඔවුන් කල්පනා කළේ කුමක්‌ හෝ කර මහින්දව මේ ව්‍යාපාරයෙන් ඈත් කරන මෙහෙයුමක්‌ සූදානම් කිරීමටය.

අඟහරුවාදා රාත්‍රියේ රාජිත, චම්පික හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මෙන්ම එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, කොළඹ විඡේරාම මාවතේ පිහිටි ජනාධිපති නිවසට පැමිණ සිටියහ. ඔවුන් ජනාධිපතිවරයා හා විශේෂ සාකච්ඡාවකට වාඩි වූහ.

මෙතනදී පිරිස කතාබහ කළේ මෛත්‍රී - මහින්ද සමගිය ඇති කරන්න පත්කරන ලද කමිටුවේ කාර්යභාරය ගැනය.

මෙහිදී හිටපු ජනාධිපතිනිය ඒ සම්බන්ධව තම විවෘත අදහස ප්‍රකාශ කර සිටියාය.

එම සාකච්ඡාව පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවුණත් එබඳු සාකච්ඡාවක්‌ කෙරුණ බවට තොරතුරු හෙළිවූයේ ඒ මොහොතේ එතැන සිටි වෙනත් මන්ත්‍රීවරයෙක්‌ පසුදා උදේ හිටපු ජනාධිපතිවරයාට කළ විස්‌තරයකිනි. ඒ මොහොතේ ටී. බී. ඒකනායක ඇතුළු පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයා සමඟ කතා කරමින් සිටියහ. ඩලස්‌ අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග ආදීහු ද ඊට සහභාගිව සිටියහ.

"ඕකනේ මම කියන්නේ.... කවමදාකවත් ඕක වෙන්න චන්ද්‍රිකාලා, පාඨලීලා, රාජිතලා ඉඩ තියන්නේ නැහැ. ඕගොල්ල ඔච්චර මහන්සි වුණාට වැඩක්‌ නෑ. ඒක කඩාකප්පල් කරන්න වැඩවලදී කකුලෙන් අදින්න තවත් බලවත් පිරිසක්‌ ඉන්නවා. ඔයාලට ඕන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කඩන්න. එසේ නම් කියන්නේ මෛත්‍රීපාලත් එයාලගේ හිරකාරයෙක්‌ වෙලා" හිටපු ජනාධිපතිවරයා කීවේය.

නැහැ සර්..... එහෙම හිතන්න එපා... අපි මහන්සි වුණේ අපට පුළුවන් රට තුළින් ඒ මතය ගෙනල්ලා පක්‍ෂ නායකත්වයට බලපෑමක්‌ කරන්න. පක්‍ෂයේ පහළ ස්‌ථරයට එකම යෝජනාවක්‌ කරනකොට කොහොමද නායකයෝ පහළින් උඩට එන යෝජනාවට පයින් ගහන්නේ.

කුමාර වෙල්ගම, ඩලස්‌ ඇතුළු පිරිස ටී. බී. ඒකනායකගේ කීම තහවුරු කළහ.

මෙතන කකුලෙන් අදින මිනිස්‌සු ඉඳියි. අපි ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕන. නොසලකාහරින්න නරකයි. ප්‍රසන්න රණතුංග කීවේය. මේ අයුරින් එම සාකච්ඡාව ද නිමවිය.

පසුගිය සතියේ එක්‌සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේත් රහසිගත සාකච්ඡා වට කිහිපයක්‌ම තිබිණි. ඔවුන්ගේ ලොකුම ප්‍රශ්න 3 ක්‌ තිබිණි. එකක්‌ 20 වන සංශෝධනයයි. දෙවැන්න රනිල්ගේ විශ්වාසභංගයයි. තෙවැන්න රවීගේ විශ්වාසභංගයයි. මේ ප්‍රශ්න තුන ලොකු අභියෝග 3 ක්‌ ලෙස එජාපය ඉදිරියේ පෙනෙන්නට තිබිණි.

20 වන සංශෝධනයේදී එජාප මන්ත්‍රීවරුන්ට බලපෑ ලොකුම ප්‍රශ්නය වූයේ පාර්ලිමේන්තුවේ සංයුතියයි. මුලින් එජාපය කීවේ මන්ත්‍රීවරු 225 ට තිබිය යුතු බවය. පසුව එය 237 ක්‌ දක්‌වා ඉහළ නගින්ට වූ විට ඊට එකඟ වන්නට ද එජාපය කැමති වූහ.

පසුගිය සතියේ මේ යෝජනාවලිය මන්ත්‍රීවරු 237 ක්‌ ලෙස කැබිනට්‌ මණ්‌ඩලයට පැමිණියේය. කැබිනට්‌ මණ්‌ඩලයේදී මෙම යෝජනාව සැලකිල්ලට ගැනිණි. එහෙත් එය පාර්ලිමේන්තුව හමුවට යවන්නට තීරණයක්‌ ගැනුණේ නැත. අනුමැතියක්‌ ප්‍රකාශ කෙරුණේ ද නැත. සම්මත වුණේ ද නැත. එහෙත් එම යෝජනාවලිය ගැසට්‌ කරන්නට පමණක්‌ අනුමැතියක්‌ පළවිය.

20 තේරෙන්නේ නෑ; මන්ත්‍රීවරු රනිල්ට කියති

මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට යවන්න තීරණය නොකළත් එක දෙයක්‌ කළේය. ඒ වූකලී යෝජනාවලියේ පිටපත් මුද්‍රණය කරමින් සියලුම පක්‍ෂවල නායකයන්ට හා ලේකම්වරුන්ට බෙදාහැරීමයි. මේවා කියවා බැලූ පක්‍ෂ නායකයෝ ඊට පසුවදා සිට අගමැති රනිල්ට කතා කරන්නට පටන් ගත්හ.

මේ අතරතුර රනිල් තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ කතාකරමින් සිටින අතර මේ රහස හෙළි කළේය.

හුඟදෙනෙක්‌ කියන්නේ මේ යෝජනාවලිය තේරෙන්නේ නෑ කියල නේ. රනිල් කීවේය.

ඔව් සර් මටත් කතා කළා අපේ මන්ත්‍රීවරු, ඇමැතිවරු. එයාලා කියන්නේත් පැහැදිලි නෑ කියලා.

මටත් එතන තියන සමහර යෝජනා නම් තවම තේරුනේ නෑ. මම බැලුවේ අනිත් අයට තේරිලාද කියලා. දැන් එහෙම නම් ප්‍රශ්නයක්‌ තියෙනවා කියමින් රනිල් සිනාසුණේය.

කැබිනට්‌ මණ්‌ඩලයේදී යෝජනා සම්මත වී මේ ක්‍රමය ඉදිරියට යන්නට එය ද හේතුවක්‌ විය.

මහින්දගේ පක්‍ෂය ගැන එජාපයෙන් විග්‍රහයක්‌

අගමැති රනිල් පසුගිය සතියේ තම සමීපතම දේශපාලන මිත්‍රයන් සමඟ කතාකරමින් සිටින අතර හිටපු ජනාධිපති මහින්ද ගැන ද ලොකු කතාබහක්‌ ඇතිවිය. රාජිතල චම්පිකල චන්ද්‍රිකාල විරුද්ධ නම් මහින්දට ශ්‍රී ලංකා එකෙන් ඉල්ලන්න වෙන්නෙ නෑ. ජනාධිපති මෛත්‍රී එකඟ වෙන්නේ නෑ. මහින්දට වෙනමම පක්‍ෂයකින් ඉල්ලන්න වෙනවාම තමයි රනිල් කීවේය.

එහෙම නම් ඉතින් මහින්දට ඉල්ලන්න වෙන්නේ දිනේෂ්ලගෙ මහජන පක්‍ෂයෙන් තමයි. දිනේෂ්ලගෙ මහජන එක්‌සත් පෙරමුණ දිගු ඉතිහාසයක්‌ තියන පක්‍ෂයක්‌ නේ.

නැහැ සර්... මහින්ද ඒකෙන් ඉල්ලන්නෙත් නැහැ. අර හඩ්සන් සමරසිංහලට තියෙනවද පක්‍ෂයක්‌. මොකක්‌ද පුරවැසි කතාවක්‌. කිරිඇල්ල කීවේය.

ආ.... පුරවැසි පෙරමුණද?

ඔව් ඔව් ඒ මොකක්‌ද තමයි. ඒකත් එක්‌කලු ඉල්ලන්නේ.

මේ කතාබහ යන අතරේ රවී කරුණානායක අලුත් 6 දෙනාගේ කමිටුව ගැන කතා කළේය.

කමිටුවක්‌ පත්කළා. හැබැයි පටන් ගන්නකොටම හබක්‌ වෙලා. රවී කීවේය.

මෙයාලා තෙලුයි වතුරයි එකතු කරන්න නේ කමිටු දාල තියෙන්නේ. තෙලුයි වතුරයි එකතු කරන්න පුළුවන්ද? රවී නැවතත් එසේ කී විට සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්හ.

ඇවිලෙන ගින්නට රාජිතගෙන් පිදුරු

මෛත්‍රී - මහින්ද සමගි කිරීමේ කමිටුව වෙනුවෙන් ජෝන් සෙනෙවිරත්න බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළේ ඊළඟට කළයුතු දේ ගැන විමසන්නටය. ජෝන්ගේ ඉල්ලීම වූයේ කමිටුව ජනාධිපතිතුමා හමුවන්නට ඉතා උවමනාවෙන් බලා සිටින බවකි.

ජනාධිපති මෛත්‍රී මේ වෙලාවේ කිසිවක්‌ කියා නැත. ඒ සඳහා වේලාවක්‌ ලබාදෙන බව පමණක්‌ කියා තිබිණි. ජෝන් සෙනෙවිරත්න ඇතුළු 6 දෙනාගේ කමිටුව ඒ වෙලාව ලැබෙනතුරු බලා සිටියහ.

එනමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒ සඳහා වේලාවක්‌ දීමට නොහැකි වූයේ ඔහුට ඒ වන විට පැමිණ තිබූ විවිධ යෝජනා නිසාය. රාජිතලාගේ චම්පිකලාගේ පාර්ශ්වවලින් ඊට තිබූ ප්‍රතිරෝධය ඉතා ප්‍රබල වූහ. මේ නිසා ජනාධිපතිවරයා නිහඬව සිටියේය.

ජනාධිපති නිහඬව සිටියේ ඇමැති රාජිත කැබිනට්‌ ප්‍රකාශක ලෙස පසුගිය කැබිනට්‌ තීරණ ප්‍රකාශ කිරීමේ රැස්‌වීමේදී ලොකු ගින්නක්‌ ඇවිලුවේය. ඔහු ඒ ගින්න තිබ්බේ මාධ්‍යවේදීන් මහින්දට අගමැති අපේක්‍ෂකකම දෙනවාදැයි ඇසූ අවස්‌ථාවකය.

එහෙම තීරණයක්‌ අරන් නැහැ. ජනාධිපතිතුමා අර හයදෙනාගේ කමිටුව අමතපු වෙලාවේ පැහැදිලිව කිව්වා අගමැති අපේක්‍ෂකකම මහින්දට දෙන්නේ නැහැ කියලා. නොමිනේෂන් දෙන්නෙත් නැහැ කිව්වා. රටේ ජනතාව ඔහුට කොච්චර දේවල් දීල තියෙනවද. ඔහුව මන්ත්‍රී කෙරෙව්වා, ඇමැති කෙරෙව්වා, අගමැති කෙරෙව්වා, ජනාධිපති කෙරෙව්වා. ආයෙත් අගමැති කරවන්නද කියන්නේ.

කියමින් රාජිත මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සුණු විසුණු කර දැමුවේය.

මේ ප්‍රකාශය සමාජයට ගියේ "ජනපතිගේ නිල් එළිය තුළින් රතු එළියක්‌ වෙයි" යන ශීර්ෂ පාඨයෙනි. මෛත්‍රී - මහින්ද සමගියක්‌ ඇතිවේය යෑයි ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාක්‍ෂිකයන්ගේ පැතුම් සීසීකඩ විසිර ගියේය. රාජිත සිනහ සිසී ගෙදර ගියේය.

නමුත් පසුවදා මේ ප්‍රකාශය දුටු ඩිලාන් පෙරේරා හා ජෝන් සෙනෙවිරත්න කුපිත වූහ. ජෝන් කීවේ තම කමිටුව තවමත් ජනාධිපති මෛත්‍රී සමඟ කතා කර නැතිව තිබියදී රාජිත මෙසේ කියන්නේ කෙළෙසද කියාය. ඩිලාන් ඊට වඩා එහාට ගොස්‌ රාජිත ශ්‍රීලනිපය දෙකඩ කරන්නට පැමිණි බොරුකාරයෙක්‌ බවත් යූඇන්පී කාරයෙක්‌ බවත් ප්‍රකාශයක්‌ කළේය. ගින්න ඇවිලී ගියේ එලෙසිනි.

ප්‍රසන්න යවන සැලසුම රාජිත - පාඨලී බාරගෙන

ප්‍රසන්න රණතුංග මහ ඇමැතිවරයා පසුගිය දිනවල ජර්මනියට ගොස්‌ සිටියේය. ඒ අතරතුර ප්‍රසන්න මහඇමැතිකමින් ඉවත් කරන්නට සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබිණි. මුල් වරට ඒ ගැන කතාබහ වූයේ පළාත් සභාවේ රංජිත් සෝමවංශ, ඉසුර දේවප්‍රිය, හෙක්‌ටර් බෙත්මගේ, ගාමිණී තිලකසිරි, මල්ෂා කුමාරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක්‌ ශ්‍රීලනිපයේ නායිකාවක්‌ හමු වූ මොහොතකය.

ප්‍රසන්න එක්‌ක නම් මේ වැඩේ අපිට කරන්නට බෑ. එයාව යවන්න වෙනවා මම මේ ගැන අර්ජුන එක්‌කත් කතා කළා. එයාව අයින් කරන්න සැලසුමක්‌ ඕන. නායිකාව කීවාය.

මේ බලන්න මැඩම්. ප්‍රසන්නගේ ෙµaස්‌බුක්‌ එකේ තියෙනවා ජනාධිපතිතුමාට එරෙහිව එයාලා පවත්වපු රැස්‌වීමක කතාවක්‌. මෛත්‍රීපාල ජනාධිපතිතුමා නායකකමෙන් ඉවත් කරන්න කියලයි මේ කතාවේ කියන්නේ. ඉසුර දේවප්‍රිය දුරකථනයෙන් එය පෙන්වමින් කීවේය.

මේක නම් හොඳ පොයින්ට්‌ එකක්‌. නායිකාව කීවාය.

මේ අවස්‌ථාවේදී ගාමිණී තිලකසිරි ඊට විරුද්ධ විය. ඔහු කියා තිබුණේ ප්‍රසන්න බඳු හොඳ ශ්‍රී ලංකාකාරයන්ට එබඳු අතවර කිරීම පක්‍ෂයේ උදහසට පත්වන කරුණක්‌ බවය.

මේ සාකච්ඡාව එදා අවසන් විය. ඉන් පසුව යළි සඳුදා උදේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ද මේ පිරිස මේ ගැන ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට සහභාගි වූහ.

මේක ප්‍රසන්නව අයින් කරන්න යොදන වැඩපිළිවෙළක්‌. නායිකාව කීවාය.

ඒ වුණාට ඒක අපි අනුමත කරන්නේ නැහැ. ඒක වැරදියි. ගාමිණී තිලකසිරි කීවේය. මේ අතර මංජුල බුද්ධදාස වෙනම යෝජනාවක්‌ ගෙන ආවේය.

සර්... මම කියන්නේ අපි මේ කවුරුවත් ඉවත් කර කර ඉන්න ඕන නැහැ. විමල්ලා, දිනේෂ්ලා, ප්‍රසන්නලා රැස්‌වීම් තියන්නේ ලක්‍ෂ 58 ක්‌ රකින්න. ඇයි අපට බැරි සර්ට තියන ලක්‍ෂ 62 රකින්න දීපව්‍යාප්තව රැස්‌වීම් මාලාවක්‌ කරන්න.

ඒ නම් හොඳ යෝජනාවක්‌. ඔයා ඕක කතා කරන්න ඕන මාත් එක්‌ක නොවෙයි රනිල් එක්‌ක. අපි රනිල් එක්‌ක කතා කරල බලමුකෝ.

ප්‍රසන්න ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එතනදී ද කතා කරගත නොහැකි විය. ඒත් කණ්‌ඩායම වැඩේ අත හැරියේ ද නැත. ශ්‍රීලනිප නායිකාවගේ උපදෙස්‌ අනුව මේ පිරිස ඊළඟට සඳුදා රාත්‍රියේ ගියේ පාඨලී චම්පිකගේ නිවසටය. ප්‍රසන්නව ඉවත් කිරීමේ මෙහෙයුම පාඨලීට හා රාජිතට පවරන්නට තීරණය වන්නේ එම සාකච්ඡාවේදීය.

රාජිතගේ ප්‍රකාශ බොරු ඩිලාන් ඔප්පු කරයි

කැබිට්‌ ප්‍රකාශ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රාජිත ලොකු දේශපාලන බෝම්බයක්‌ පත්තු කළේය. ඔහු කීවේ අගමැති අපේක්‍ෂකකම කිසි ලෙසකත් මෛත්‍රී මහින්දට නොදෙන බවය. ඒ ගැන 6 දෙනාගේ කමිටුවට ජනාධිපති කීවේ යෑයි ඔහු සහතික කර කීවේය.

එහෙත් ඇත්ත කතාව ජනාධිපතිවරයා එම කමිටුව සමඟ කිසිදු සාකච්ඡාවක්‌ කර නොතිබීමයි.

ජනාධිපති මුල්වරට එම කමිටුව හා කතාබහ කළේ සිකුරාදා හවස 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එම සාකච්ඡාව පැය 1 1/2 ක්‌ පැවැත්විණි. එය ඉතා සාවධානව කරුණු කතාබහ කළ සාකච්ඡාවක්‌ විය. ශ්‍රීලනිපය සමගි කර මහින්ද - මෛත්‍රී එකට එකතු කිරීමේ වැඩපිළිවෙළේ මුල් අදියර මෙහිදී සාර්ථක වූ බව සාකච්ඡාව අවසන් වන විට සෑම පාර්ශ්වයකින්ම කියවිණි.

බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.