මහින්ද නැවත එන්නේ පරණ වැරදි නැතුවයි
- කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා නැවත බලයට ගෙන ආ යුතු බව කියන අය අතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එහි ප්‍රබල කාර්යභාරයක්‌ ඉටු කරමින් සිටී. නිර්භයව, ඉතා සෘජුව මේ පිළිබඳව අදහස්‌ දක්‌වන වෙල්ගම මහතා මේ වන විට දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක්‌ බවට පත්ව හමාරය. එවැනි මොහොතක zදිවයින ඉරිදා සංග්‍රහයZට කුමාර වෙල්ගම මහතා පලÊකළ අදහස්‌ මෙබඳුය.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති ධුරය හොබවන ඔබ අද ශ්‍රීලනිප වාදියකු නොවී මහින්ද රාජපක්‍ෂ වාදියකු වෙලා නේද?

පිළිතුර - මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්‌. නමුත් මම මහින්ද වාදියෙක්‌ නොවෙයි. ශ්‍රීලනිපය ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාව. අපිත් ඉතින් ජනතාව එක්‌ක ඉන්න ඕනෑනේ. ජනතාව ඉල්ලන්නේ මහින්ද මහත්තයාව. අපිත් ඉතින් එතැනට ඇදිලා යනවා. ජනමතයත් එක්‌කයි අපි ඉන්නේ.

ප්‍රශ්නය - හොඳයි. ඔබට අනුව රටේ පවතින වත්මන් දේශපාලන ස්‌ථාවරය කෙබඳුද?

පිළිතුර - රටේ දේශපාලන ස්‌ථාවරභාවයක්‌ දැන් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති වගේම ශ්‍රීලනිපයේ සභාපති. නමුත් මේ ආණ්‌ඩුව රටේ ජනතාව දැන් පිළිගන්නේ නැහැ. මේ ආණ්‌ඩුව දින සියයක වැඩපිළිවෙළක්‌ ගැන කිව්වට එහෙම වැඩපිළිවෙළක්‌ ඇත්තටම නැහැ. තෙල්, ගෑස්‌ මිල අඩු කරපු බව ඇත්ත. නමුත් ජනතාව බලාපොරොත්තු වූ අනෙක්‌ ඒවා කෙරිලා නෑ. ඒ කියන්නේ දින සියයේ වැඩපිළිවෙළ අසාර්ථකයි.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණු මහින්ද රාජපක්‍ෂ මහතාව ඇයි ඔබ ඇතුළු පිරිසක්‌ තවදුරටත් කරේ තියාගෙන යන්නේ?

පිළිතුර - ඇයි ඔබ එහෙම කියන්නේ? දේශපාලනය දන්න කෙනෙක්‌ එහෙම කියන එකක්‌ නැහැ. ඩඩ්ලි සේනානායක මහතා කී වතාවක්‌ පැරදුනාද? නමුත් එතුමා නැවතත් අගමැති වුණා. බණ්‌ඩාරනායක මැතිනිය දින්නා. පැරදුනා. ආපසු ආයෙත් දින්නා. පැරදුනා. එතකොට බණ්‌ඩාරනායක මහත්තයාත් එහෙමයි. ඔහු එජාපයෙන් එළියට බැහැලා ශ්‍රීලනිපය හදාගෙන ඇවිත් එතුමා 1954 දී පැරදුනා. ඊට පස්‌සේ 1956 දී තමයි එතුමා නැවතත් ජයග්‍රහණය කළේa. එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කී සැරයක්‌ පැරදුනාද?. මහින්ද මහත්තයා පැරදුනා. හැබැයි මාස දෙකක්‌ යන්න කලින් ජනතාවට මහින්ද මහත්තයාව ඕනෑ වුණා. ඒකයි ඇත්ත.

ප්‍රශ්නය - ඒ කියන්නේ පක්‍ෂයට, රටට අලුත් නායකයෙක්‌ අවශ්‍ය වන්නේ නැද්ද?

පිළිතුර - මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයෙක්‌. ඒ ගැන කිසි ප්‍රශ්නයක්‌ නැහැ. එතුමා රටේ ජනාධිපති. හැබැයි පාර්ලිමේන්තුවට නායකයෙක්‌ අවශ්‍යයි. දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. ඒත් ඔහුට සුළුතරයක්‌ තිබෙන්නේ. මන්ත්‍රීවරු 47 යි. ඉතින් ආණ්‌ඩුවක්‌ ගෙනියන්න බැහැනේ. ඉතින් රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න සහ ජාත්‍යන්තර ප්‍රශ්නත් එක්‌ක ගළපලා ජනතාව කියනවා මහින්ද මහත්තයාගේ කාලය මීට වඩා හොඳයි කියලා.

ඒ කාලේ රටේ සංවර්ධනය හොඳින් සිද්ධ වුණා. රැකියා තිබුණා. ඒ කියන්නේ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නෑ. හැම කෙනාටම සිංහල, මුස්‌ලිම්, දෙමළ, බර්ගර් හැම කෙනාටම අවස්‌ථාව ලැබුණා. නමුත් අද ඒකෙ අනෙක්‌ පැත්ත වෙන්නේ. රටේ මිනිස්‌සුන්ට වැඩ නැහැ. අද ජනතාවට මේ ආණ්‌ඩුව එපා වෙලා තියෙන්නේ. ඒ නිසා වෙන කෙනෙක්‌ ගැන හිතන්න වෙලා තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණය ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඉන්නවා. තව ඕනෙ නම් ඡේ. වී. පී. එක, ටී. එන්. ඒ. එක වගේ අනෙක්‌ සියලුම පක්‍ෂ අරගෙන බැලුවොත් කැපී පෙනෙන ඉදිරියෙන්ම සිටින නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා.

ප්‍රශ්නය - ඔබ කිව්වා මහින්ද රාජපක්‍ෂ කාලයේ ජාතිවාදයක්‌ තිබ්බේ නැහැ කියලා. නමුත් මතයක්‌ තිබෙනවා හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වුණේ සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගන්න බැරිවුණු නිසා කියලා.

පිළිතුරු - ජාතිවාදයක්‌ ගැන නෙමෙයි මම කිව්වේ. මම කතා කළේ ජනතාවගේ ආර්ථිකය පැත්තෙන් බලලායි. ඔව්. මහින්ද මහත්තයාගේ කාලයේ සුළු ජාතීන්ට ප්‍රශ්නයක්‌ මතු වුණා. ඒ බොදු බල සේනා සංවිධානය හරහා ඇති වුණු ප්‍රශ්නය. ඒ නිසා තමයි මුස්‌ලිම් ජනතාව මහින්ද මහත්තයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ.

දෙමළ ජනතාවගෙන් අපට ඡන්ද හම්බ වුණා. ඒ අය වැඩිපුරම ඡන්දය දෙන්නේ ටී.එන්.ඒ. එකට. එහෙම බැලුවහම මුස්‌ලිම් ජනතාවගේ ඡන්ද පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවුණා.

ප්‍රශ්නය - කොහොම වුණත් ශ්‍රීලනිපය තුළ මහින්ද රාජපක්‍ෂ මහතාට අන් කවරෙකුටවත් වඩා අවස්‌ථාව හිsමිවුණා. ඔහු මන්ත්‍රීවරයෙක්‌, අගමැතිවරයෙක්‌, විපක්‍ෂ නායකවරයෙක්‌, අගමැති වගේම විධායක ජනාධිපති ධුරයත් දෙවරක්‌ම ලැබුණා. ඔබට හිතෙන්නැද්ද තව කෙනකුට ශ්‍රීලනිපයෙන් අවස්‌ථාව ලැබිය යුතුයි කියලා. උදාහරණයක්‌ ලෙස ඔබ වැනි අයට ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකත්වය ලබා ගන්න බැරිද?

පිළිතුර - මහින්ද මහත්තයා තරම් අපේ පක්‍ෂය තුළ ආකර්ෂණීය නායකත්වයක්‌ නැහැ. ඒ නිසයි එතුමාට අවස්‌ථාවක්‌ හිමිවුණේ. ඒ නිසා අපි තව අවස්‌ථාවක්‌ ලබාදිය යුතුයි. මොකද එතුමා දක්‍ෂ නායකයෙක්‌. කරන්න බෑ කියපු වැඩ කරලා පෙන්නලා තිබෙනවා. ඒ වගේම කවදාවත් එතුමා පක්‍ෂය දාල ගියේ නැහැ. පසුගිය කාලයේ පැවැති මැතිවරණ සියල්ලම ජයගන්න එතුමාට පුළුවන් වුණා. විශේෂයෙන් ම එතුමා ශ්‍රීලනිපයට ආදරෙයි.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ මෛත්‍රීපාල සිරිසේaන ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගන්නේ නැද්ද?

පිළිතුර - එතුමා අපේ පක්‍ෂයේ සභාපති ලෙස අපි පිළිගන්නවා. ඒත් රටේ ජනතාව මහ මැතිවරණය එනකන් බලාගෙන සිටිනවා. දැන් පවතින රජයේ ප්‍රතිපත්ති ගැන බලනවා. මේ රජය කියන ජාතික ආණ්‌ඩු සංකල්පයට මම විරුද්ධයි. මම ඒ ගැන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී කිව්වා.මම කෙලින්ම කිව්වා ජනාධිපතිතුමනි, මම ජාතික ආණ්‌ඩුවකට විරුද්ධයි කියලා. ඒ වගේ ප්‍රශ්න අපි අතර තිබෙනවා. ඒත් එතුමා රටේ ජනාධිපති හැටියටත්, අපේ පක්‍ෂයේ සභාපතිවරයා ලෙසත් අපි පිළිගන්නවා.

ප්‍රශ්නය - මෛත්‍රීපාල සහ මහින්ද අතර සමගිය ගොඩනගන්නට යම් සම්මුතියක්‌ ඇති කරන්නට ඔබලා මැදිහත් වුණා. ගෙවුණු සතියේදී පදනම් ආයතනයේදී පැවැති ශ්‍රීලනිප හමුවේදී කුමක්‌ද සිදුවුණේ?

පිළිතුර - මමත් ටී. බී. ඒකනායක මන්ත්‍රීතුමත් තමයි මුලින්ම මේකට මැදිහත් වුණේ. මොකද මම ටී. බී. වාගේම වත්මන් ජනාධිපතිතුමා, එවකට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රීලනිප තරුණ සංවිධානයේ එකට හිටියේ. මමයි ටීබීයි හිතුවා මේ දෙන්නාව සමගි කළ යුතුයි කියලා. ඒ නිසා වත්මන් ජනාධිපතිතුමා, හම්බෙන්න ඕන කියලා. අපි එදා ජනාධිපතිතුමාව හමුවුණාම කිව්වේ මහින්ද මහත්තයාව අගමැති අපේක්‍ෂකයා කියලා නම් කරන්න බැහැ කියලා.

ඉන් පසුව අපි දැක්‌කා මාධ්‍ය මගින් ශ්‍රීලනිපයෙන් තරග කරන්නත් දෙන්න බැහැ කියලා එතුමා කියලා තිබෙනවා. නැවතත් පසුගිය 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා අපිව කැඳෙව්වා. එතනදීත් ශ්‍රීලනිපයේ සමගිය ගැන කතා කළා.

ජනාධිපතිතුමාගේ කතාවෙන් පසුව මම කතා කළා. මම කිව්වේ පක්‍ෂය කැඩෙනවාට අපි කැමැති නැහැ. ඒ නිසයි අපි මේ ගැන ඔබතුමා සමඟ කතා කළේ. නමුත් ඒක අසාර්ථක වුණා. ඒ අසාර්ථක භාවය ගැන ජනාධිපතිතුමාත් පිළිගත්තා.

මම එතෙනදී ඇහුවා ජනාධිපතිතුමාගෙන් ඔබතුමා තරග කළ පක්‍ෂයේ නම මම දන්නෙත් නැහැ. මෙතන සිටින අය දන්නෙත් නැහැ. දැන් ඔබතුමාත් දන්නෙ නැතුව ඇති කියලා. ඒත් අපි දන්නවා හංසයාගෙන් තරග කළා කියලා. එතනදී අතත් නෑ. නිලත් නෑ. ශ්‍රීලනිපයත් නෑ. එහිදී ජනතාව බැලුවෙත් පක්‍ෂය ගැන නෙමෙයි.

ජනතාව දැන් කියන්නෙත් අපි මහින්ද මහත්තයාට සහ එතුමාගේ කණ්‌ඩායමට ඡන්දෙ දෙන්නේ කියලා. මේක තමයි ඇත්ත. මේ නිසා මහින්ද මහත්තයා වෙනම තරග කළත් ඔහු අති බහුතර ආසන ප්‍රමාණයක්‌ ගනී. ඒක නවත්වන්න බැහැ. හැබැයි ශ්‍රීලනිපය මෙතනදී පහළට වැටෙනවා. එතකොට ඒකෙ නරක නාමය එන්නේ ජනාධිපතිතුමාට.

ප්‍රශ්නය - ඔතනදී කමිටුවකුත් පත්වෙනවා. මේ කමිටුවේ සංයුතිය ගත්තොත් බහුතරය මහින්ද පාර්ශ්වයේ නියෝජිතයන්

පිළිතුර - ඔතන මහින්ද මහත්තයාගේ පිලට ඉන්නේ මමයි, ටී.බී. යි විතරයි. අනෙක්‌ අය මධ්‍යස්‌ථ අය. ඒ අය කෙළින්ම මහින්ද මහත්තයා එක්‌ක නෑ. ඩිලාන් පෙරේරාත් ඇමැතිකමක්‌ ගත්තනේ. ඉතින් අපි ඒ කමිටුව එදා රෑම සාකච්ඡා කළා. රෑ 12. 30 වෙනකන් ජෝන් සෙනෙවිරත්න මහත්තයාගේ නිවසේදී. එතනදී අපි ඒකමතිකව තීන්දු කළේ, අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියන්න ඕන මේ සාකච්ඡාව සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාව අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කළොත් පමණයි.

ඒකට ජනාධිපතිතුමාගේ එකඟත්වය ඕනෑ. එහෙම නම් කළොත් එතනින් එහාට එන ගැටලු කතා කරන්න අපිට ලේසියි. නමුත් පළමුවෙන් ම මෛත්‍රීපාල මහතා එකඟත්වය දෙන්න ඕන මහින්ද රාජපක්‍ෂව සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරනවා කියලා. ඒක තමයි අපේ තීන්දුව. අපි ඒක මෛත්‍රී ජනාධිපතිතුමාටත් දන්වනවා.

ප්‍රශ්නය - ඔබ හිටපු රජයේ ප්‍රවාහන ඇමැතිවරයා. ඒ වගේම මේ කාලය තුළ මහින්ද රාජපක්‍ෂ නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටිනවා. බයක්‌ හිතෙන් නැද්ද පොලිස්‌ අපරාධ මූල්‍ය ඒකකයට කැඳවයි කියලා

පිළිතුර - මාව අල්ලස්‌ කොමිසමට කැඳෙව්වා. ප්‍රකාශයකුත් ගත්තා. ඉතින් එහෙම කියලා බෑනේ. අපි ඡේ.වී.පී. කාලේ අන්ත භීෂණය යටතේ තරග කළා. එල්.ටී.ටී.ඊ. ය කාලෙත් අපි තරග කළා. ඉතින් අපිs බයවෙලා වැඩ කරන්නේ නෑ. අපිව රිමාන්ඩ් කළොත් ජනතාව තීන්දු කරයි අපි මේ කරන කටයුතුවලට විරුද්ධවයි රිමාන්ඩ් කරන්නේ කියලා. මම කවදත් කෙළින් කතා කරපු කෙනෙක්‌.

ප්‍රශ්නය - යම් හෙයකින් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය නොලැබුණොත් ඔහු සහ ඔබ ඇතුළු පිරිවර ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර - වෙනම තරග කරනවා. ඒ සඳහා දැන් අඩිතාලම දමාගෙන යනවා. අපිට දෙන්නේ නැතිනම් අපිට බලාගෙන ඉන්නත් බැහැනේ. දැන් ආණ්‌ඩුව විසුරුවා හැරියොත් ශ්‍රීලනිපයේ සිටින 95% ක්‌ විතර දෙනා මහින්ද මහත්තයා එක්‌ක එනවා. එන්නේ නැති කිසි කෙනකුට දිනන්න බැහැ. ඒක පැහැදිලියි.

එතකොට අපිටත් තීරණ ගන්න වෙනවා. රටේ ජනතාව ඉල්ලන දේ එක්‌කනේ අපිත් ඉන්නේ. හැබැයි අපි ශ්‍රීලනිපයේ ඉන්නේ. දැන් මෛත්‍රීපාල මහත්තයා ශ්‍රීලනිපය එක්‌ක ඉඳලානේ වෙන පක්‍ෂයකින් තරග කළේ. ඒත් නැවත පක්‍ෂයට ගත්තා. කොන්දේසි විරහිතව. ඉතින් ඒක හොඳ පූර්වාදර්ශයක්‌.

ප්‍රශ්නය - ආණ්‌ඩුව කරන ප්‍රධානම වෝදනාවක්‌ තමයි සුළු පක්‍ෂ කිsහිපයක නායකයන්ට නැවත පාර්ලිමේන්තු එන්න ඕනෑ නිසා මහින්ද රාජපක්‍ෂව කරේ තියාගෙන යනවා කියලා.

පිළිතුර - නෑ ඒ අය මහින්ද මහත්තයා ගෙදර ගිය වෙලාවේ. ජනතාව තංගල්ලට ගියා එතුමාව බලන්න. එතකොට ඒ පක්‍ෂ නායකයෝ හතරදෙනා තමයි මුලින්ම නුගේගොඩ රැස්‌වීමක්‌ කළේ. ඒක අති සාර්ථකයි. ඒකට හයියක්‌ විදිහට තමයි අපි තුන් හතර දෙනෙක්‌ ඒ වේදිකාවට නැග්ගේ. ඒක ඒ අයට තවත් හයියක්‌ වුණා. ඒ පටන් ගත්තු රැස්‌වීම් අපි දැන් රට පුරා පවත්වනවා. අන්තිමට මාතර රැස්‌වීමත් කළා. අති විශාල ජනතාවක්‌ මේ රැස්‌වීම්වලට ආවා. මාතර රැස්‌වීමේදී මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඒ කොටු බැම්මට ඇවිත් ජනතාවට අත වැනුවා. ඒ අත වැනුවේ මොකටද සංඥාවක්‌ දුන්නේ. මහින්ද මීළඟ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන සංඥාවයි.

ප්‍රශ්නය - පරිණත දේශපාලනඥයකු විදිහට ඔබ හිතන්නේ මීළඟ පාර්ලිමේන්තුවේ පාට කුමක්‌ වේවි කියලද?

පිළිතුර - පක්‍ෂ පාට අපට වැඩක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වයෙන් තමයි මීළඟ පාර්ලිමේන්තුව පිහිටුවන්නේ. හැබැයි ඒක රාජපක්‍ෂ රෙජීමයක්‌ නොවෙයි. මහින්ද එනවා. එන්නේ කලින් වැරදි නැතුවයි.

සාකච්ඡා කළේඅකිත පෙරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.