පොරොන්දු කැඩීමේ වගකීම එජාපයත්,
ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්‌ඩායමත් බාරගන්න ඕන

- ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

එකක්‌ කියා තව දෙයක්‌ කරන මේ ආණ්‌ඩුව දැන් ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳී ගොස්‌ ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා zදිවයින ඉරිදා සංග්‍රහයZ සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් පැවැසීය. ණඑහිදී ඇසූ ප්‍රශ්නවලට හේරත් මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍ර - නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය දැන් ගැසට්‌ කරල තිබෙනවා. මේ ගැන ජනතා විමුක්‌ති පෙරමුණේ අදහස කුමක්‌ද?

පි - විස්‌ස කියල අවසන් කෙටුම්පතක්‌ ඇත්තටම තවම නැහැ. කැබිනට්‌ මණ්‌ඩලයත් තවම මේ පිළිබඳව සාමූහික එකඟතාවකට පැමිණ නැහැ. කලින් ද විස්‌ස කියල එකක්‌ ගෙනාවා. ඒක දවස්‌ දෙක තුනකින් ආයෙ වෙනස්‌ වුණා. ඊට පස්‌සෙ ඒකත් වෙනස්‌ වෙලා අලුත් විස්‌සක්‌ ආවා. ඒ නිසා මේක අන්තිම විස්‌සද කියන එක මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු කියන්න බැහැ.

ප්‍ර - දැන් මේ ගැසට්‌ කොට ඇති පනත් කෙටුම්පතේ තියෙන්නේ මුළු මන්ත්‍රීවරු ගණන 237 යි කියලනේ?

පි - එහෙම කිව්වට ඔය ගැසට්‌ එක තවම පාර්ලිමේන්තුවටවත් අපටවත් ඇවිත් නැහැ. මෙතෙක්‌ කල් මෙය විටින් විට වෙනස්‌ වුණා. ඒක නිසා මේකත් ඉදිරියේදී වෙනස්‌ නොවේ යයි කියන්න බැහැ. ඒ නිසා මේක අතට අරගෙන බලල තමා අදහසක්‌ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ.

ප්‍ර - සුළු පක්‍ෂ මුල සිටම 20 වැනි සංශෝධනයට විරුද්ධ වුණා ඔවුන්ට මේකෙන් අසාධාරණයක්‌ වෙනවා කියලා. ජනතා විමුක්‌ති පෙරමුණටත් මෙයින් අසාධාරණයක්‌ වෙනවාද?

පි - ජනතා විමුක්‌ති පෙරමුණ මේ පවතින මනාප ක්‍රමය වෙනස්‌ කිරීමට එකඟයි. ඒ වගේම කොට්‌ඨාස හා සමානුපාතික මිශ්‍ර ඡන්ද ක්‍රමයකටත් අපි සම්පූර්ණයෙන් ම එකඟයි. මනාප ක්‍රමය අප දැනටමත් ප්‍රායෝගිකව අනුගමනය කරන්නේ නෑ. මේක වෙනස්‌ කිරීමේදී විවිධ ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වෙන්න ඕනෑ. ඒ වගේම විවිධ මතවාදයන් දරන දේශපාලන පක්‍ෂවල අයිතියත් රැකෙන්න ඕන. ඒ අර්ථයෙන් තමයි අපි ලිතවම යෝජනා කළේ මේ සඳහා ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයක්‌ ආදේශ කරන්න කියලා. ඒ කියන්නේ පක්‍ෂයට ඡන්දයක්‌ සහ පුද්ගලයාට ඡන්දයක්‌ දෙන විධියට ඡන්ද පත්‍රිකා 2 ක්‌ හදන්න කියලා. ඒ වගේ එකක්‌ ළඟ එන මහ මැතිවරණයට ආදේශ කරන්න බැහැ. මොකද මේ සීමා නිර්ණය කිරීම සඳහා සාධාරණ කාලයක්‌ අවශ්‍යයි. ඒ නිසා මේ ක්‍රමය මේ මැතිවරණයට නොව ඊළඟ මැතිවරණයට යොදා ගත යුතුයි කියන යෝජනාවත් අපි බාර දුන්නා. ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය ගේනවා නම් අපි මේ සංශෝධනවලට එකඟයි.

ප්‍ර - එහෙම වුණාම මේ නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තව අවුරුදු 5 ක්‌ බලාගෙන ඉන්න වෙනවානේ

පි - ඇත්තටම අලුත් මැතිවරණ ක්‍රමය ගැන අපි තාම දන්නෙ නැහැ. සමානුපාතික ක්‍රමය සම්මත වෙලා අවුරුදු ගණනාවක්‌ ගිහින් තමයි ක්‍රියාත්මක වුණේ. 9, 10 වසරවල සමාජ අධ්‍යයන පොතේ පවා සමානුපාතික ඡන්ද ක්‍රමය විස්‌තර කරලා තිබුණා. එහෙම තමයි ඒ ගැන ජනතාව දැනුවත් කළේ.

ඒත් මේ කියන ක්‍රමය ගැන අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැහැ. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනෙ. ඒකට සාධාරණ කාලයක්‌ අවශ්‍යයි. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න බැහැ.

ප්‍ර - එජාපය කියනවා මන්ත්‍රීවරුන් ගණන 225 ට වැඩිය යන්න බැහැ කියලා. මන්ත්‍රී කොට්‌ඨාස ගණන 125 කරන්නලු. ඒක ප්‍රායෝගිකද?

පි - ආසන ගණන අඩු කරන එක කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. මැතිවරණ කොමසාරිස්‌වරයාත්a කිව්වා ඒක කරන්න අමාරු එකක්‌ කියලා. ඒක එහෙම කරන්න ගියොත් බරපතළ සමාජ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අපි දකින්නේ මන්ත්‍රී කොට්‌ඨාස 125 ට අඩු කරන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි.

ප්‍ර - එජාපය මේ 225 කතාව ගේන්නේ 20 වැනි සංශෝධනය සම්මත නොවන තැනට ගේන්න නේද?

පි - එජාපය සහ ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්‌ඩායම බල පොරයක තමයි ඉන්නේ. එක කට්‌ටියක්‌ බලනවා ආණ්‌ඩු බලේ ගන්න. අනිත් කට්‌ටිය බලනවා තියෙන එක ඇතුළෙම බලය තහවුරු කරගන්න. මේ බලපොරය ඇතුලෙ 20 කියන එක µqට්‌ බෝලයක්‌ වගේ එහාට මෙහාට විසිවෙනවා.

ප්‍ර - පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ඉල්ලා සිටියත් 20 සම්මත කරන තුරු විසුරුවන්නෙ නැති බව ජනාධිපතිතුමා කියල තිබෙනවා. ඒ නිසා විසුරුවා හැරීමත් මේ නිසා කල් යනවා නේද?

පි - ශ්‍රීලනිපය ඇතුලෙ ඇති වෙලා තියෙන ප්‍රශ්නය නිසා තමයි මේක මෙච්චර දුරට දිග්ගැස්‌සිලා තියෙන්නේ. මොකද 19 ටත් කොන්දේසියක්‌ දැම්මා. නිමල් සිරිපාල මහත්තයලා ඒකත් සමඟ 20 ත් ගේන්න ඕන කියලා. ඒ කොන්දේසිය දැම්මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දමා ගැනීමටයි. ඔවුන්ට ඕන වෙලා තියෙනවා අභ්‍යන්තර ප්‍රශ්නය විස¹ගන්නා තුරු කල් ගන්න. දැන් 20 තුරුම්පුවක්‌ කරගෙන ඔවුන් තමන්ගෙ පක්‍ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විස¹ ගන්න හදන උත්සාහයක්‌ ලෙසයි අපි මෙය දකින්නේ. අපි අවධාරණය කරල කියන්නේ පක්‍ෂය ඇතුළෙ ප්‍රශ්න වෙනම විසඳගන්න. පක්‍ෂය ඇතුළේ ප්‍රශ්න රටේ ජනතාවගේ ප්‍රශ්න කරගන්න එපා. ඒ නිසා 20 සම්මත කරනවා නම් එය ඉක්‌මනින් කරන්න. එහෙම නැත්නම් දැන් හුඟක්‌ කල් ඉකුත් වී ඇති මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලයි.

ප්‍ර - දැන් දේශපාලනයේ අවුල් සහගත තත්ත්වයක්‌ නේද තියෙන්නේ? රට අරාජික වී ඇති බවක්‌ පේනවා නේද?

පි - ඇත්තටම අරාජිකයි. පසුගිය පාර්ලිමේන්තු

රැස්‌වීම එකම ශෝක කලාපයක්‌ වුණා. ශෝක යෝජනා විතරයි සාකච්ඡා වුණේ. වැදගත් පනතක්‌, නීතියක්‌ සම්මත වුණේ නැහැ. අය වැය ඉදිරිපත් කරද්දී කැසිනෝවලට විශාල බද්දක්‌ පැනෙව්වා. මන්දිර බද්දක්‌ පැනෙව්වා. එහෙත් ඒවාට අදාළ නීති කිසිවක්‌ සම්මත කර ගත්තේ නැහැ. සම්මත කරන්න ගේන්නෙත් නැහැ. ඉතින් ඒකෙන්ම පැහැදිලියි. රට ඉස්‌සරහට යන්නේ නැහැ. අද ආණ්‌ඩුවම දෙගිඩියාවට පත්වෙලා. අල්ලස්‌ කොමිසම ක්‍රියාත්මක වන්නේ නැහැ. උසාවියත් දැන් මෑත කාලෙ ගත්තම යම් යම් බලපෑම්වලට භාජන වෙලා. ඉතින් මේ තත්ත්වය තුළ අපි දකින්නේ රට ඉදිරියට යන්න බැහැ. රට අරාජිකත්වයට ඇද වැටෙනවා. ඒ නිසා මේක තවත් දිග්ගැස්‌සීමෙන් රට ප්‍රපාතයට වැටෙන්න පුළුවන්. ඒක වෙනස්‌ කළ යුතුයි.

ප්‍ර - ප්‍රබල ඇමැති තනතුරු රාශියක්‌ තිබෙන එජාපය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන ලෙස ඉල්ලා සිටීමෙන් පේන්නේ රට පාලනයට තිබෙන ඔවුන්ගේ නොහැකියාව නේද?

පි - එජාපය මේකට වගකියන්න ඕන. මොකද මේක මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවක්‌. ඒ නිසා අද ඇති වී තිබෙන මේ තත්ත්වයට මෛත්‍රී කණ්‌ඩායමත්, එජාපයත් වගකියන්න ඕන. මොකද ඔවුන් තමයි පොරොන්දු වුණේ ආණ්‌ඩුව විසුරුවා හැරල මහ මැතිවරණයකට යනවා කියලා. දැන් පොරොන්දු කඩල තියෙන්නේ.

ආණ්‌ඩුව ඒ පොරොන්දු ඉටු කරන්න ඕන. පොරොන්දු කඩනව නම් එහි වගකීම එජාපයත්, ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්‌ඩායමත් බාරගත යුතුයි.

ප්‍ර - ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපයෙන් පේන්නෙ ආණ්‌ඩුව දැන්ම විසුරුවන්නේ නැති පාටයි. ගිය සතියෙත් ඇමැති පත්වීම් ගණනාවක්‌ දීලා තිබුණා. විසුරුවා හරිනවා නම් ඇමැතිකම් දෙන්නේ නැහැනේ?

පි - ඇත්තෙන්ම මේ වෙන දේවල් කිසිසේත්ම ජනතාව බලාපොරොත්තු වුණේ නැහැ. ආණ්‌ඩුව කිව්වේ විද්‍යාත්මක පදනමක්‌ මත ඇමැති මණ්‌ඩලය පත් කරනවා කියලයි. හැබැයි විටින් විට කෑලි කෑලි පත් කළා. ඊටත් වඩා ලොකුම විහිළුව රයිගමයයි ගම්පලයයි ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස පත් කරපු එක. පසුගිය කාලෙ කුඩු කන්ටේනර් පිළිබඳ චෝදනා තිබිච්ච අය අද තමන්ගේ උපදේශකයන්. මේ තත්ත්වය කිසිසේත්ම ජනතාව අනුමත කරන්නේ නැහැ. මේකෙන් පේන්නේ බලය තහවුරු කර ගන්න උපක්‍රමයක ඉන්නවා මිසක්‌ රට වෙනුවෙන් වැඩක්‌ කරන්නේ නැහැ කියන එකයි. කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.

ප්‍ර - ව්‍යවස්‌ථාදායක සභාව ඇනහිටල තියෙනවා. කවුරුත් දැන් ඒ ගැන කතා කරන්නෙත් නැහැ. මොකක්‌ද ඒකෙ තත්ත්වය?

පි - ඇත්තටම ආණ්‌ඩුවට සැබෑ වුවමනාවක්‌ තිබුණා නම් ඒක පිහිටුවන්න තිබුණා. අපිත් බලාගෙන හිටියා. මේක පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් අතර සාකච්ඡා වුණා. එකඟතාවකටත් ආවා. ව්‍යවස්‌ථාදායක සභාවට මේ වතාවට පමණක්‌ ඇමැතිවරු පත් කළා. මින් ඉදිරියට පත් කරන්නේ නැහැ කියලා පසුවදා එහි සිවිල් සාමාජිකයන් වන විද්වතුන් තුන්දෙනාගේ නම් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට දාවි කියල අපි හිතුවා. නමුත් දැම්මේ නැහැ. ඒක න්‍යාය පත්‍රයේ තිබුණා. නමුත් ආණ්‌ඩුව ඒක ඉදිරිපත් කළේ නැහැ.

ප්‍ර - ඇයි ඒ?

පි - අපට පේන්නෙ ඒක පත් කරගන්න වුවමනාවක්‌ නැහැ කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ ව්‍යවස්‌ථාදායක සභාව ඉක්‌මනින් පත් කරලා අනික්‌ කොමිෂන් සභා ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට අවංක වුවමනාවක්‌ නැති බව තමයි දැන් මේ පේන්නේ. 19 සම්මත කළාට ඉස්‌සරහට යන්න ඕන කමක්‌ තිබුණා නම් ඒක කළ හැකිව තිබුණා. ඒකෙන් අල්ලස්‌ කොමිසම පවා අකර්මණ්‍ය වෙලා. මේකෙන් ඉෂ්ට වෙන්නේ මහින්ද කණ්‌ඩායමේ වුවමනාව. මහින්ද කණ්‌ඩායමේ හොරුන්ට දැන් මේකෙන් රැකවරණය ලැබෙනවා. අල්ලස්‌ කොමිසම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ පිළිබඳව තියෙන පැමිණිලිවලට නඩු දාන්නේ නැහැ. ඒකෙ වාසිය තියෙන්නේ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරපු හොරු රැලකට.

ප්‍ර - කලින් ආණ්‌ඩු කරපු දේවල්ම නේ මේ ආණ්‌ඩුවත් කරගෙන යන්නේ.

පි - පැහැදිලිවම අපි පරාජය කළේ මහින්ද රාජපක්‍ෂ විතරක්‌ නෙවේ. මහින්ද රාජපක්‍ෂ විසින් හඳුන්වා දීපු දේශපාලන සංස්‌කෘතියයි අපි පරාජය කළේ. නමුත් ඒ සංස්‌කෘතියම දැන් ආපසු හිස ඔසවනවා. එදා ඇමැති මණ්‌ඩලේ ඇමැතිවරු 110 යි. දැන් මේ මාස 5 ට ඇමැතිවරු 82 යි. ඒකෙන්ම පේනවා ඒ ගොල්ලො කරපු දේවල් තමයි මේ ගොල්ලොත් කරන්නේ කියන එක. ඒ නිසා මේ දෙගොල්ලන්ම එක බව ජනතාව දැන් තේරුම් අරන් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවත් මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවත් එකම පීල්ලේ යන බව ජනතාව දැන් තේරුම් අරන් තිබෙන්නේ. ඒ නිසා මේ දෙගොල්ලොම ප්‍රතික්‍ෂේප කරන තැනට ජනතාව පත්වෙලා සිටින්නේ.

ප්‍ර - ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහත්මයාගේ අලුත් පක්‍ෂය ජුනි 27 දා එළිදක්‌වනවාලු. මොකද ඒ ගැන කියන්නේ.

පි - ඒ ගැන කතා කරල තේරුමක්‌ නැහැ. ඒ නිසා වැදගැම්මකට නැති දෙයක්‌ ගැන මම කතා කරන්නේ නැහැ.

ප්‍ර - ඒ පක්‍ෂයෙන් ජනතා විමුක්‌ති පෙරමුණට බලපෑමක්‌ ඇති වෙන්නේ නැද්ද?

පි - ඒක ජනතා විමුක්‌ති පෙරමුණේ ඉදිරි ගමනට කිසිදු බාධාවක්‌, අදාළත්වයක්‌ නැහැ.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.