ඉදිරි මහ ඡන්දයෙන් එජාපයට මන්ත්‍රීවරු 125 ක්‌ හිමි වෙනවා
- නැවත පදිංචිකිරීම්, ප්‍රතිසංසකරණ හා හින්දු ආගමික කටයුතු අමැති- ඩී. එම්. ස්‌වාමිනාදන්

යුද ජයග්‍රහණයෙන් පසු උතුරේ සහ දකුණේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, නැවත පදිංචිකිරීම්, ප්‍රතිසංසකරණ හා හින්දු ආගමික කටයුතු අමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සමඟ zදිවයින ඉරිදා සංග්‍රහයZ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය (- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තවමත් දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක්‌ ඇති කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර (- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයෙහි ප්‍රධානතම අංගය වන මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම පිළිබඳව මේ වන විට පුළුල් කථිකාවක්‌ ගොඩනැඟී තිබෙනවා. ඇතැම් පක්‍ෂ ඊට කැමැත්ත පළ කර තිබෙනවා. තවත් සමහර පක්‍ෂ විරෝධය පළකර තිබෙනවා. අපි සියලුදෙනා සාකච්ඡා කර එක මතයකට පැමිණිය යුතුයි.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් මුලින්ම කතා කළේ එක්‌සත් ජාතික පක්‍ෂයයි. මේ ගැන සොයා බලා වාර්තාවක්‌ සකස්‌ කිරීමට පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක්‌ පත් කළා. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ යුතු බවට යෝජනා කළෙත් අපේ පක්‍ෂයයි. දැන් අවුරුදු 13 කට වැඩි කාලයක්‌ මේ ගැන කතා කළා. නමුත් හැමෝටම එකඟ විය හැකි රාමුවක්‌ සකස්‌ කර ගැනීමට තවමත් නොහැකි වී තිබෙනවා.

ප්‍රශ්නය - දැනට ගැසට්‌ කර තිබෙන 20 වැනි සංශෝධනයට එක්‌සත් ජාතික පක්‍ෂය විරුද්ධද? නැද්ද කියා ඔබට සෘජු උත්තරයක්‌ ලබා දෙන්න පුළුවන්.

පිළිතුර (- දැනට ගැසට්‌ කර තිබෙන 20 වැනි සශෝධනයේ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු මන්ත්‍රී සංඛ්‍යාව ගැන අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීමයි.

නව සංශෝධනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 237 විය යුතු බවට යෝජනා කර තිබෙනවා. නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය මුල සිටම සිටියේ මන්ත්‍රී සංඛ්‍යාව 225 වඩා වැඩි නොවිය යුතු බවට වන ස්‌ථාවරයෙයි. එහෙත් දැනට ගැසට්‌ කර තිබෙනවා. සංශෝධනයට අනෙකුත් පක්‍ෂවල එකඟත්වය තිබෙනවා නම් ඊට අපේ විරුද්ධත්වයක්‌ නැහැ.

ප්‍රශ්නය (- විරුද්ධත්වයක්‌ නැතැයි කියන්නේ අනෙක්‌ පක්‍ෂ 20 ම කැමැති වුණොත් එ.ජා.ප.ය 20 සම්මත කර ගන්න පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කරනවා කියන එකද?

පිළිතුර (- ඔව්. සියලුම පක්‍ෂවල කැමැත්ත මත රටට හොඳ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එනවා නම් ඒ හොඳ කටයුත්ත සාර්ථක කර ගැනීමට අපි සහාය දෙනවා. ඒ ගැන අපිට ප්‍රශ්නයක්‌ නැහැ.

ප්‍රශ්නය (- පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 ම විය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂය ඉල්ලා සිටින්නේ ඇයි?

පිළිතුර (- ශ්‍රී ලංකාව කුඩා ජනගහනයක්‌ සිටින පුංචි රටක්‌. අපි හැම විටම රට වෙනුවෙන් යම් ප්‍රතිපත්තියක්‌ සම්පාදනය කිරීමේදී එය ඉතා විමසිල්ලෙන් හා රටට හා ජනතාවට යහපතක්‌ වන ආකාරයට සිදුකළ යුතුයි.

ඉන්දියාවේ ජනගහනය කෝටි 121 වෙනවා. නමුත් ඒ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 543 යි. කුඩා ජනගහනයක්‌ සිටින අපේ රටේ මන්ත්‍රී සංඛ්‍යාව 225. පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 5000යි. පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 450 ඉක්‌මවනවා. මෙය රටට අනවශ්‍ය බරක්‌. ඒ නිසයි අපි මන්ත්‍රී සංඛ්‍යාව අඩුම වශයෙන් 225 හෝ තබා ගන්න උත්සාහ ගන්නේ. ඒ හැරෙන්නට වෙනත් ප්‍රශ්නයක්‌ නැහැ.

ප්‍රශ්නය (- එ.ජා.ප. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඉඩ නොදී කකුලෙන් අදින බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇතැම් අය චෝදනා කරනවා.

පිළිතුර (- විවිධ අයට විවිධ චෝදනා කළ හැකියි. නමුත් රටේ ජනතාව දන්නවා එක්‌සත් ජාතික පක්‍ෂය හැමදාම තීරණ ගන්නේ රට වෙනුවෙන් කියනඑක. කවුද කඩාකප්පල්කාරයන්. බොරු කාරයන් කියනඑක ජනතාව තේරුම් ගනීවී. එය අපි ජනතාවට බාර කරමු.

ප්‍රශ්නය (- එක්‌සත් ජාතික පක්‍ෂය හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියනවා. ඇයි මේ හදිස්‌සිය.

පිළිතුර (- ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට ක්‍රියා කළා. ඒ ගමනේ ප්‍රධානතම බලවේගය ලෙස කටයුතු කළේ එක්‌සත් ජාතික පක්‍ෂයයි. එදා අපි ජනතාවට පොරොන්දු වුණේ බලයට පත් වී දින සියයක්‌ ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරින බවටයි. දැන් ඒ කාලය ඉක්‌මවලා ගොස්‌ තිබෙනවා. තවත් එහෙම යන්න බෑ. ඒකයි එජාපය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටින්නේ.

ප්‍රශ්නය (- ජනාධිපතිතුමා ගැන එක්‌සත් ජාතික පක්‍ෂයට විශ්වාසයක්‌ නැද්ද?

පිළිතුර (- ජනාධිපතිතුමා සම්බන්ධව පූර්ණ විශ්වාසයක්‌ ඇතිව එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු කරමින් සිටිනවා. මොකද ඔහු අපේ ජනාධිපති. එදා ඔහුට විරුද්ධව කටයුතු කළ අය අද ළංවෙන්න උත්සාහ කරනවා. ඒ මොනව වුණත් ජනාධිපති ගැන අපිට විශ්වාසයි.

ප්‍රශ්නය (- එහෙම නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන එකඟතාවකට එන්න බැරි ඇයි?

පිළිතුර - මෙහි ප්‍රධාන ප්‍රශ්නය 20 වැනි සංශෝධනයයි. ඒ ගැන අද අපි එකඟතාවකට පැමිණ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තොත් හෙට විසුරුවා හරීවී.

ප්‍රශ්නය (- සම්මත කර ගන්න බැරි වුණොත්

පිළිතුර (- මොනව වුණත් ජූලි දෙවැනි සතිය අවසන් වන විට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අපිට විශ්වාසයි.

ප්‍රශ්නය (- එහෙම වුණොත් මැතිවරණය ජයග්‍රහණය කරන්න එ.ජා.ප.යට හැකි යෑයි විශ්වාස කරනවාද?

පිළිතුර (- අපිට පූර්ණ විශ්වාසයක්‌ තියෙනවා. ඉදිරි මැතිවරණය එජාපයට ජයග්‍රහණය කළ හැකි බවට

ප්‍රශ්නය (- කොහොමද එහෙම කියන්නේ

පිළිතුර (- පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා ලබාදුන් ඡන්ද වලින් අති බහුතරය එජාපයේ ඡන්ද. අද වන විට අපේ ඒ ඡන්ද පදනම වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය දෙකට බෙදිලා. අනෙක අලුත් ඡන්ද වැඩිවෙලා. මේ අනුව අපි මෙවර මන්ත්‍රී ආසන 125 කට වැඩි ප්‍රමාණයක්‌ ලබා ගන්නවා.

ප්‍රශ්නය (- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණ සටනට එන බව ප්‍රකාශ කොට තිබෙනවා. ඔහුගේ මේ ආගමනය එජාපයට අභියෝගයක්‌ නොවෙයිද?

පිළිතුර (- හිටපු ජනාධිපතිතුමාගේ පැමිණීම අපිට ප්‍රශ්නයක්‌ නැහැ. ඔහු ආවත් නාවත් ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌වුණත් නැතත් එය අපේ පක්‍ෂයේ ඡන්ද පදනමට ප්‍රශ්නයක්‌ වන්නේ නැහැ.

ප්‍රශ්නය (- ඔබ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයායි. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන බවට බරපතළ වෝදනාවක්‌ කරනවා. ඇත්තටම උතුරේ මොකද්ද අද වෙන්නේ.

පිළිතුර (- උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනවා. නැවත ත්‍රස්‌තවාදය හිස ඔසවනවා. වැනි ප්‍රකාශ කරමින් මේ රටේ අහිංසක අසරණ ජනතාව මුලා කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරනවා. නමුත් එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ.

අද ඇතැම් දේශපාලනඥයන්ට වුවමනා වී තිබෙන්නේ රට තුළ නැවත වරක්‌ ජාතිවාදය වපුරලා තමන්ගේ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමයි. මේ විනාශය යළිත් වරක්‌ කරන්න එපා කියා මා ඒ අයගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.

අපි දශක තුනකට අධික කාලයක්‌ යුද්ධයෙන් බැට කෑවා. වගකිවයුතු හැමෝගේම අරමුණ හා වගකීම වියයුත්තේ වගකීමෙන් ක්‍රියාකොට රටතුළ සාමය ආරක්‍ෂා කරමින් සියලු ජනකොටස්‌වලට සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක්‌ නිර්මාණය කර දීමයි. ඉතින් ඒ කටයුත්ත අද රජයක්‌ ලෙස අපි ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය (- උතුරේ යුද්ධයෙන් මියගිය අයගේ පවුල්වලට වන්දි ගෙවියයුතු බවට යෝජනා කරමින් ඔබේ පෞද්ගලික අවශ්‍යතාවය මත කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළ බවට චෝදනාවක්‌ තිබෙනවා. ඇත්තටම එවැනි කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඔබ ඉවත් කළාද?

පිළිතුර - කිසිවිටක මගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා මා දේශපාලනය ගාවා ගන්නේ නැහැ. මගේ අරමුණ වී තිබෙන්නේ ජනතාවට උපරිම සේවය කිරීමටයි. මෙහිදී කැබිනට්‌ පත්‍රිකාව සකස්‌ කළ බව සත්‍යයක්‌. එය මා කළේ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවේ නිර්දේශ පදනම් කරගෙනයි. මෙය කිසිසේත් මගේ පෞද්ගලික සංදේශයක්‌ නොවෙයි.

යුද්ධය පැවැති සමයේ අත්අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කොට ඔවුන්ට අවශ්‍ය කරන යහපත් සමාජ, ආර්ථික පරිසරයක්‌ නිර්මාණය කර දීම සාමාජීය වගකීමක්‌ වෙනවා. සේම තවදුරටත් ඔවුන් වෙන්කොට තැබීම, දුරස්‌ කොට තැබීම හා වෙන්කොට සැලැකීම ජාතික සංහිඳියාවට බරපතළ ගැටලුවක්‌ වන බැවින් ඔවුන් සමාජගත වූවායින් පසු සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය ඔවුන්ට ද හිමිකර දෙමින් අනෙකුත් වරදාන ඔවුන්ට ද ලබාදීමේ අරමුණින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සැලැකිල්ලට ගෙන මෙම කැබිනට්‌ සංදේශය මා සකස්‌ කර කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළා. නමුත් යුද්ධය හේතුවෙන් ජිවිත හානි, තුවාල හා දෙපළ අහිමිවූවන්ට වන්දි ලබාදීම පුනරුත්ථාපන අධිකාරිය කරනු ලබන කාර්යයක්‌ වෙනවා. මෙම කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කළ ද රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ එයට එකඟ නොවුන නිසා ඒ පත්‍රිකාව දැනට කල් තැබීමට සිදුවුණා. ඒ හැරුණු කොට එහි කිසිදු ගැටලු සහගත තත්ත්වයක්‌ හෝ මගේ පෞද්ගලික අරමුණක්‌ නැති බව පැහැදිලිවම රටට කියන්න කැමැතියි.

සාකච්ඡා කළේ - පියසේන දිසානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.