ගාමිණී වේරගමගෙන්
සිංහල සිනමා සාහිත්‍යයට
අගනා සම්ප්‍රදානයක්‌!


ප්‍රකට සිනමා විචාරකයකු මෙන්ම සිනමාව පිළිබඳ ප්‍රමාණික විද්වතකු වන ගාමිණී වේරගම විසින් එලිදක්‌වන ලද දේශීය සිනමා වංශය - ප්‍රථම කාණ්‌ඩය (1898-1969) නමැති කෘතිය ශ්‍රී ලාංකික සිනමාවට කරන ලද විශිෂ්ට සම්ප්‍රදානයක්‌ ලෙස මම දකිමි. සිනමාව යනු දේශසීමාවන් භාෂා සංස්‌කෘතීන් ඈ සියල්ල සමතික්‍රමණය කළ විශ්ව කලාවක්‌ බවත් සමකාලීන යථාර්ථය ග්‍රහණය කර ගැනීමට කලාව භාවිත කරන හැම කලාකරුවාටම වඩා සිනමාකරුවා ඉදිරියෙන් සිටින බවත් අපි දනිමු.

සන්නිවේදනයේ ප්‍රබල මාධ්‍ය භාෂාව වුවත් භාෂාව නොදත් නැතහොත් මළපොතේ අකුරු නොදන්නා මිනිසාත් රූපය මගින් ඥානනය වන බව වරක්‌ ප්‍රකාශ කලේ ජගත් සිනමාව පිළිබඳ ප්‍රමාණික විද්වතකු මෙන්ම ශ්‍රී ලාංකික සිනමාවේ මහා ප්‍රාඥයකු ලෙස ද සම්මානයට පාත්‍රවූ ආචාර්ය තිස්‌ස අබේරසේකර සූරින්ය. මම ඔහුගේම නිදසුන උපුටා දක්‌වමි. ''බුෂ්'' යන අකුරු දෙක කියවා ගත නොහැකි සිංහල දරුවා හෝ ඉංගී්‍රසියෙන් ඒ අකුරු හතර කියවීමට නොදත් ඉංගී්‍රසි දරුවා සිය රූප ඥනය තුළින් බුෂ් ගේ රූපය හඳුනා ගනී. එනිසා චිත්‍රපටය භාෂා ඥනයෙන් හීන අයකුට වුවද විඳීමට බාධාවක්‌ නැති ප්‍රබල කලාමාධ්‍යයක්‌ බවද ඔහුගේ අවධාරණයයි.

මේ වන විට සිනමාව වසර සියයක්‌ ඉක්‌මවූ කලාවක්‌ බවටද පත්ව තිබේ. එසේම එය වෙනත් නොයෙක්‌ කලාවන් සමගද බැඳී පවතින්නකි. සිනමාකරුවාගේ අපේක්‍ෂාව මනුෂ්‍යත්වය හා මානව සමාජය විනිවිද දැකීමෙන් මානව වර්ගයාගේ ඉරණම හා ගමන පිළිබඳ ඥනයක්‌ ලබාදීම බව අපගේද අදහසය. ඒ අදහස සමග එකඟ නොවන අයද සිටිය හැකිවෙති. විනෝදාස්‌වාදය චමත්කාරය උදෙසා සිනමාව භාවිත කළ යුතු යෑයි සමහරු කල්පනා කරති. එසේම හැම සිනමා කෘතියක්‌ම උසස්‌ නිර්මාණ ලෙසද හැඳින්වීම අසීරුය.

පුද්ගල චර්යාව පුද්ගල මනසේ ගූඨත්වය ජටිලත්වය මෙන්ම සංස්‌කෘතික හා මානව සබඳතාවන්ද ඒවායින් මතුවන ගැටුම්, ෙදවාචක විනිවිද දැකීමද උසස්‌ සිනමාකරුවකුගෙන් අපේක්‍ෂා කෙරේ. එනිසා සිනමාව දේශ සීමා, භාෂා, සංස්‌කෘතික හා ආගම් පවුරු යන සියල්ල ඉක්‌මවා යන බුද්ධිමය ආමන්ත්‍රණයක්‌ ලෙස සැලකීම වඩාත් නිවරදිය. සැබැවින්ම ප්‍රතිභාපූර්ණ සිනමාකරුවා ලොවකොතැන හෝ ජීවත්වන මිනිසා ඔහු අයත් සමාජය ඇතුළු නොයෙක්‌ බලවේගද අප අබියසට රැගෙන එන්නෙකි.

මේ අනුව කිසියම් රටක සිනමා ඉතිහාසය විමර්ශනය කරන සිනමාකරුවා ඒ කලාමාධ්‍යයෙහි අප්‍රමාණ හැඩතල, සියුම් සංවේදී අත්දැකීම් යනාදිය පිළිබඳවද අගනා විවරණයක්‌ කරන්නෙකි. එමගින් සිනමාව පිළිබඳ පුළුල් කියවීමක්‌ සිදුවන අතරම ඒ සිනමා වංශයේ ගති ස්‌වභාවයන් මැදහත්ව ශාස්‌ත්‍රීය අභිලාෂයෙන් එලිකිරීමටද පෙළඹෙයි.

ශ්‍රී ලාංකික සිනමාව තුළ අපගේ සමාජ, දේශපාලන ආර්ථික වෙනස්‌වීම් පිළිබිඹු වී ඇත්තේ කෙසේද? කලින් කල උද්ගතවූ සමාජ විපර්යාසයන් සිනමාත්මක දෘෂ්ටි කෝණයකින් විනිවිද දැකීමට ශ්‍රී ලාංකික සිනමාකරුවෝ සමත්ව සිටිත්ද? ශ්‍රී ලාංකික සිනමාවේ වර්ධනයට හරස්‌වූ සතුරු බලවේග කෙබඳුද? සමකාලීන සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර ශිල්පය, සංගීතය වැනි කලා මාධ්‍ය සමග සංසන්දනාත්මකව බැලීමේදී ශ්‍රී ලාංකික සිනමාව තිබෙන්නේ කොතැනද? යනාදී ප්‍රශ්නවලියක්‌ම අපට මතු කළ හැකිය.

ගාමිණී වේරගමගේ කෘතිය 1898 සිට 1969 දක්‌වා වූ දසක හතක පමණ කාලය තුළ නිමවූ චිත්‍රපට හා ඒවාට විවිධ අයුරින් දායක වූ අය හා ඒ ගමන් මගෙහි සියලු තතුද විනිවිද දැකීමට ගත් වෑයමකි. ඔහු ඒ කාල සීමාව දේශීය සිනමා වංශයේ ප්‍රථම භාගය ලෙස හඳුන්වා ඇත.

හේ සිය කෘතිය ආරම්භ කරන්නේ සිනමාවට පිවිසීමට පෙර අවදියේ මෙරට සමාජ දේශපාලන හා සංස්‌කෘතික හැසිරීම් විමර්ශනය කරමිනි.

ශ්‍රී ලාංකික සිනමාවේ සමාරම්භය 1898 දී (1998.01.08) සිදුවූ බවට ඔශු සාක්‍ෂි ඉදිරිපත් කර තිබේ. ප්‍රථම චිත්‍රපට දර්ශනය එදා සමාජයට මැජික්‌ දැක්‌මක්‌ බඳු වී ඇත. ඒ මැජික්‌ දැක්‌වීම බැලීමට ''ගෑනු මහතුන් හා පිරිමි මහතුන්'' හුනුපිටියේ පබ්ලික්‌ හෝල් නම් ශාලාවට පැමිණි වගද එදා දිනපතා පත්‍රයක්‌ වාර්තා කර තිබිණි. මේ විස්‌තරය කියවද්දී මගේ මනසට නැගුණේ ලුමියර් සහෝදරයන්ගේ චලන චිත්‍ර ඛණ්‌ඩය මුල් වරට දුටු ප්‍රේක්‌ෂක පිරිස බියපත්ව එතැනින් එලියට දිවගිය ආකාරයයි. එය සිදු වූයේ ප්‍රංශයේ පැරිස්‌ නුවර ඉන්දියානු අවන්හලකදීය.

ගාමිණී මේ රටේ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වූ ආකාරය ඉතා හරවත්ව මෙන්ම රසවත්වද දක්‌වයි. මේ රටේ ජනප්‍රිය නූර්ති කලාව මැඬගෙන චිත්‍රපටය ව්‍යාප්ත වූ අයුරු ඔහු විස්‌තර කර ඇත. සිංහල පුවත්පත් චිත්‍රපට සඳහා දැක්‌වූ අනුග්‍රහය මෙන්ම සිනමා සමාජ බිහිවීමද මෙහි දක්‌වා තිබේ.

දේශීය චිත්‍රපට නිෂ්පාදනයේ සමාරම්භය මෙන්ම ඒ හා බැඳුණු දුලබ කොරතුරු ඔහු සාපේක්‍ෂව හා මනාව පෙළ ගස්‌වන අයුරු ද අගනේය. ගුප්තා නමැති ඉන්දීය අධ්‍යක්‍ෂවරයකු මේ රටේ ප්‍රථම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ අතර පසුව දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක්‌ නියෝජනය කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එකල පාසල් සිසුවකු ලෙස එම චිත්‍රපටයට සම්බන්ධවූ බවද දක්‌වා තිබේ. අනතුරුව ප්‍රථම කතානාද චිත්‍රපටය බිහිවූ අයුරු ඔහු පෙන්වා දෙයි.

කතානාද සිනමාවේ ආරම්භය ලෙස හැඳින්වෙන එම පරිච්ඡේදයේ එවක සිනමා සමාජයේ පුද්ගලයන් අතර මෙන්ම සමාගම් අතර තිබුණු තරග ගැටුම් ආදියද දක්‌වා තිබේ. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට දේශීය කතානාද සිනමාවේ පීතෘත්වය පවරා දෙන ගාමිණී වේරගම ඔහුට ඓතිහාසික යුක්‌තියක්‌ ඉටු කර තිබෙන බවද පෙනේ. 1947 ජන 21 කඩුවුණු පොරොන්දුව ප්‍රදර්ශනය වූ අතර දේශිය සිනමාවේ සමාරම්භක දිනය ලෙසද එය පිළිගනු ලැබේ.

ජයමාන්නගේ මිනර්වා නාට්‍යවල කතා පුවත් සිනමාවට නැගුණත් ඒ යුගය දෙමළ සිනමාවේ ආභාසයට වඩා අනුකරණයට යටත්වී තිබිණි. වේරගම ඒ පිළිබඳ අගනා විග්‍රහයක්‌ කර තිබේ. එයින් සිනමාවට සිදුවු හානිය ආකෘතික දුබලතාද කතුවරයාගේ අවධානයට ලක්‌ව තිබේ. දෙමළ සිනමාකරුවන්ගේ තාක්‌ෂණ දැනුම මෙන්ම ඔවුන්ගේ බුද්ධිය මැඩගෙන නැගුණු ඇතැම් ඇදහිලි හා විශ්වාස පිළිබඳවද උපේක්‍ෂාවෙන් කරුණු දැක්‌වීමට ගාමිණී වෑයම් කර ඇත.

ලෝක සිනමාව ආරම්භවී වසර 50 කට පසුව අපේ සිනමාව ආරම්භ වන්නේ සිනමා බස හා තාක්‌ෂණය පිළිබඳ යම් අවබෝධයක්‌ ඇතිව බවද ඔහු දක්‌වා තිබේ.

දෙමළ සිනමාව සමාජ විෂමතාව හා පන්ති අරගලය දෙසට තල්ලුවී ගිය ආකරයත් දෙමළ සිනමාවේ වීරයා ලෙස එම්. ජී. රාමචන්ද්‍රන් පත්වන ආකාරයත් ගාමිණි අපට මතක්‌ කර දෙයි.

මෙසේ මුල් පරිච්ඡේද කීපය තුළ ඔහු ඉතා දීර්ඝ කතාවක්‌ සැකෙවින් අපට කියා තිබේ. මෙම පරිච්ඡේද හතර තුළ සැබවින්ම තවත් විශාල ශාස්‌ත්‍රීය ග්‍රන්ථයකට තරම් ප්‍රමාණවත් තොරතුරු හා දත්ත විශ්ලේෂණ අඩංගුව තිබේ. මතු යම් දිනක මේ අනාවරණයන් ඔස්‌සේ අගනා තවත් ශාස්‌ත්‍රීය විවරණයක්‌ සිදු කළ හැකි බවද මට සිතේ.

ගාමිණි එතැන් සිට යොමු වන්නේ අපේ කතානාද සිනමාව පිළිබඳ ඒ ඒ දශක විශේෂයෙන් අවධාරණය කරමින් ඒ අධ්‍යක්‍ෂවරුන් හා නිර්මාණ පිළිබඳ විමසා බැලීමටය. ඒ චිත්‍රපටවල පසුබිම් කතා ඒවායේ සිනමාත්මක අඩු ලුහුඩුකම් ආදිය මෙන්ම හොඳ යහපත් ලක්‌ෂණ ද ඔහු දකියි. හේ ඉතා ප්‍රවේශමෙන් ඒ එක්‌ එක්‌ චිත්‍රපට පිළිබඳ තොරතුරු මැනවින් දක්‌වා තිබේ.

ගාමිණි වේරගම නමැති සිනමා විචාරකයා මේ අනාවරණයන් අතරින් හිස ඔසවා නැගී සිටිමින් කරනු ලබන විවේචන විමර්ශන අතිශය වැදගත්ය. මුල් යුගයේ සිංහල සිනමාකරුවකුවූ සිරිසේන විමලවීරයන් පිළිබඳව ඔහු ඉතා සාධනීය විවේචනයක්‌ ඉදිරිපත් කර තිබේ. ප්‍රථම සිංහල නිෂ්පාදකයා ලෙස ඔහුගේ සිනමා භාවිතය මෙහි විග්‍රහ කළ අයුරු අගය කළ යුතුය. ලංකාවට නිදහස ලැබීමෙන් පසු සිනමාවට එක්‌වන මේ ලාංකික කලාකරුවා මේ රටේ නිදහස්‌ අරගලයට දායකවූ අයුරු ඔහු පෙන්වා දී තිබේ.

ගාමිණි කියන්නේ, මේ රටේ ජන ජීවිතය තේමා කරගත්තාවූද සමාජය නිවැරදිව කියවීමට හැකිවූද සිනමාකරුවකු ලෙස විමලවීර ඉදිරියෙන්ම සිටින බවය. ඒ දශකයේ වැදගත්ම සිනමාකරුවා වන්නේද විමලවීරයන් බව ගාමිණී පෙන්වාදෙයි. එසේම ඔහුගේ දුබලතා දෘෂ්ටියෙහි අඩුපාඩු මෙන්ම ඔහුට එදා සමාජයෙන් ලැබුණු නොයෙක්‌ විවේචනද ගාමිණී විසින් දක්‌වනු ලැබ ඇත. දේශජ ලක්‌ෂණ වලින් යුතු සිනමා සිහිනයක්‌ දකිමින් සිටි විමලවිර පොඩිපුතා චිත්‍රපටයෙන් එම සිහිනය වෙත ළංවන බව ගාමිණී පෙන්වා දෙයි.

සිනමාස්‌ සමාගම ඉදිරිපත් කළ මනමෝහිනී චිත්‍රපටයට එකල ඉමහත් ආන්දොaලනයන්ට තුඩු දුන්නේ එහි වූ ලිංගික ආකර්ෂණය නිසා බව දක්‌වා තිබේ. සුචරිතවාදීන් විසින් චිත්‍රපටවල එන එබඳු දර්ශන පිළිබඳව කැළඹෙන ආකාරය සිනමා ඉතිහාසය පුරාම දැක්‌වේ. එදා රැඟුම් පාලක මණ්‌ඩලය එහි ඇතැම් දර්ශන කපා දැමූ අයුරුද ඇතැම් දර්ශන කුරුටු ගෑ අයුරුද මෙහි විස්‌තර වේ. චිත්‍රපටයක්‌ නැරඹීමෙන් සුචරිතයට හානි සිදුවේ යෑයි හොර උපාසකයෝ අදත් සිටිති.

කලාතුරකින් සිනමාහලකට යන එබඳු කලාවිහිනයෝ අහෝ සංස්‌කෘතිය අහෝ ශිෂ්ටාචාරය අහෝ සංස්‌කෘතිය වැනසේ යෑයි ගද්‍රභ ඝෝෂා නගති. (මට සිහි වන්නේ පියාඹන මාළුවෝ අරභයා ඇතිවූ ලාමක කැළඹිල්ලයි.) සිංහල සිනමාවේ පුරෝගාමී අධ්‍යක්‍ෂවරයා මෙන්ම දේශීය සිනමාවේ පීතෘවරයා ලෙස ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ ට ඔහු සුවිශේෂ අවධානයක්‌ යොමු කළ බවද පෙනේ. ලෙස්‌ටර් ගැන ඔහු කරන විග්‍රය මෙරටේ ඓතිහාසික දේශපාලන පෙරළියක්‌ සටහන් කළ 1956 සමග සැසඳීමද ඉතා වැදගත්ය. ලෙස්‌ටර් ගේ සිනමාව විමසා බැලීමට පෙර ආසියාවේ උද්ගතවූ නව සිනමා චින්තනය ගැනද ගාමිණී පෙන්වා දෙයි. ඔහුගේ නිරීක්‍ෂණ නිගමන අපට එකඟ විය හැකි ඒවා පමණක්‌ නොව මේ රටේ සිනමාවේ ගමන් මග පසක්‌ කර ගැනීමට ද එකසේ වැදගත් වනු ඇත. ජගත් සිනමා තලයට ශ්‍රී ලංකාව ගෙන ගිය රේඛාව චිත්‍රපටය ගැනද බොහෝ තොරතුරු එහි දක්‌වා තිබේ.

මෙම ග්‍රන්ථයෙහි 1947 සිට 1959 දක්‌වා කාලයේ සුවිශේෂ තොරතුරුද අඩංගු කර තිබේ. සිනමා සාහිත්‍ය සිනමා විචාර සිනමා උළෙලවල් වැනි අංගවලින් සිනමාව පෝෂණය වූ අයුරු මෙම පරිච්ඡේදයේදී විස්‌කර කර තිබේ. සිංහල පුවත්පත් මගින් චිත්‍රඵට විචාරයට යොමුවූ පළමුවැන්න ප්‍රකට මහගත් කරු මාර්ටින් වික්‍රමසිංහ බවද එහි සඳහන් වේ. ඒ හැර ජයවිලාල් විලේගොඩ කරුණාසේන ජයලත් ආදීන්ගේ සම්ප්‍රාප්තියද ඔහු දක්‌වයි. ඉංග්‍රීසියෙන් විචාර ලියූ රෙජී සිරිවර්ධන, එඩ්වින් ආරියදාස ගණනාථ ඔබේසේකර වැනි අයගේ දායකත්වයද සිහිපත් කර තිබේ. ඊට අමතරව රෙජී රණසිංහ හා බෙනඩික්‌ දොඩම්පෙගමගේ සිනමා විචාර ගැනද පෙන්වා දෙයි.

මේ අනුව පනතේ දශකය දේශීය සිනමාව සඳහා නොයෙක්‌ ආකාරයෙන් දායක වූ යුගයක්‌ බව අපට පෙනී යයි. සිනමා සංගම් බිහිවීම මෙන්ම චිත්‍රපට සම්මාන උළෙලවල් ආරම්භ වීමද ඒ යුගය සමග බැඳී තිබිණි. සිනමාව ගැන වෙනත් විද්වතුන්ගේ අවධානය යොමුවූ ආකාරය ගැනද එහි දැක්‌වේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා චන්ද්‍රරත්න මානවසිංහ වැනි අයගේ නම් හා ඔවුන්ගේ සිනමා දායකත්වයද සිහිපත් කර ඇත.

මෙරට සිනමා ඉතිහාසයේ ස්‌වර්ණමය අවදීන් දෙකක්‌ ලෙස හැටේ (1960) දශකය හා හැත්තෑවේ (1970) දශකය හඳුන්වන ගාමිණී ඒවා පිලිබඳ අගනා විස්‌තරයක්‌ද පොතට එකතු කර තිබේ. වෙළෙඳ සිනමාව මතුවීම, මනමේ සමග ඇතිවූ නාට්‍ය ප්‍රබෝධය නාට්‍යවේදීන් සංගීත අධ්‍යක්‍ෂවරුන් ආදී විවිධ විස්‌තර හා විග්‍රහයන්ද මෙහිදී දැකගත හැකිය. සාහිත්‍ය ප්‍රබෝධය හා පේරාදෙණි ගුරුකුලය බටහිර කලා හා සිනමා ප්‍රවණතා ඇතිවීම වැනි කරුණු මෙහි සඳහන් කර තිබේ.

60 දශකයේදීත් ප්‍රමුඛ සිනමාවේදිනිය ලෙස ගාමිණී දක්‌වන්නේ ලෙස්‌ටර් ඡේමිස්‌ පීරිස්‌ය. ඔහුගේ සංදේශය, චිත්‍රපටයේ හැම තොරතුරක්‌ම පාහේ මෙහි දැක්‌වා තිබේ. රේඛාවෙන් ඇරඹුණු සිංහල ගීතයේ කූටප්‍රාප්තිය ලෙස සංදේශය දක්‌වන කතුවරයා අරිසෙන් අහුබුදුගේ ගීත ගැනද විග්‍රහයක්‌ කරයි.

ලෙස්‌ටර්ගේ ගම්පෙරළිය මෙහි සුවිශේෂ වටිනාකමක්‌ හිමි විය යුතු චිත්‍රපටයක්‌ බව තහවුරු කර තිබේ. ඔහුගේම අනෙක්‌ චිත්‍රපට වන දෙලොවක්‌ අතර රන්සළු හා ගොළු හදවත ගැනද දීර්ඝ විග්‍රහයක්‌ අපට හමුවේ. යොවුන් ප්‍රේමයේ චමත්කාරයද සෝකීයත්වයද මුසුවූ ගොළු හදවත විප්‍රලම්බ රසය දනවන සිනමාලංකාරයක්‌ ලෙස ඔහු හඳුන්වයි. ඒ සඳහා ප්‍රේමසිරි කේමදාස නිර්මාණය කළ සංගීතය මෙරට සිනමා සංගීතයේ උපත බවද ඔහු දක්‌වයි.

ගාමිණී ෙdන්සේකාගේ කුළුඳුල් නිර්මාණය වන පරසතු මල් චිත්‍රපටය ගැනද අගනා විවරණයක්‌ සපයන ආකාරයද සඳශන් කළ යුතුය. 60 දශකයේදි බිහිවන නළු නිළි හවුල ගැනද විස්‌තරයක්‌ හමුවේ. සිනමා වෘත්තියකයන්ගේ මැදිහත්වීම් මෙන්ම රජයේ සෘජු අවධානය චිත්‍රපට කර්මාන්තයට යොමු වූ ආකාරය ගැනද පෙන්වා දී තිබේ.

මෙම කෘතියේ අවසන් පරිච්ඡේදය චිත්‍රපට කර්මාන්තය ලෙස නම් කර එයට අදාල ගැටලු, නිරීක්‍ෂණ යෝජනා ආදිය දක්‌වා තිබේ. එය චිත්‍රපට කර්මාන්තයේ යථා ස්‌වරූපය කෙබඳුදැයි පහදා දෙන අගනා විග්‍රහයක්‌ ලෙස හැඳින්විය යුතුය. සිනමා කර්මාන්තයේ සකල අංග සියලු අංශ පිළිබඳව ඔහුගේ විවරණ අර්ථවක්‌ හා කිසිවකුට බැහැර කළ නොහැකි ඒවා බවද කිව යුතුය.

මෙලෙස දේශීය සිනමා වංශ කතාව අනාගතය උදෙසා ලේඛනගත කිරීමට ඔහු යොමුවන්නේද සුවිශේෂ දේශපාලන හා සමාජ වාතාවරණයක්‌ තුළය. මේ සමාජය තුළ සිනමාව හෝ අන් කවර කලාවක්‌ උදෙසා හෝ අවංකව අව්‍යාජව කැපවන්නෝ සිටිත්ද? යනු මට නම් ප්‍රශ්නයකි. එහෙත් නිශසරණාධ්‍යාශයෙන් සිනමාව සමග දුෂ්කර ක්‍රියාකරන ස්‌වල්ප දෙනෙක්‌ සිටිති. ඔවුන්ට දිරිදීම් අගැයිම් නොමැත. එහෙත් ඔව්හු මේ සද් කලාව උදෙසා දුක්‌ ගනිති.

මෙබඳු විමර්ශන ග්‍රන්ථයක්‌ කිරීම යනු ප්‍රාතිහාර්යක්‌ වන්නේද මේ පසුබිම තුළය. ජාතික චිත්‍රපට සුරැකීම සඳහා නිසි සැලසුම්ද තවම අපට නැත. එබඳු රටක සිනමාව කලාවක්‌ වශයෙන් මෙන්ම කර්මාන්තයක්‌ වශයෙන් නොවැඩීමද ස්‌වභාවිකය. සිනමාව ලාභදායි ආයෝජන මාර්ගයක්‌ බවට එදා පත්ව තිබිණි. එසේම එය බහුජන විනෝදාස්‌වාදන මාර්ගයද විය.

කාලයාගේ ඇවෑමෙන් වුවද සිනමා රසිකත්වයේ විශාල පසුබැසීමක්‌ ඇතැයි කිව නොහැක. හොඳ චිත්‍රපට නිර්මාණය වේ නම් අදත් ප්‍රේක්‌ෂකයා රූපවාහිනිය නිවා දමා සිනමාහලට යැමට සූදානම්ය. එහෙත් සිනමාව වෙනුවෙන් දිවි දීමට සූදානම් බව හඟවන (බොහෝ විට මේ අය දිවි කෙසේ වෙතත් දිව දීමට සූදානම් අයයි) අයගෙන් සිදුවන සාධනිය මෙහෙවරක්‌ තිබේද?

ගාමිණී වේරගම විසින් කරන ලද මෙම සිනමා සම්ප්‍රදානය අර්ථවත් හා අමිල මෙහෙවරක්‌ වන්නේද ඒ පසුබිම තුළය. අනෙක්‌ අතට අද දවසේ බැරෑරුම් ශාස්‌ත්‍රීය පර්යේෂණ ද නොමැත. විශ්වවිද්‍යාල බුදධිමත්හු ද නිද්‍රාවක ගිලී සිටිති. එබඳු ශාස්‌ත්‍රීය සේවාවන් අගය කිරීමක්‌ද නැත. ගාමිණි වේරගම සූරීහු ඒ කිසිදු ප්‍රතිලාභයක්‌, ධනලාභයක්‌ නොතකා මේ කාර්යයට උරදී සිටිති. එහි අගනා පල ජාතියට සිනමා සංස්‌කෘතියට අත්පත් කර දී සිටිති.

මෙබඳු ශාස්‌ත්‍රීය මෙහෙවරකට උර දුන් සරසවි ප්‍රකාශන අධිපති එම්. ඩී. ප්‍රේමසිරි මහතාද අගනා බුද්ධිමය වූද ශාස්‌ත්‍රීය වූද ආයෝජනයක්‌ කරයි. කාසි කඳු නගින වෙළෙඳ සමාජයක ගොදුරු ලොබ දුරලා ඔහු කළ සද්ක්‍රියාව නොවන්නට මේ කෘතියට යන කලදසාව සිතාගත හැකිය. ප්‍රේමසිරි මහතා සිනමාව අරභයා වෙනත් ප්‍රදානයන්ද කරන අර්ථපතියෙකි. එනිසා මේ බරපැන ඔහු පහන් සිතින් ඉවසූ බවද නිසැකය.

අද මේ රටේ විශ්ව විද්‍යාලවල සිනමාව හදාරණ විද්‍යාර්ථීන්ට මතු නොව ඒ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ අභිනව අවධානයක්‌ යොමු කරන අයටද මේ කෘතිය අතිශයින් වැදගත්ය. මේ ස්‌වාධීන ශාස්‌ත්‍රීය පර්යේෂණය කළ ගාමිණී වේරගමට මතු මතුව එන සිනමා රසිකයෝද විද්වද්හුද ප්‍රසාදය පළ කරන්නාහු නිසැකය.

කෙසේ හෝ දේශීය සිනමාවේ රුව, ගුණ, තේජස, රස විනිස ආදී සියලු තතු එක්‌ කරමින් ප්‍රේක්‌ෂක රසික ජනතාවට පිරිනමන සිනමාවංශ කතාවේ ඉතිර කොටස්‌ද සම්පූර්ණ කිරීමට මේ සියලු දෙනාටම ශක්‌තියද බලමහිමයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ගාසු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.