මෙහෙම තැනක ඇයි ඔහු හැරයන්නේ
සංගා කුමකට මේ සැරසෙන්නේ


තිස්‌ අට වැනි උපන් දිනය සැමරීමට මාස හතරක්‌ තිබියදී ලොව වැඩිම ටෙස්‌ට්‌ ලකුණු ලැබූ වමත් පිතිකරුවා වන කුමාර් සංගක්‌කාර සිය ජාත්‍යන්තර ටෙස්‌ට්‌ පිටියෙන් සමුගෙන යැමට තීරණය කර තිබේ. සංගක්‌කාරව රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයා සහ තේරීම් කමිටුව නොයෙකුත් ආයාචනා කළද එම වේදිකාවෙන් නික්‌ම යැමේ අවසන් තීරණය සංගක්‌කාර විසින් ගෙන අවසන්ය.

පළමුව විස්‌සයි විස්‌සට සමුදුන් සංගක්‌කාර දෙවනුව එක්‌දින තරගවලට සමුදුන්නේය. ටෙස්‌ට්‌ තරගවලට සමුදීමට තවත් මාස කිහිපයක්‌ සංගක්‌කාර බලා සිටියේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වැඩිම ද්විත්ව ශතක වාර්තාව බිඳ දැමීමටද? නැතිනම් තේරීම් කමිටුවේ සහ නායකයාගේ ඉල්ලීම අහක දැමීමට බැරි කමින්ද? එසේත් නැතිනම් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදීමට හරි කල වයස පැමිණ තිබීම නිසා යන්නේද? යන්න ප්‍රශ්න රාශියක්‌ ක්‍රිකට්‌ ලෝලීන්ගේ මාතෘකාවට බඳුන්ව තිබේ.

දක්‍ෂතාවයෙන් පොහොසත්ව සිටියදී සංගක්‌කාර ක්‍රිකට්‌ පිටියෙන් සමුගන්නේ දේශපාලන වේදිකාවට නැගීමට යෑයි සමහරෙක්‌ මත පළ කරයි. නමුත් ඒ පිළිබඳව සංගක්‌කාර පවසන්නේ, ''මම කවදාවත් දේශපාලනයට එන්නෙ නැහැ. මම දන්න ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් මොකක්‌ හරි කරන්න උත්සහ කරනවා. ඒකත් මොකක්‌ද කියල තවම අදහසක්‌ නැහැ.'' යනුවෙනි.

ටෙස්‌ට්‌ පිටියෙන් සමුගැනීමේ නිල නිවේදනය සංගක්‌කාර විසින් මෙතෙක්‌ ප්‍රකාශ කර නොතිබුණද ඔහු එය තීරණය කළ අවසන් බව පැහැදිලි වන්නේ නොයෙකුත් ප්‍රාන්ත කණ්‌ඩායම් වලින් සංගක්‌කාරට ආරාධනා පිට ආරාධනා ලැබීම හේතුවෙනි. කෙසේ වෙතත් සංගක්‌කාර දැන් ක්‍රියාත්මක පකිස්‌තානය සමග ටෙස්‌ට්‌ තරගාවලියේ තෙවැනි තරගයටද සහභාගි නොවන බව වාර්තා වේ. එයට හේතුව එංගලන්ත ප්‍රාන්ත කණ්‌ඩායමක්‌ සමග සංගක්‌කාර කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර ඇති බැවින් යෑයි වාර්තා වුවද ඒ පිළිබඳව සංගක්‌කාර කිසිදු අදහසක්‌ මේ වන තෙක්‌ ප්‍රකාශ කර නැත. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයද ඒ පිළිබඳව මෙතෙක්‌ කිසිදු නිල නිවේදනයක්‌ නිකුත් නොකළද වාර්තා වන අන්දමට සංගක්‌කාර තෙවැනි ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ඇත්තේ 50% ක්‌ පමණි.

එසේ වුවහොත් සංගක්‌කාර හැදී වැඩුණු මහනුවරදී ඔහුගේ අවසන් රංගනයක්‌ දැක ගැනීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්‌ථාව අහිමි වනු ඇත. ඊට හේතුව ඉන්දියාව සමග පළමු ටෙස්‌ට්‌ තරගයෙන් පසුව සංගක්‌කාර සමුගන්නා බැවිනි. ඉන්දියාව සමග සම්පූර්ණ තරගාවලියම සංගක්‌කාර ක්‍රීඩා නොකරන්නේද ප්‍රාන්ත කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර ඇති බැවින් යෑයි වාර්තා වේ.

ටෙස්‌ට්‌ පිටියෙන් සමුගැනීමට දින වකවානු කලින්ම සංගක්‌කාර තීරණය කර තිබීම හේතුවෙන් අදාළ ප්‍රාන්ත කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නට ඇත. මීට පෙර අයි.පී.එල්.කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර තිබියදී චැම්පියන්ස්‌ ලීග් විස්‌සයි විස්‌ස තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කඳුරට කණ්‌ඩායම නියෝජනය කිරීම හේතුවෙන් සංගක්‌කාරට ශ්‍රී ලංකා රුපියල් ලක්‌ෂ තුන්සියයක්‌ පමණ අහිමි වූ බව වාර්තා වේ. එම මුදල කෙසේ වෙතත් සංගක්‌කාර එදා ගත් තීරණය නිසාදෝ අවසන් වරට පැවැති අයි.පී.එල්. ලංසුවෙදී ඉන්දියන් ක්‍රිකට්‌ මුදලාලිලා සංගක්‌කාරව මිලදී ගැනීමට පසුබට විය.

කෙසේ වෙතත් ක්‍රීඩකයකුගේ සමුගැනීම ඔහු විසින්ම තීරණය කිරීම කාලෝචිතය. එසේ නැතිනම් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයාගේ දක්‍ෂතාව හෝ අදක්‍ෂතාව පදනම් කර ගනිමින් ඔහුට ගෞරවාන්විතව සමුගන්නා ලෙස දැන්විය යුතුය.

ඔස්‌ටේ්‍රලියාවේ තරග දිනවන්නකු වූ මයිකල් හසී තමාගේ පෞද්ගලික හේතුවක්‌ උදෙසා ටෙස්‌ට්‌ පිටියට සමුදී එක්‌දින සහ විස්‌සයි විස්‌ස පමණක්‌ ක්‍රීඩා කිරීමට තීරණය කළේය. ටෙස්‌ට්‌ ක්‍රීඩාවට නැති හසී එක්‌දින පිටියට මොකටද යන්න පවසමින් හසීට ටෙස්‌ට්‌ පිටියෙන්ද සමුගන්නා ලෙස ඔස්‌ටේ්‍රලියානු තේරීම් කමිටුව ඔහුට පවසා ඇති බව වාර්තා විය. එබැවින් නිරන්තර තරග දිනවන්නකු වූ මයිකල් හසී ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටිය නිමා කළේය. නමුත් සංගක්‌කාර ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට පහළ වූ දුර්ලභ මැණිකක්‌ බැවින් ඔහුට තවදුරටත් ටෙස්‌ට්‌ පිටියේ රැඳී සිටින ලෙසට මෙරට ක්‍රිකට්‌ තේරීම් කමිටුව ආරාධනා කළේය.

වයස අවුරුදු 23 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ පිටියට පැමිණි සංගක්‌කාර ලබන අගෝස්‌තු මස 18 වැනිදා ඉන්දියාව සමග ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට්‌ තරගයෙන් සමුගන්නා විට ඔහුගේ ටෙස්‌ට්‌ වාර්තා 'මල්ල' අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී තිබේ. එම වාර්තා මල්ල තවත් වාර්තා වලින් පුරවා ගැනීමට සංගක්‌කාරට ඕනෑවටත් වඩා කාලය ඉතිරිව තිබෙන බව පැහැදිලි වන්නේ ඔහු තවමත් ලොව ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එක හෝ දෙක ස්‌ථානවල නිරන්තරයෙන් රැඳී සිටීමෙනි. ඊටත් වඩා සංගක්‌කාර කණ්‌ඩායමේ සිටීම ප්‍රතිවාදීන්ව මානසිකව ඇද දැමීමේ ප්‍රධාන සාධකයක්‌ වී තිබේ.

''සංගක්‌කාර කියන්නෙ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ භාගයක්‌ වගේ. ඔහු හැම වෙලාවෙම කණ්‌ඩායම ජයග්‍රහණය කරවීමේ වැඩිම බර උසුලන ක්‍රීඩකයෙක්‌.'' යනුවෙන් පකිස්‌තාන් නායක මිස්‌බා උල් හක්‌ ගාල්ලේ ටෙස්‌ට්‌ තරගය ආරම්භ වීමට පෙර පැවසීය. ඒ අදහස ලොව සියලුම කණ්‌ඩායම්වලට පොදු වදනක්‌ බව පැහැදිලිය.

වාර්තා බලාගෙන ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළත් ඕනෑම ක්‍රීඩකයකු ලෝක වාර්තාවක්‌ බිහි කළ විට ඉන් කණ්‌ඩායමට සහ රටට සීමා මායිම් නැති වටිනාකමක්‌ හිමිවේ. ලොව බිහිවු සුපිරිම පිතිකරුවකු ලෙස අවිවාදයෙන් හඳුන්වනු ලබන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නම අදටත් කියවෙන්නේ ඔහු ඔස්‌ටේ්‍රලියාවේ පමණක්‌ නොව ලොවටම කිසිදා අමතක නොවන වාර්තා ගොන්නක්‌ බිහි කළ සහ ඔහුගේ ඇතැම් වාර්තා බිඳ දැමීම හෙට දිනයටත් සිහිනයක්‌ව තිබෙන බැවිනි.

''බ්‍රැඩ්මන්ගේ වාර්තා බිඳ දැමීම කිසිවෙකුට පහසු නැහැ. මම හිතන්නෙ ඔහුගෙ වාර්තා බිඳ දැමීම කෙසේ වෙතත් ඔහු ළඟට හෝ පැමිණීමට යම් කිසි ක්‍රීඩකයකුට හැකිනම් එය එම ක්‍රීඩකයා ලබන ලොකු නම්බුවක්‌.'' යනුවෙන් සංගක්‌කාර බ්‍රැඩ්මන් සතුව තිබෙන වාර්තාවක්‌ ආසන්නයට පැමිණි අවස්‌ථාවේදී පැවසීය.

ටෙස්‌ට්‌ ලොව වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක්‌ (12) ලබා ඇති ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කිරීමට සංගක්‌කාර අවශ්‍යව ඇත්තේ තවත් එක්‌ ද්විත්ව ශතකයක්‌ පමණි. කුමක්‌ හෝ අවාසනාවකට 199 දී සහ 192 දී දෙවරක්‌ සංගක්‌කාර දැවී නොයන්නට බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාවේ සින්නක්‌කර අයිතිය සංගක්‌කාර හට හිමි වන්නට තිබිණි.

ටෙස්‌ට්‌ ලකුණු 12000 පසු කළ පිතිකරුවන් පස්‌දෙනා අතරින් වැඩිම පිතිකරණ සාමාන්‍යක්‌ (58.66) රඳවා ගෙන සිටින සංගක්‌කාර තවත් මාස 10 ක්‌ ටෙස්‌ට්‌ පිටියේ රැඳී සිටියානම් ඔහුට ටෙස්‌ට්‌ තරග 10 කට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව තිබේ. එසේ ක්‍රීඩා කළා නම් සංගක්‌කාරට ලොව වැඩිම ටෙස්‌ට්‌ ලකුණු ලාභීන්ගේ ලැයිස්‌තුවේ දෙවැනි තැනට පහසුවෙන් ළඟා වීමේ හැකියාව තිබේ. ඒ සඳහා සංගක්‌කාරට තවත් අවශ්‍යව ඇත්තේ (ගාලු තරගයට පෙර) ලකුණු 1175 කට අඩු සංඛ්‍යාවකි. සංගක්‌කාර තවත් ටෙස්‌ට්‌ ශතක හතක්‌ ලබා ගත්තේ නම් වැඩිම ශතක ලාභීන් අතර ඔහු දෙවැනි වන්නේ සචින් ටෙන්ඩුල්කාර්ට පමණි. ඒ සියලු වාර්තා පසෙක දමා දක්‍ෂතාවයේ හිණිපෙත්තේ සිටියදී සංගක්‌කාර සමුගෙන යන්නට තීරණය කර තිබේ. ක්‍රිකට්‌ පිටියේ සමුගැනීමෙන් පසු සංගක්‌කාරගේ ඊළග ඉනිම කෙසේ වනු ඇතිදැයි අපි බලා සිටිමු.

අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.