සාධාරණ හේතුවක්‌ නැතිව
මගේ විශ්‍රාම වැටුප අහිමි කළා
වසර 24 ක්‌ වෑබඩ උප තැපැල් ස්‌ථානාධිපති
ලෙස සේවය කළ එම්. ඩී. චන්ද්‍රාවතී කියයි


ප්‍රියදර්ශන ලියනගේ

ගම්පහ කඩවත තැපැල් කාර්යාලය මගින් පාලනය වන වෑබඩ උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්‌ථානාධිපතිවරිය ලෙස වසර විසි හතරකට අධික කාලයක්‌ සේවය කළ එම්. ඩී. චන්ද්‍රාවතී මහත්මියගේ විශ්‍රාම වැටුප කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අහිමි කර ඇති බව ඇය කියයි.

1968 වර්ෂයේදී වෑබඩ උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්‌ථානාධිපතිවරයාගේ ලියාපදිංචි ආදේශිකාව ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට එක්‌වූ තමා ඉන් අනතුරුව 1971 වර්ෂයේදී වෑබඩ උප තැපැල් කාර්යාලයේ වැඩබලන උප තැපැල් ස්‌ථානාධිපතිවරිය ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පත් කළ බවද ඇය සඳහන් කරයි.

ඉන් අනතුරුව විධිමත් ලෙස සම්මුඛ පරීක්‍ෂණයක්‌ පවත්වා 1977 වර්ෂයේදී පෝස්‌ට්‌ මාස්‌ටර් ජනරාල්වරයා විසින් ඇයව සේවයෙහි ස්‌ථිර කර ඇත.

ඉන් අනතුරුව 1994.11.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි උප තැපැල් ස්‌ථානාධිපතිවරියව රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව මගින් 2000.07.24 දින අංක VH/PQ/68/95 දරන ලිපිය මගින් ඇයට දැනුම් දී තිබේ.

ඉන් පසු 2002.06.21 දින අංක VH/PQ/68/95
දරන ලිපිය මගින් අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති බව සඳහන් කරමින් ඇයගේ පත්වීම අහෝසි කර ඇත.

මේ හේතුවෙන් උපතැපැල් ස්‌ථානාධිපතිවරියට විශ්‍රාම වැටුපද අහිමිවී තිබේ. වසර 24 ක්‌ රාජ්‍ය සේවයෙහි යෙදී සිටි තමාට සාධාරණය ඉටුකර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ තැපැල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.