දේශපාලනයට හෘදය සාක්‍ෂියක්‌
ලබාදීමේ මෛත්‍රීගේ වෑයම!



රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ කවදාද? යන්නයි. ඒ විනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ක්‍රියාකාරකම් හෝ විසිවැනි සංශෝධනය හෝ ජනතාවට දැන් උෙද්‍යාගිමත් මාතෘකා නොවේ. ජනමාධ්‍ය මගින් හෝ 20 වැනි සංශෝධනය ගැන කතා කළත් එජාපයට හෝ සුළු පක්‍ෂවලට හෝ එය වැදගත් මාතෘකාවක්‌ වී නැත. එසේම සිවිල් සංවිධානවල ඉල්ලීම වී ඇත්තේ පාර්ලිමේන්තුව වහාම විසුරුවනු යන්නය.

20 වැනි සංශෝධනය සම්මත කිරීම පස්‌සට අදින්නේ එය හුදෙක්‌ මැතිවරණයකදී පෞද්ගලිකව බලපෑ හැකිය යන ආස්‌ථානයේ පිහිටා ක්‍රියා කිරීම නිසාය. දේශපාලනය යනු කවුරු කෙසේ කීවත් ජනතා සේවයම කේන්ද්‍ර කරගත් දෙයක්‌ නොවේ. දේශපාලනඥයා හැමවිටම කල්පනා කරන්නේ බලය ලබාගන්නා පහසු මාර්ග පිළිබඳවය. 1977 ට පෙර මේ රටේ දේශපාලනය තුළ තිබුණු බොහෝ සාධනීය ලක්‍ෂණ දැන් නැත. එසේම දේශපාලනය ද මේ වන විට වරප්‍රසාද සහිත රැකියාවක්‌, ධනය උපයන ව්‍යාපෘතියක්‌ බවට පත්ව තිබේ.

අද තිබෙන ගර්හිත දේශපාලනය ජනතාවට තිත්ත වී තිබෙන බව ඉකුත් ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා ගැනීමෙන් තහවුරු විය. රනිල් - මෛත්‍රී සුසංයෝගය හා දින 100 යේ සැලැස්‌ම රටේ බහුතර ජනතාව විසින් අනුමත කරන ලද්දකි. එහෙත් එහි මූලික යෝජනා දෙකෙන් එකක්‌ වූ 19 වැනි සංශෝධනය සම්මත වුවද අනෙක්‌ යෝජනාව වූ 20 වැනි සංශෝධනය පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත බවකි.

එ.ජා.ප. මහලේකම් කබීර් හෂීම් දැනටමත් කියා තිබෙන්නේ මීළඟ පාර්ලිමේන්තුවේදී එජාපය මෙම මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවය. මුස්‌ලිම් කොංග්‍රසයේ රවුµa හකීම් මෙන්ම ජවිපෙ අනුර කුමාර ද මෙම 20 ට එරෙහිව නැඟී සිටිති. එහෙත් 20 වැනි සංශෝධනය සම්මත කිරීමේ අදිටන ජනාධිපති මෛත්‍රී තවමත් අතහැර නැත.

මැතිවරණ ප්‍රකාශන යනු ඒවා කරනු ලබන දේශපාලන පක්‍ෂ හෝ ජනතාව හෝ බැරෑරුම් ලෙස ගණන් ගන්නා දෙයක්‌ නොවේ. දේශපාලනයේදී ජයග්‍රහණය ලද හැක්‌කේ බොරුව හා රැවටීම තුළින් බව ද සමහරු කිසිදු හිරිකිතයක්‌ නොමැතිවම කියති. එහෙත් මෛත්‍රීපාල ජනාධිපති ඒ ගණයට ඇතුළත් කළ නොහැකි වන්නේ ඔහුගේ දේශපාලන භාවිතය ඊට වඩා වෙනස්‌ වූ හෙයිනි. ඔහු වරක්‌ ප්‍රකාශ කළේ මට වුවමනා මේ දේශපාලනයට හෘදය සාක්‍ෂියක්‌ ලබාදීම බවය.

ඇත්තටම අද මේ ගර්හිත දේශපාලනයට හෘදය සාක්‍ෂියක්‌ ලබාදීමේ එක්‌ පියවරක්‌ ලෙස මෙම මනාප ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම හැඳින්විය හැකිය. එමෙන්ම තවත් මූලික වෙනස්‌කම් කීපයක්‌ම සිදුවිය යුතුය. ස්‌වාධීන කොමිෂන් සභා, මහජන නියෝජිතයන් සඳහා චර්යා ධර්ම පද්ධතිය, තොරතුරු දැනගැනීමේ පනත වැනි සාධනීය යෝජනා ද එහිදී වැදගත්ය. දින සියයෙන් අලුත් රටක්‌ හැදීමට බැරි වුවත් මෙවැනි පියවර කීපයක්‌ හෝ ගැනීමට නම් ඉඩ තිබිණි.

කෙසේ හෝ දැන් ආණ්‌ඩුවේ ගමන ගැන ආණ්‌ඩුවට ද පැහැදිලි අදහසක්‌ නැත. පාර්ලිමේන්තුවේ කිසිදු වැදගත් සංවාදයකට තුඩු දෙන කරුණු ඉදිරිපත් වන බවක්‌ ද නොපෙනේ. ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් පමණක්‌ නොව කථානායකවරයා ද පාර්ලිමේන්තුව හෙට තිබිය හැකිද යන්න දෙස බලන්නේ සැකමුසුවය. එනිසා දැන් නම් පාර්ලිමේන්තුවක්‌ අලුතින් පත්කර ගන්නා තෙක්‌ රටට ඉදිරියට යැම අපහසු බව කාටත් පෙනෙන දෙයකි.

මෙහිදී මතුවන ප්‍රශ්නය නම් ඒ කෙබඳු පාර්ලිමේන්තුවක්‌ද යන්නයි. එය එජාපයේ බහුතරය සහිත එකක්‌ද? නැතහොත් සන්ධානයේ බලය සහිත පාර්ලිමේන්තුවක්‌ද? එසේත් නැතිනම් ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තුවක්‌ද? යනු තවමත් පිළිතුරක්‌ නැති ප්‍රශ්නයකි. මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් බිහි වූ දින සියයේ ආණ්‌ඩුව මුලදී රටට කීවේ කුමක්‌ද? දින සියයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා අලුත් පාර්ලිමේන්තුවක්‌ තෝරා ජාතික රජයක්‌ පිහිටුවා වසර දෙකක්‌ රට පාලනය කරන බවය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ද ජාතික ආණ්‌ඩුවක්‌ බව පැහැදිලිය. ඔහු ජනාධිපතිවරණයේ සිය ප්‍රබල විවේචකයන්ට මෙන්ම විරුද්ධවාදීන්ට මෙත් සිතින්ම ඇමැති පදවි පවා ලබා දුන්නේය. ඒ අලුත් දේශපාලන ගමනකටය. එහෙත් ජනාධිපතිවරයා මැදිවී සිටියේ බලවේග දෙකකටය.එය තම පක්‍ෂයේම පිරිසක්‌ තමන්ට එරෙහිව නැඟී සිටීමක්‌ ද විය.

ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපති පුටුව භාරගත්තේ ද පක්‍ෂය නව ජාතික රජය සමඟ බද්ධ කිරීමටය. එහෙත් හිටපු ජනාධිපති මහින්ද ප්‍රමුඛ සන්ධානයේ පිරිසකගෙන් එයට එරෙහිව නැඟුණු හඬ මේ වන විට ශ්‍රීලනිපය දෙකඩ කරවන තත්ත්වයට වර්ධනය වී තිබේ. දිනෙන් දින උග්‍ර වූ මේ භේදය ජනාධිපති මෛත්‍රීපාල ඉතා නිවැරැදිව තේරුම් ගත්තේය.

ජනාධිපති මෛත්‍රීගේ හැසිරීම මෙන්ම අගමැති රනිල්ගේ හැසිරීම ද දේශපාලන වශයෙන් නිවැරැදිව තේරුම් ගැනීමට බොහෝ දෙනෙක්‌ අසමත් වූහ. මෛත්‍රීට වුවමනා වූයේ රනිල් සමඟ රටට වෙනසක්‌ කිරීමටය. රනිල් සිය පාක්‍ෂිකයන්ගේ විවේචන නොතකා මෛත්‍රී ජනාධිපති පුටුවට රැගෙන ආවේ ද නව දේශපාලන අත්හදා බැලීමකටය. රනිල් යනු මෙරට බිහි වූ වඩාත් ලිබරල්වාදී දේශපාලන චරිතයකි. ඔහුට දූෂණ චෝදනා නඟන කිසිවෙක්‌ ද නොවෙති. එනිසා රනිල් - මෛත්‍රී සුසංයෝගය පැහැදිලි මෙන්ම අභිනව දේශපාලන ඇරඹුමකට යෝග්‍ය විය. එහෙත් සිදුවූයේ කුමක්‌ද?

නොබෝදා ජනාධිපති මෛත්‍රී දැඩි ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. එනම් චන්ද්‍රිකා හා මහින්ද සමඟ ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ හදන බවය. මෙයට අනියම් ආකාරයක පිළිතුරක්‌ දෙමින් අගමැති රනිල් කීවේ යළිත් සන්ධාන ආණ්‌ඩුවක්‌ හැදීමට තමන් ඉඩ නොදෙන බවය. එහෙත් චන්ද්‍රිකා - මහින්ද - මෛත්‍රී සමගිය යථාර්ථයක්‌ වනු ඇද්ද?

මහින්දව අගමැති අපේක්‍ෂකයා කළ යුතුය යන හඬ දැන් ශ්‍රීලනිපය තුළින් ද ඇසෙයි. සන්ධානයේ අනෙක්‌ පක්‍ෂ (හෙළ උරුමය හැර) දිගටම මහින්ද අගමැති කළ යුතු බව කියා සිටියහ. එ.ජා.ප.ය ඇතුළු මහින්ද විරෝධීන් කියන්නේ මහින්ද පරාජිතයකු නිසා ගෙදර යා යුතු බවය. එහෙත් දේශපාලනය යනු ඊට වෙනස්‌ ක්‍රියාදාමයකි. මහින්දට තිබෙන ජනතා කැමැත්ත පසුගිය මැතිවරණ පරාජයෙන් පමණක්‌ මැන බැලීම නිවැරැදි නැත.

ඡේ. ආර්. මේ රටේ බලයට එන්නේ සිය දේශපාලන සැඳෑවේය. ජනතාව ඔහු බලයට පත් කළේ ශ්‍රීලනිපයට විපක්‍ෂ නායක ධුරය පවා අහිමි කරවමිනි. එසේ පල්ලම් බැස ගිය ශ්‍රීලනිපය යළිත් විසි වසරකට පසු බලයට පත්විය. චන්ද්‍රිකා කුමාරතුංග දෙවරක්‌ හා මහින්ද රාජපක්‍ෂ දෙවරක්‌ ජනාධිපතිවරණවලින් ද ජය ගත්හ. මහින්ද සිය දෙවන ධුර කාලය නිමවීමට පෙර යළිත් ජනාධිපතිවරණයක්‌ කැඳවා අනපේක්‍ෂිත ලෙස පරාජයට පත්විය. එහෙත් අද ඔහු යළිත් ජනතාව අතර තහවුරු වෙමින් සිටියි.

මහින්දට අගමැතිකම දීමට අකැමැති අය ද පක්‍ෂය දිනවීමට ඔහු වුවමනා බව කියති. මහින්ද සමඟ පෑහීමක්‌ නැති චන්ද්‍රිකා ද දැන් කියන්නේ ඡන්ද ප්‍රචාරක වැඩවලදී මහින්දගේ පින්තූරයක්‌ යොදාගත යුතු බවය. එහි තේරුම ශ්‍රීලනිපය දිනවීමේදී මහින්ද සාධකය වැදගත් වන බවය.

මේ දේශපාලන වාතාවරණය තුළ ශ්‍රීලනිපයට මහින්ද බැහැර කළ නොහැකිය. එහෙත් එදා මහින්දට එරෙහිව සටන් කළ නායකයා වන මෛත්‍රී දැන් ඔහු සමඟ ගමනක්‌ යැම තුළදී ප්‍රශ්න ගණනාවක්‌ පැනනගී. මහින්ද ශ්‍රීලනිපයේ ජයග්‍රහණය සඳහා භාවිත කිරීම ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ඉතා දූෂිත දේශපාලනයක නිරත වූ බවට චෝදනා කළ ඒ නායකයා සමඟ යළි සම්බන්ධ වන්නේ කෙසේද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තවත් වසර පහක්‌ මේ රටේ විධායක බලය හිමි රාජ්‍ය නායකයාය. ඔහු ශ්‍රීලනිප රජයක්‌ මිසක එජාප රජයක්‌ අපේක්‍ෂා නොකරන බව ද පෙනේ. එතැනදී එජාපයේ සමහරු දැනටමත් ඔහු ගැන කම්පිතව සිටිති. ඔවුන්ගේ අදහස තම පක්‍ෂය ජනාධිපති ධුරය බන්දේසියක තමා ඔහුට දුන් බවකි. එහෙත් එය සත්‍යම නොවේ. ඒ සඳහා එජාපය කර ගසා වැඩ කළ බව ඇත්තය. එහිදී පොරොන්දු ප්‍රකාරව රනිල්ට අගමැතිකම ද ලබා දී තිබේ.

මෛත්‍රීපාල දිගටම එජාපය සමඟ සිටින්නට කල්පනා කළේ නම් ඔහු ශ්‍රීලනිපයේ සභාපති ධුරය භාර නොගනු ඇත. ඔහු රටට පැහැදිලිවම කීවේ රනිල් අගමැති කිරීමට වෙනත් ගිවිසුමක්‌ තමන්ට නැති බවය. දැන් ඔහු පැහැදිලිව කියන්නේ තමන්ට ශ්‍රීලනිප රජයක්‌ වුවමනා බවය. ඔහු දැන් ඒ සඳහා සම්මේලන පවත්වමින් සංවිධාන කටයුතු ද අරඹා තිබේ. ඔහු කිසි විටෙක එජාප රජයක්‌ පිහිටුවා ගැනීමට උනන්දු වන්නේ ද නැත.

ශ්‍රීල.නි.ප.ය තමන්ට භාර කළා නම් ඒ වැඩේ කිරීමට සහාය දිය යුතු බව ද මෛත්‍රී කීපවරක්‌ම කීවේය. එය පාක්‍ෂිකයන්ට මෙන්ම සන්ධානයේ අනෙක්‌ පක්‍ෂවලට ඇසෙන පරිදිම කී කතාවකි. එහෙත් සන්ධානයේම දිනේෂ්, වාසු, විමල් මෙන්ම ගම්මන්පිල ද වෙනම වේදිකාවකට නැඟ මහින්ද අගමැති කළ යුතු බව කීහ. මහින්දගේ බෝධි පූජා පිංකම්වල දේශපාලන සංඥවක්‌ ද විය. ඒ මහින්ද වටා ජනතාව රොක්‌ වන බවය.

කෙසේ වුවද එජාපය බලයට ආවත් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය බලයට ආවත් මෛත්‍රීට ජනාධිපතිකම කරගෙන ඉන්නට තිබුණි. එහෙත් ඔහු සූදානම් වන්නේ ශ්‍රීලනිපයත් ගොඩදාන්නට බව දැන් පැහැදිලිය. ඒ බව ශ්‍රීලනිපය නිවැරැදිව තේරුම් ගෙන නැත. මහින්දගේ අගමැති පදවිය ගැන රක්‍ෂණ සහතිකයක්‌ ඉල්ලන ශ්‍රීලනිපයේ අය මෙන්ම සෙසු සන්ධාන නායකයන්ට ද මෛත්‍රීපාල චරිතය නිවැරැදිව තේරුම් ගැනීමට බැරි වී තිබේ.

එදා එජාපය තුළ ප්‍රේමදාස පිල මතුවනු නොඉවසූ පිsරිස්‌ ද වූහ. එහෙත් ප්‍රේමදාස යනු ජනප්‍රිය මෙන්ම ප්‍රබල චරිතයක්‌ බව ඔහු අරගල තුළින්ම ඔප්පු කළේය. ඡේ. ආර්. සිය ජ්‍යෙෂ්ඨයන් පසක තබා ප්‍රේමදාස අගමැති කළේ ඒ අනුවය. මහින්දව අගමැති කළ යුතුය යන්න ඊට වඩා වෙනස්‌ දෙයකි. ඒ ඔහු කලින් විපක්‍ෂ නායක, අගමැති හා ජනාධිපති පදවි හොබවා තිබීම නිසාය. එහෙත් ඒවා හෙබවුවද මේ රටේ ජනතාවට මහින්ද අවශ්‍ය නම් එයට හරස්‌ වීමට කිසිවකුට නොහැකිය.

අනෙක්‌ අතට පාර්ලිමේන්තුවේ අගමැති ලෙස සිටි අය පසුව විපක්‍ෂ නායක ලෙස ද මන්ත්‍රීවරයකු ලෙස ද ක්‍රියා කර තිබේ. එනිසා ජනාධිපතිවරයකුට යළි අගමැතිවරයකු වීම හෑල්ලුවක්‌ යෑයි නඟන තර්කය ද බොළඳ ය.

ගාමිණී සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.