අනේ කූඹියනේ - තොපටත් රජෙක්‌ ඉන්නේ
අපට නැත ඉන්නේ - ඉන් නිසාවෙන් අපි තැවෙන්නේ

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි


කන්ද උඩරට සමාජ සංස්‌කෘතිය දූෂණයට ලක්‌කොට ගව ඝාතනයට හා මත්පැනට ජනතාව ඇබ්බැහි කිරීම නිසාම මතුවූ ප්‍රබල විරෝධයද කැරැල්ලට හේතු වූ ආකාරය මේජර් තෝමස්‌ ස්‌කිනර් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද සන්දේශයෙන් මොනවට පැහැදිලි වෙයි. විශේෂයෙන්ම සත් කෝරළේ හා මාතලේ වැසියන් මේ කැරැල්ලට දායක වූ අතර කැරැල්ලෙන් පසුව ඉදිරිපත් වූ කාරක සභා වාර්තාවේ එම දෙපළාතේ වැසියන්ගේ ෙ€දවාචකය මැනවින් විස්‌තර කෙරේ.

1838 සිට 1848 දක්‌වා කාලය තුළ උඩරට සමාජය ශීඝ්‍ර පරිහානියකට පත් වූ අතර අධික ලෙස සුරා පානයට ජනයා ගොදුරුවෙමින් සිටි බව පෙනුණි. අරක්‌කුවලින් අවුරුද්දකට පවුම් 50,000 ක්‌ 60,000 ක්‌ පමණ ආදායමක්‌ රජයට ලැබුණු බව වාර්තා වෙයි. මිනිසුන් සුරාපානයට ඇබ්බැහිවීම සඳහා පළමුව එය නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත. මේ හැරුණු විට දේපළ බෙදීයැමේ ක්‍රමය හේතුවෙන් නඩුහබ බහුල විය. වතු වැවිලි ව්‍යාපාරය සමඟ උඩරට ඉඩම් කුණු කොල්ලයට ඉංග්‍රීසීන්ට විකිණී ගියේය. මේ නිසාම ඉඩම් ආරවුල් බහුල විය. කුඹුරකින් 1/120 කොටසක්‌ නැතහොත් ගොඩ ඉඩමකින් 1/99 කොටසක්‌ වුව ආරවුලකට ප්‍රමාණවත් වූ බව සඳහන් වේ. සිංහලයා තරම් නඩු හබවලට කැමති ජාතියක්‌ මුළු ලෝකයේම නැතැයි මේජර් ස්‌කිනර් විසින් පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවේ දක්‌වා ඇත. මේ තත්ත්වය නිසාම බොරුවට දිවුරන්නෝද කුලියට සාක්‍ෂි දෙන්නෝද බහුල විය. රැකියාව වශයෙන් බොරු සාක්‍ෂි දෙන්නෝ බොහෝ වූ බව පැවසේ. නඩුවක්‌ වසර 10 සිට 15 දක්‌වා තරම් කල් දුරදිග යන අතර ඉඩමේ වටිනාකමට වඩා මුද්දර ගාස්‌තු වැය වූ අවස්‌ථා පිළිබඳ ස්‌කිනර් පෙන්වා දෙයි.

මෙසේ රට පරිහානිය කරා ගමන් කිරීම දෙස භික්‍ෂූන් හා ප්‍රභූ පවුල්වල බොහෝ දෙනා බලා සිටියේ මහත් වූ කම්පාවෙනි.

ප්‍රෙෘඪ ජාතියක්‌ මෙසේ අයාලේ යනුයේ සිංහලයාට නිසි නායකත්වයක්‌ නැතිවීම නිසාම බව ඔවුහු දැන සිටියහ. මීට පෙර නිසි නායකයෙකුගෙන් තොරව මතුව ආ කැරලි අසාර්ථකව ගිය අයුරු පිළිබඳ බහුල අත්දැකීම් උඩරැටියනට විය. මෙම පසුබිම කියවෙන ඉතා ප්‍රකට ජනකවියක්‌ එදා සමාජගතව අප ව්‍යවහාරයේ පවතී. එය වඩාත් පැහැදිලිකර දැක්‌වීම පාඨකයින්ගේ විශේෂ ප්‍රසාදයටද හේතුවනු ඇත. එම ජන කවිය මෙසේයි.


"අනේ කූඹියනේ - තොපටත් රජෙක්‌ ඉන්නේ

අපට නැත ඉන්නේ - ඉන් නිසාවද අපි තැවෙන්නේ

රජෙක්‌ ලැබුණෝතින් - පෙරහැර කරන්නේ

බෙර පතුරුවන්නේ - සාදුකාරෙන් ගිගුම් දෙන්නේ"



මෙම කවිය අරාජික වූ උඩරට සමාජය එදා පත්ව සිටි අසරණ තත්ත්වය හමුවේ දිනක්‌ සන්ධ්‍යාවේ දළදා මාලිගයේ ආලින්දයේ හිඳගෙන සිටි දෙගල්දොරුවේ හාමුදුරුවන් විසින් කියන ලද්දකැයි පිළිගැනේ. ජාතික නිදහස අහිමි වී ගොස්‌ ඒ නිසාම ජාතික සංස්‌කෘතිය වැනසී බලවත් සන්තාපයෙන් පසුවූ උන්වහන්සේට මිදුලේ පේලියට ගමන් කරන කුහුඹු රංචුවක්‌ නෙත ගැටී තිබේ. එහි නායක කුහුඹුවා අනුගමනය කරමින් සෙසු රංචුව හැසිරෙන ආකාරය දකින හිමියන්ට තම ජාතිය පත්ව ඇති අභාග්‍යය සිහිපත්ව තිබේ. 1818 කැරැල්ලෙන් පසු දළදා පෙරහැරද නොපැවති බැවින් මෙම කවිය 1828 තරම් කාලයක කියවිනැයි අනුමාන කෙරේ.

1848 වනවිට උඩරට දේශපාලන තත්ත්වය කෙතරම් භයානක එකක්‌ වූවාද කිවහොත් මාතලේ හා සත්කෝරළයේ ජනතාව ඉංග්‍රීසි අණසක යටතේ සිය දේපළ, ඉඩකඩම්, නිදහස, සංස්‌කෘතිය පමණක්‌ නොව හරක බාන, එළු, කුකුළු ආදී සතුන්ද බිළිදී වහල්ව හිඳීමට වඩා මරණය යෙහෙකැයි සිතා කටයුතු කරන තත්ත්වයක පසුවූහ. ඔවුන්ගේ එකම අදිටන වූයේ සිංහල සංස්‌කෘතියේ සෑම උතුම් දායාදයක්‌ම ආරක්‍ෂාකොට සිය අනාගත පරම්පරාවලට හිමිකර දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කිරීමයි. ඒ හැර අන් කළ හැකි දෙයක්‌ නැති තැනට ඇදවැටී සිටියෝය.

මාස හයක්‌ ඇතුළත ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයා විසින් පනවන ලද අලුත් බදු විවිධ ජාති ආගම් හා සමාජයීය වශයෙන් වෙනස්‌කම් පවතින පුද්ගලයන් අතර අසහනයක්‌ හා නොසන්සුන් බවක්‌ ඇති කළේය. ඉංග්‍රීසි ජාතිකයින් පවා රජයට එරෙහිව විවිධ පිල් කණ්‌ඩායම්වලට බෙදී සිටියෝය. විශේෂයෙන්ම 1848 වර්ෂය වනවිට ඔවුහු කඳවුරු තුනකට බෙදී සිටියහ. මින් ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාට පක්‍ෂ කණ්‌ඩායමේ පරම අරමුණ වූයේ එදිරිවාදීන් දරුණු ලෙස තළාපෙළා ඔවුන්ට පාඩමක්‌ ඉගැන්වීමයි. එසේම මේ වනවිට බ්‍රිතාන්‍ය වතු වැවිලි ව්‍යාපාරිකයෝ දේශීය සමාජ දේහය පුරා දූෂණය අපචාරය වපුරා තිබිණ. කෝපි වතු ව්‍යාප්තියත් සමඟ උඩරට ජනතාවට තමන්ගේ ගවයෙකු දිගේලි කිරීමට තරම්වත් තැනක්‌ නැතිවිය. එසේම වැවිලිකරුවන් වෙතින් සිංහල ස්‌ත්‍රීන් දූෂණය වීමත්, ඔවුන්ගේ පහත් හැසිරීමත් නිසා සුදු ජාතිකයින් කෙරෙහි මහත් වූ පිළිකුලක්‌ උඩරැටියන් තුළ ගොඩනැඟී පැවතුණි. ඉංග්‍රීසි ජාතිකයින් යනු තමන්ගේ වෛරක්‌කාරයින් පිරිසක්‌ ලෙස බහුතර උඩරැටියන්ගේ මතය විය. මේ වනවිට රටපුරා මත්පැන් උවදුර පැතිර ගොස්‌ පැවතුණි. ආණ්‌ඩුව විසින් පනවන ලද බදු ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට ජනතාව ඇදවැටී සිටියහ.

භික්‍ෂුන් වහන්සේ පවා ඇඟ බද්දට යටත්කොට තිබීම තත්ත්වය පැහැදිලිවම උත්සන්න වීමට හේතුවිය. බලු බදු වැනි පහත් නිහීන බදු පැනවීමත්, සිංහල ජනතාව කිසිදු වැදගත් ආකාරයකින් නොසලකා හැරීමත්, බලයෙන් නොහොත් තුවක්‌කුවෙන් ප්‍රශ්න විසඳීමේ අභිමානයකින් ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයා සහ මහලේකම් එමර්සන් ටෙනන්ට්‌ පසුවීමත් ජනතාවගේ රාජපාක්‍ෂික භාවය අතුරුදන් වීමට පසුබිම විය. භික්‍ෂුන් හා ස්‌වදේශික මුලාදැනින් විසින් උදාවී පැවැති තත්ත්වයට එරෙහිව දැඩි පියවරකට යා යුතු යෑයි නිගමනය කළෝය.

මේ වනවිට උඩ පහත දෙරටම ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවතුනි. බොහෝ පහතරැටියෝ වෙළෙ¹ම හා විවිධ වූ රැකීරක්‍ෂා සඳහා උඩරටට සංක්‍රමණය වී සිටියෝය. උඩරට සමාජය තුළ විශාල බිඳවැටීමක්‌ සිදුව පැවැති අතර සාම්ප්‍රදායික ප්‍රභූ පවුල් බොහොමයක්‌ බලබිඳී විනාශයට පත්ව තිබිණ. ආණ්‌ඩුවට එරෙහිව පෙළගැසෙන විරෝධතාවයකට නායකත්වය දිය හැකි කිසිවකු එහි ඉතිරිව නොසිටියහ.

මතු සම්බන්ධයි

ගුණපාල ජයතිස්‌ස

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.