මෛත්‍රී පාලනයේ හෙට දවස!

යහපාලනයක්‌ අපේක්‍ෂාවෙන් ඉකුත් ජනාධිපතිවරණයේ දී මේ රටේ බහුතර ජනතාව දුන් තීන්දුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූයේය. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වී මැදමුලනට ගියේය. ඉන් පසු එදා මෙදා තුර ගෙවී ගිය කෙටි කාලය තුළ බොහෝ දේවල් සිදුව තිබේ. දේශපාලන ලෝකය තුළ මෙන්ම ආර්ථිකය තුළ ද බොහෝ වෙනස්‌කම් සිදුව තිබේ. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු මේ රටේ බහුතර ජනතාව අපේක්‍ෂා කළ 'වෙනස්‌ උදා වී තිබේද? මෛත්‍රී පාලනය යථාර්ථයක්‌ වූයේද? ඒ සම්බන්ධයෙන් නම් බොහෝ ප්‍රශ්නාර්ථයන් තිබේ. ඒ දවස්‌වල කීවේ මහින්ද රාජපක්‍ෂ රජයේ 'මෙගා ඩීල්' ගැනය. එහෙත් මේ දිනවල රටම කතා කරන්නේ යහපාලන රජයේ දින 100 තුළ සිදුවූ 'බැඳුම්කර මගඩිය' ගැනය. එය පැවසෙන්නේ ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව බවයි. යහ පාලනයේ නාමයෙන් මෙවැනි අතිවිශාල මූල්‍ය වංචා පිළිබඳ චෝදනා වත්මන් මෛත්‍රී - රනිල් රජයට එල්ල වී තිබුණත්, ඒ සියල්ල යටපත් කිරීමට දරන අසීමිත උත්සාහයන්ද පෙනෙන්නට තිබේ. මේ නිසා වත්මන් රජයේ 'හොරු ඇල්ලීම' විශාල මාධ්‍ය සංදර්ශනයක්‌ බවටද පත්විය. අන්තිමට ඇල්ලූ හොරකුත් නැත. මේ පසුබිම තුළ මෛත්‍රී පාලනයේ හෙට දවස පිළිබඳව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරමු.

'මෛත්‍රී පාලනයක්‌, ස්‌ථාවර රටක්‌' යනුවෙන් නම් කර තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි පරිච්ඡේදය නම් කර තිබුණේ 'රට නංවන ආර්ථිකයක්‌' යනුවෙනි. මෛත්‍රී පාලනයක ආර්ථික වැඩපිළිවෙලට අදාළ කරුණු රැසක්‌ එහි අන්තර්ගත විය. ඒ අතරින් එහි සඳහන් වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ මෙසේය.

"ඔළුවෙන් සිටගත් සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපසින් සිටවීමට මම කටයුතු කරමි. නාස්‌තිකාර වැඩ සියල්ල අත්හිටුවා රටේ ස්‌වභාවික හා මානව සම්පත් මත පදනම් වූ සැබෑ තිරසාර සංවර්ධනයක්‌ ඉලක්‌ක කරගත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම උදෙසා මුදලට නොව, රටට සැබෑ ලෙසම ආදරය කරන විද්වතුන් ඇතුළත් ජාතික ආර්ථික සැළසුම් මණ්‌ඩලයක්‌ ස්‌ථාපනය කරන්නෙමි. එම මණ්‌ඩලයේ නිර්දේශමත ධන කුවේරයන්ගේ නොව දුක්‌ විඳින දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය සැබෑ ලෙසම නංවාලන වැඩපිළිවෙළක්‌ ඉදිරි හය වසර තුළදී මේ මහ පොළවේ ක්‍රියාවට නංවමි.'

මේ වචන ටික නම් ඉතාම සුන්දරය. ඇත්ත වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සඳහන් කළ මේ දේ එයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකි වන්නේ නම් එය රටට ඉතා හොඳය. ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරි වසර 6 ක වැඩපිළිවෙළක්‌ ගැනය. එහෙත් වසර 6 කෙසේ වෙතත් රජයේ දින 100 වැඩපිළිවෙළ දෙස බලන විට ඉදිරි වසර 6 තුළ මෛත්‍රී පාලනයේ එම අපේක්‍ෂා යථාර්ථයක්‌ වනු ඇතිද? මෛත්‍රී - රනිල් පාලනය පසුගිය කෙටිකාලය තුළ ගෙවී ගිය ආකාරය අනුව එම අපේක්‍ෂා ඉටුවනු ඇතිදැයි අපට සිතිය හැකිද? එහෙත් කනගාටුවෙන් වුවත් කීමට ඇත්තේ මෛත්‍රී පාලනයේ එම අපේක්‍ෂා යථාර්ථයක්‌ වනු ඇති බවට, පසුගිය කෙටිකාලය තුළ ආදර්ශයක්‌ ලබාදීමට වත්මන් ආණ්‌ඩුව අසමත් වී ඇති බවයි. එයට තනිකරම මෛත්‍රීපාල සිරිසේන මහතාටම දොස්‌ කිව නොහැකිය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති වීමට එජාප ඡන්ද වැඩි ප්‍රමාණයක්‌ දායක වූ බව ඇත්තය. එහෙත් එය තනිකරම එජාපයට ලැබුණු ජනවරමක්‌ නොවේ. එය තනිකරම එජාපයට ලැබුණු ජනවරමක්‌ නම්, ඉකුත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය නොදී එජාපයෙන්ම ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කොට ජයග්‍රහණය කර ගැනීමට බැරි වූයේ ඇයි? ඔවුන් එසේ නොකොට පොදු ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය පළ කළේ, එජාප ජනපති අපේක්‍ෂකයෙකුට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමඟ තරග කොට ජයගත නොහැකි නිසාය. මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ජනවරම එජාපය ලද ජනවරමක්‌ (පමණක්‌) නොවූවත් රජයේ බොහෝ පාර්ශ්වයන් තුළ දක්‌නට ලැබුණේ එය තනිකරම එජාප ජනවරමක්‌ ලෙස සලකමින් ක්‍රියාකරන ආකාරයකි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ඇතැමුන් මෙවන් තත්ත්වයක්‌ කිසිසේත්ම අපේක්‍ෂා ද නොකළේය. එහෙත් අවසානයේ සිදුවූයේ තනිකරම එජාපය ලද ජනවරමක්‌ ලෙස සලකමින් රාජ්‍ය පාලනය දියත් වීමක්‌ බැවින්, තවදුරටත් එජාප ආණ්‌ඩුවක්‌ යටතේම මෛත්‍රී පාලනයේ අපේක්‍ෂා ඉටුවනු ඇතැයි සිතිය හැකිද? ඒ සම්බන්ධයෙන් මතුව තිබෙන්නේ බරපතළ ප්‍රශ්නාර්ථයක්‌ නොවේද? ඒ ගැන ජනාධිපතිවරයාද කල්පනා කර තීරණයක්‌ ගත යුතු මොහොතක්‌ දැන් එළඹ තිබේ. නැතහොත් මෛත්‍රී පාලනයේ ජනතා අපේක්‍ෂා ඉටු නොවී, තමන්ගේ ජනාධිපති ධූර කාලය අවසානයේ ඔහුට හිතේ සතුටින් විශ්‍රාම (මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවත් ජනාධිපතිවරණයකට තමා ඉදිරිපත් නොවන බවයි) ගත හැකිද? මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වී ගෙදර ගිය පමණින් රටට හෝ ජනතාවට සියලු යහපත උදා වූයේද? ඒ නිසා රටට සහ ජනතාවට යහපතක්‌ උදාවීමට නම් ඒ සඳහා නිසි ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාවට නංවන ශක්‌තිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක්‌ද අවශ්‍යය. එහෙත් පසුගිය කාලය තුළ ඒ ආදර්ශය ජනතාවට පෙන්වීමට මේ රජය සමත් වී තිබේද? වෙනසක්‌ සඳහා ජනවරමක්‌ දුන් ඇතැම් අයම අද වනවිට අපේක්‍ෂා කළ 'වෙනස්‌ සහ ඇතිවූ 'වෙනස්‌ සම්බන්ධයෙන් විශාල නොසතුටට පත්ව සිටිති. මෙය ඉදිරි මහමැතිවරණ ප්‍රතිඵලයටද තීරණාත්මකව බලපාන සාධකයක්‌ බවට කිසිම සැකයක්‌ නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ තවත් සඳහනක්‌ මෙසේය. එනම් "රටේ සිදු වූ මෙගා දූෂණය නවතාලීම මගින් පමණක්‌ පසුගිය වසර හය තිස්‌සේ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක්‌ රටට ලබාදීමට කටයුතු කරන්නෙමි," යන්නයි. මේ සඳහන අගය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ අවස්‌ථාවේ, මේ ලියුම්කරු ප්‍රකාශ කළේ, දැන් එළඹ තිබෙන්නේ මේ පොරොන්දුව පිළිබඳ ජනතා අපේක්‍ෂා දැල්වී ඇති මොහොතක්‌ බවයි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්‌ද, රටට ආදර්ශයක්‌ ලබාදිය යුතුව තිබූ වත්මන් යහපාලන රජයේ දින 100 තුළම මෙගා වංචා සිදුව ඇති බවට වත්මන් රජයට චෝදනා එල්ල වීමයි. ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත්‍රීවරු රාශියකගේ අත්සනින් විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් වූ අතර, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර කෝප් අනුකමිටුවක්‌ මගින් විමර්ශනය කොට වාර්තාවක්‌ ලබා ගත යුතු බවට කථානායකවරයා නියෝග කොට තිබිණි. එම අනුකමිටුව මගින් පාර්ලිමේන්තුවට අතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ සිදුවූයේ කුමක්‌ද? එනම් එම අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමයි. ඒ අනුව එම කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමට තිබූ අවස්‌ථාව ද මගහැරී ගියේය. එම වාර්තාව යම් හෙයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ නම්, එම වංචාවේ දේශපාලන සුලමුලද ඇතුළු, ඒ පිළිබඳ තොරතුරු බොහොමයක්‌ සමාජගත වීම වැළැක්‌විය නොහැකි වීමට ඉඩ තිබිණි. එසේ වූයේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට ඉතා අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවද රහසක්‌ නොවේ. ඒ නිසා මේ චෝදනාව යට ගැසීමට දරණ 'වියරු' උත්සාහය පුදුමයට කරුණක්‌ නොවේ. මේ වංචාවේ පාඩුව මේ වනවිට රු. කෝටි 5921 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවටද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයින් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. මෙය යට ගැසීමට කවර දේශපාලන උත්සාහයක්‌ ගනිමින් තිබුණත්, එය මේ වනවිට ඉතා අසීරු කටයුත්තක්‌ බවට පත් වී ඇති බවද කිව යුතුය. මෙවන් පසුබිමක්‌ තුළ මෙගා දූෂණය නවතාලීම මගින් පසුගිය වසර හය තිස්‌සේ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක්‌ රටට ලබාදීමට කටයුතු කරන බවට දෙන ලද පොරොන්දු රටවැසියා පිළිගන්නේ කෙසේද?

මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ පැවැති ප්‍රධානතම දුර්වලතාවක්‌ වූයේද ආණ්‌ඩුවේ වැරැදි නිවැරැදි කර ගැනීමට කිසිදු පියවරක්‌ නොගැනීමයි. මහා වැට්‌ බදු වංචාව, හෙජින් ගිවිසුම්වලින් සිදුවූ පාඩුව මෙන්ම තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඇගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌ කිරීමට චෝදනා එල්ල වූ ප්‍රධාන සැකකරුවා සම්බන්ධයෙන්ද එදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කිසිදු පියවරක්‌ නොගත්තේය. ඒ බව එදා මේ ලියුම්කරුම හිටපු ජනාධිපතිවරයාගේ නම ද සඳහන් කරමින් විවේචනය කළේය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ කුමක්‌ද? ඒ දෙයම නොවේද? එනම් අද 'මෛත්‍රී පාලනය' තුළ සිදුවෙමින් පවතින වැරැදි නිවැරැදි කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයා ද කිසිදු පියවරක්‌ ගන්නා බවක්‌ පෙනෙන්නට නැත. ජනාධිපති ජනවරමට දායකවූ ඇතැම් පාර්ශ්වයන්ගෙන් ඔහුටද දේශපාලන පීඩනයක්‌ එල්ල වී තිබේදැයි යන්න අප හරියටම කියන්නට දන්නේ නැත.

කවුරු බලයේ සිටියත් රට ඉදිරියට යැමට නම් යුද ජයග්‍රහණයෙන් රැකුණු මාතෘභූමියේ ආරක්‍ෂාව අඛණ්‌ඩව සුරක්‍ෂිත කර ගනිමින් රාජ්‍ය පාලනය තුළ යහපාලනය ද ඇති කරගත යුතුය. බෙදුම්වාදී උත්සාහයන්ට ඉඩදෙමින්, රටේ යුද ජයග්‍රහණය අනතුරේ හෙළන යහපාලනයකින් රටට යහපතක්‌ වනු ඇතැයි සිතිය නොහැකිය. මහින්ද රාජපක්‍ෂ රජයේ වැරදි ප්‍රතික්‍ෂේප කොට ඉකුත් ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කළ ජනයා, රටේ යුද ජයග්‍රහණයට හානියක්‌ වන බෙදුම්වාදී වුවමනාවන් ඉටු වනවාට කැමැති වනු ඇතැයිද අපට සිතිය නොහැකිය. ඒ නිසා රටේ පවතින නිදහස්‌ හා සාමකාමී වාතාවරණය රැකගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සමඟම රාජ්‍ය පාලනය තුළ යහපාලනය ද ඇති කරගත යුතුවේ. රටේ ඉදිරි පාලනය තුළ මේ අරමුණු දෙකම ඉටුකර ගනිමින්, ගමන් කළ හැකි නම් මෛත්‍රී පාලනයේ හෙට දවස රටටත්, ජනතාවටත් යහපත් වනු ඇති බව අවසාන වශයෙන් කිව හැකිය.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.