මහින්දට නාමයෝජනා දීමට
කිසිම කොන්දේසියක්‌ නෑ
- ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා

අනුර බාලසූරිය

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ තිබූ මතවාද සියල්ල අවසන් වී සියලු දෙනා එක කණ්‌ඩායමක්‌ ලෙස මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කරන බව ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාම යෝජනා ලබාදීමට කිසිම කොන්දේසියක්‌ පනවා නැති බවත් කොන්දේසියක්‌ පැනවීමක්‌ සම්බන්ධයෙන් කිසිවකු කතා කර නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (8 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

චෝදනාවලට ලක්‌ වූ හිටපු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා කිහිපදෙනකුට පමණක්‌ නොලැබෙන බවත්, ලබන 13 වැනිදා නාම යෝජනා භාරදීමේදී එය බලාගත හැකි බවත් පැවැසීය.

දූෂිත වචනය තමා පිළිනොගන්නා බවත්, ඕනෑම කෙනකුට චෝදනා ඉදිරිපත් කළ හැකි බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතියේ විනිශ්චයක්‌ තිබිය යුතු බවත් එසේ නොමැතිව ඒ ගැන කතා කළ නොහැකි බවත් හෙතෙම කීවේය.

හිටපු ජනාධිපතිවරයාට මහ මැතිවරණයට ඉදිරිපත් විය හැක්‌කේ හම්බන්තොටින් පමණක්‌ බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ විට එවැනි දෙයක්‌ නොමැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඉදිරි දින දෙක තුළ නාම යෝජනා සකස්‌කර අවසන් කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.