කෝප් වාර්තාව අරබයා අගමැති
රනිල් සමඟ විවාදයකට සූදානම්
ඩිව් ගුණසේකර

දයා ලංකාපුර

මහ බැංකුවේ බැඳුම්කර විකිණීමේ සිද්ධිය පිළිබඳව කෝප් අනුකමිටුව විසින් පරික්‍ෂණ පවත්වා සකස්‌ කළ වාර්තාව, වංචනික වාර්තාවක්‌ බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය තමා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර ඒ සම්බන්ධයෙන් ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තමාට විරුද්ධව නඩු පවරන්නේ නම් එයට මුහුණදී අධිකරණයේදී සියල්ල හෙළි කිරීමට තමා සූදානම් බවත් ඩිව් ගුණසේකර මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මාධ්‍යයට කරුණු දැක්‌වීමෙන් තමා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උල්ලංඝනය කොට ඇති බවට වික්‍රමසිංහ මහතා නඟන චෝදනාව ප්‍රතික්‍ෂේප කරන ඩිව් ගුණසේකර මහතා මේ පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධියේ මාධ්‍යයට කරුණු දක්‌වා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සුජීව සේනසිංහ මහතා බවත් පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මගෙන් ඉල්ලා සිටියා ඔහු ද කෝප් අනුකමිටුව හමුවට කැඳවන ලෙස. එහෙත් කෝප් කමිටුවේ මගපෙන්වීම් අනුව ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් එයට කැඳවන්නට බැහැ. මීට පෙර පැවැති කෝප් කමිටු පරීක්‍ෂණවලට සහභාගි වී ප්‍රකාශ ලබාදීමට හිටපු ඇමැතිවරුන් වන මර්වින් සිල්වා, රාජිත සේනාරත්න මහත්වරුන් හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද අවස්‌ථාව ඉල්ලා සිටියා. එහෙත් ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ. කෝප් කමිටුව ගෙන්වන්නේ නිලධාරීන් පමණයි. ඇමැතිවරුන්ට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී ඕනෑම ප්‍රකාශයක්‌ කිරීමට පුළුවන්.

මා කෝප් අනු කමිටුවට රනිල් වික්‍රමසිංහ මහතා නොගෙන්වූයේ එම පරීක්‍ෂණයට ඔහු අදාළ නොවන නිසයි. දැන් ඔහු මා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළ බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක්‌ යවා තිබෙනවා. නමුත් මට පෙර වාණිජ මණ්‌ඩල රැස්‌වීමකදී කෝප් අනුකමිටුවට ඔහු නොකැඳවීම ගැන වික්‍රමසිංහ මහතා මට චෝදනාකොට තිබුණා. සුජීව සේනසිංහ මහතාද මාධ්‍ය හමුවක්‌ පවත්වා කෝප් අනුකමිටුව පවා විවේචන කර තිබෙනවා. මේ පිළිබඳව මාත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පැමිණිලි කරන්නට බලාපොරොත්තු වෙනවා යෑයිද ඩිව් ගුණසේකර මහතා කීය.

සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තමාට අභියෝග කොට ඇති නමුත් තමා විවාදයට එනවා නම් එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග පමණක්‌ බවත් ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.