සොයිසා රෝහලේදී උපන් දරුවා මියගියේ
වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ වරදින්ද?

මවත් පියාත් පරීක්‍ෂණයක්‌ ඉල්ලති


අවසන් කටයුතු සදහා දේහය රැගෙන යන අයුරු

අනුෂ්කා රෝෂිණී පතිරණ සුරංග සම්පත් සමඟ නව දිවියකට මුල පිරුවේ මීට වසරකට පෙරාතුවය. දිවුලපිටිය, හුණුමුල්ල, කලාපිsටිමුල්ල අංක 248/බී ලිපිනයේ පදිංචිව උන් මේ දෙපළගේ සිහින සැබෑ කරමින් කුළුඳුල් දරුවා අනුෂ්කාගේ කුසට ආවේ ඔවුනගේ ජීවිතවලට නව වටිනාකමක්‌ එක්‌ කරමිනි.

සම්පත්ගේ මෙන්ම අනුෂ්කාගේ ද සිත පුරා නැඟුන සතුට දෝර ගලා ගියේ දෙපළගේ මවුපිය ඥති හිතවතුන්ගේ ද විශේෂ සැලකිලි ලැබෙන්නට වූ පසුවය. ගැබිනි මවට නිසි පෝෂණ ආහාර ලබා දෙමින් ඥතීහු මේ දෙපළට ආශිර්වාද කරමින් හැකි තරම් උදව් උපකාර කළේ අලුතින් කැදැල්ලට එක්‌වන්නට පෙරුම් පුරන සුරතල් දරුවා වෙනුවෙනි.

සම්පත් අනුෂ්කාව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර කුස තුළ මෝරමින් සිටි දරුවා පිළිබඳ නිතර නිතර පරීක්‍ෂාවෙන් සිsටියේ කොයි මවත් පියාත් කුළුඳුල් දරුවා උපදින්නට සිටින විට හැසිරෙන විලසින්මය.

විශේෂඥ වෛද්‍ය උපදෙස්‌වලට අනුව සියලු කටයුතු එපරිද්දෙන් ම සිදු විය.

දින සති බවට පෙරළී දරුවා උපදින්නට ලබාදුන් කාලය ළං විය. ඒ අනුව ගැබිනි අනුෂ්කාව ද සොයිසා රෝහලට රැගෙන ගියා ය.

මව ජුනි මස 04 වැනිදාට රෝහල්ගත කර සිටිය යුතු බවට කී නිසා 03 වැනිදාම මව රෝල්ගත කළේ අලුත උපදින දරුවාට අවශ්‍ය අඩුම කුඩුම සියල්ලම ලක ලෑස්‌ති කළ පසුවය.

නමුත් දරුවා උපදින්නට තවත් දින කිහිපයක්‌ ගතවන බව කියමින් ගැබිනි අනුෂ්කා ටිකට්‌ කපා නිවසට රැගෙන යන ලෙස රෝහල් වෛද්‍ය කාර්ය මණ්‌ඩලය නිර්දේශ කර තිබිණි. ඒ අනුව යළිත් ජුනි මස 09 වැනිදා රෝහල්ගත කිරීමට නියම කෙරිනි. ඒ අනුව 09 වැනිදා පෙරවරු 7.30 ට යළි ගැබිනි මව රෝහල්ගත කෙරිණි. 11 වැනිදා වන විට දරුවා බිහි නොවූ අතර, වෛද්‍ය නිර්දේශය මත 11 වැනිදා පෙරවරුවේ සිසේරියන් සැත්කමක්‌ සිදු කෙරිණි. දරුවා 7.14 ට මෙලොව එළිය දුටුවේ මවගෙත්, පියාගෙත් ඥාතීන්ගෙත් සිත් සනහාලමිනි. දරුවා උපදින විට කිලෝ තුනයි ග්‍රෑම් 325 ක බරකින් යුක්‌තව සිට ඇත. නමුත් සියල්ල උඩු යටිකුරු කරමින් එදින 11.30 ට දරුවා හදිසියේම මියගියේ සියලු බලාපොරොත්තු බිම අතාරින ලද කැඩපතක්‌ සේ සුණු විසුණු කර දමමිනි.

පශ්චාත් මරණ පරික්‍ෂණයේදී දරුවා නීරෝගීව ඉපදී ඇතැයි සඳහන් වී ඇතැයි පියා කියා සිටී.

මෙම මරණය වෛද්‍යවරු සහ කාර්ය මණ්‌ඩලයේ වරදින් සිදු වූවක්‌ යෑයි මේ අයගේ මතය වී තිබේ. ඒ බිලිඳු මරණය පිළිබඳ මවත් පියාත් පරීක්‍ෂණයක්‌ ඉල්ලන්නට තීරණය කරන්නේ තවත් මවකට, පියකුට මෙවන් අවාසනාවන්ත ඉරණමක්‌ අත් නොවන්නට අවශ්‍ය පරිසරය සැකසීමම බව ඔවුහු පවසති.

ඒ අනුව පසුගිය මස 13 වැනි දින කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ඉදිරියේ හදිසි මරණ පරීක්‍ෂණය සිදුකෙරිණි.

මරදාන පොලිසියේ සැරයන් ලාල් පතිරණ (27689) බොරැල්ල පොලිසියේ කොස්‌තාපල් මුණසිංහ (32430) සාක්‍ෂි මෙහෙය වූ අතර, වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ලබන 11 වැනිදා සිදු කිරීමට නියමිතව ඇත.

"අපිට අපේ නැති වූ දරුවා ආපසු ගන්න බැරි එක ඇත්ත. ඒත් දහසකුත් එකක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙන වෛද්‍ය උපදෙස්‌වලට අනුව කටයුතු කළ අපට දරුවා නැතිවීම ප්‍රශ්නයක්‌. මේක රෝහල් වෛද්‍ය කාර්ය මණ්‌ඩලයෙන් වූ

අත්වැරැද්දක්‌ කියලා අපට හිතෙනවා. සාධාරණ පරීක්‍ෂණයක්‌ ඉල්ලුවේ තවත් අයකුට මෙවැන්නක්‌ නොවන තැනට පත් කරන්න පියා වන සුරංග සම්පත් දිසානායක එසේ කියා සිටී

ශිරාන් රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.