රු. දහසක දිනක වැටුප ඉල්ලන
වතු කම්කරු සටන 3 වැනි දිනටත්


උද්ඝෝෂණයට සහය දක්‌වමින් හිටපු ඇමැති තොන්ඩමන් මහතා ඊට එක්‌ව සිටි අයුරු.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

පාලන පක්‍ෂයේ අණ නොතකා වතු කම්කරුවන් විසින් සෙමින් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 3 වැනි දිනටත් ඊයේ දිනයේ දීද (8 වැනි දින) සිදු කළ අතර තේ කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් කඩන ලද තේ දලු තේ කර්මාන්ත ශාලාව අසල මාර්ගයේ ගොඩගසා තිබෙනු දැකිය හැකිවිය.

වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්‌වා වැඩිකරන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් මේ වනවිට සෙමින් වැඩ කිරීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කර ඇත.

ඒ අනුව සාමාන්‍ය දිනක කඩනු ලබන තේ දලු කිලෝ 15-20 අතර ප්‍රමාණය මෙසේ සෙමින් වැඩ කිරීමත් සමඟ එය කිලෝ 2-3 අතර ප්‍රමාණයකට අඩුව ඇත.

මෙම තත්ත්වයන් මත තේ දලු නෙළීම නවතා දමන ලෙසත් නිසිලෙස සේවය නොකරන්නේ නම් තේ දලු භාර ගැනීමට නොහැකි බවත් පාලක පක්‍ෂය මගින් දැනුම් දී මෙම වතු කම්කරුවන්ට සේවය සඳහා නම් දැමීම නොකරන බව දැනුම් දී ඇත. එහෙත් එම ප්‍රකාශයන්ට අවනත නොවී වතු කම්කරුවන් ඊයේ (8 වැනිදා) සෙමින් වැඩ කිරීම ආරම්භ කර ඇත.

තේ කර්මාන්ත ශාලා වසාදැමීමත් සමඟ කඩනු ලබන තේ දලු භාර ගැනීමට තේ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයන් නොමැතිවීමෙන් සෙමින් වැඩ කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින කම්කරුවන් විසින් කඩනු ලබන තේ දලු තේ කර්මාන්ත ශාලාව අසල මාර්ගය අයිනේ ගොඩගැසීම සිදුකර ඇත.

මේ පිළිබඳ වතුකම්කරුවන් පවසනුයේ දිනකට ගෙවනු ලබන රු. 450/- මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් මෙම දෛනික වැටුප රු. 1000/- දක්‌වා වැඩිකළ යුතු බවත්ය.

දින 19 සේවය කළ විට රු. 620/- ක මුදලක්‌ ලැබෙන බවත් මෙම මුදල අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන බැවින් තම වැටුප වැඩිකරන තෙක්‌ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිගින් දිගටම පවත්වාගෙන යනු ලබන බවද ඔවුන් වැඩිදුරටත් පවසන ලදී. මෙ පිළිබඳ කරන ලද විමසුමකදී තම අනන්‍යතාවය හෙළිනොකරන ලෙස ඉල්ලා සිටි වතු අධිකාරිවරයකු පවසන ලද්දේ වතුකම්කරුවන් විසින් ආරම්භ කර ඇති සෙමින් වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් දෛනිකව තේ කර්මාන්තශාලා වෙත ලැබෙන තේ දලු ප්‍රමාණය ශීඝ්‍ර ලෙස අඩුවීමෙන් තේ කර්මාන්ත ශාලාවන් පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ පවතින බැවින් තේ කර්මාන්ත ශාලා වසා දැමීමට තීරණය කර ඇති බවත්ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.