තන්වැසියා දුටු දෙය
ගාල්ලේ ඇසි අක්‌කා


ඇසි අක්‌කා දුප්පත්ය. ඇගේ ස්‌වාමියා ගමේ ගෙවල් කිහිපයක කිතුල්මල්, පොල්මල් කපා පැණි, රා වැනි දේ නිෂ්පාදනය කොට කීයක්‌ හෝ උපයා ගනී. දරුවන් තිදෙනෙක්‌ හදාවඩා ගැනීම ඔවුන් පාසල් යෑවීම ආදී බොහෝ කරුණු කාරණා රොත්තක්‌ සමඟ සැමවිටම ජීවිත සටන මෙහෙය වන්නේ ඇසි අක්‌කාය. ඈ වැරහැලි ඇඳගෙන අහලපහල තේ වත්තක තේ දලු නෙළන්නටද යයි.

ඇගේ ස්‌වාමියාගේ නම ධනපාලය. නමින් ධනපාල වුවත් ඔහු කරනා මෙහෙයට සාධාරණ මුදලක්‌ ගම්දොරින් ලැබෙන්නේ නැති නිසා ඔහු සැමදා නිර්ධනය.

ඇසි අක්‌කා එක්‌ දිනක ගමේ ගෙදරකින් කුකුළෙක්‌ සොරකම් කර ගෙදර තියා ගත්තාය. පැය විසිහතරක්‌ යන්න කලින් සිද්ධිය කුකුළා අයිති නිවෙස්‌ හිමියාගේ අතටම අසුවිය.

කුකුළා අයිතිකාරයා දණ්‌ඩ නීති සංග්‍රහයෙන් පිටට තට්‌ටු කර ගත්තේය. වහා ක්‍රියාත්මක වූ ඔහුගේ ගෝල බාලයන් කිහිප දෙනකු සමග ඇසි අක්‌කාට ජීවිතේටම මතක හිටිනා දඬුවමක්‌ දුන්නේය. පොලිසියත් නීතියත්. විනිසුරුකමක්‌ යන සියල්ල අතට ගත් ඔහු ඇසි අක්‌කාගේ කරේ කුකුළා එල්ලා ගිනි පන්දම් කිහිපයක්‌ ද දල්වා පෙරහැරක්‌ යන්නාක්‌ මෙන් පිරිසක්‌ ද කැටුව ගම වටේ රැගෙන ගියේ අහල පහල ඇතැම් මිනිසුන්ගේ හදවත් කකාරවමිනි.

ඇසී ඇසී මමයි....

කුකුළගෙ සොර සැතිරි මමයි

ඇසී ඇසී මමයි

කුකුළගෙ සොර සැතිරි මමයි

ඇයට මෙසේ ගමටම ඇසෙන්නට කියන්නට යෑයි කියා ඇයගේ තට්‌ටම් ප්‍රදේශයට කෝටුවකින් පවා පහර දිදී තේවත්ත, රබර්වත්ත, අරහේන, මේ හේන යන තැන් කරා ඇයට වදදී රැගෙන ගියේ මහපොළොව නුහුලනා වරදක්‌ කළ අයෙකු සේය.

රාත්‍රි අටට පමණ දුන් මේ දඬුවම කුකුළා අයිති මිනිසුන්ට අපූරු ජයක්‌ විය. ඔවුන් නීතිය සියතට ගෙන කළ මේ අධම ම්ලේච්ඡ පහත් නිර්ලඡ්ජිත ක්‍රියාව නිසා හයක්‌ හතරක්‌ නොදත් දරුවන් තිදෙනා එය දරාගත්තේ කෙසේද?

මේ දරු තිදෙනා කන්දක්‌ මුදුනකට වී අම්මාට සිදුවන විපත්තිය බලා සිටියේ මදුරුවෝ තලමින්. මහ කළුවරේය. පසුවදා ඔවුහු පාසල් නොගියහ. මේ අසරණ ඇසි අක්‌කා පසුවදා එළිවන තුරු ගම වටා ඇවිද්දලා තිබුණි ඇය වසර කීපයක්‌ ගෙවල්වල බැලමෙහෙවරකම් කර මියගිය පුවත මා දැන ගත්තේ පසුගිය දාකය. මේ සිදුවීම වූයේ ගාලු පළාතේ එක්‌තරා ගමකය.

අශෝක කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.