රු. 3500 ක දීමනා ඉල්ලා අනුරපුර
පෙර පාසල් පාලිකාවෝ පා ගමනේ

'පළාත් සභා දීමනා ගෙවනවා'
- උතුරුමැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්

පා ගමනේ අවස්‌තාවක්‌

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතූ, නාච්චාදූව, ප්‍රභාත් වනසිංහ

වත්මන් යහපාලන ආණ්‌ඩුව අතුරු අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දෙදහස්‌ හත්සිය පනහක මාසික දීමනාව සහ උතුරු මැද පළාත් සභාව මගින් ගෙවනු ලබන රුපියල් දහසක මාසික දීමනාවේ මාස හයක හිඟ මුදල් ලබා දෙන ලෙසට බලකරමින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පෙර පාසල් පාලිකාවන් සහ සහාය පාලිකාවන් ඊයේ (8 වැනිදා) අනුරාධපුර නගරයේදී උද්ඝෝෂණයක හා විරෝධතා පා ගමනක නිරත වූහ.

සමස්‌ත ලංකා පෙර පාසල් ගුරුවරුන්ගේ සංගමයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ශාඛාව මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සහ විරෝධතා පා ගමනට පන්සියයකට අධික පෙර පාසල් පාලිකාවෝ සහ සහය පාලිකාවෝ පිරිසක්‌ සහභාගි වූහ.

ඊයේ (8 වැනිදා) පෙරවරු 9.30 ට පමණ අනුරාධපුර නගරයේ ඩී. එස්‌. සේනානායක වටරවුමට රැස්‌වී ඔවුන් අනතුරුව විවිධ වැකි සඳහන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උතුරු මැද පළාත් සභාව දක්‌වා පා ගමනින් ගොස්‌ පසුව පළාත් සභාව ඉදිරිපිටදී පැය දෙකකට ආසන්න කාලයක්‌ උද්ඝෝෂණයෙහි නිරත වූහ.

උද්ඝෝෂණය පැවැති අතරවාරයේ දී උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රසිරි බණ්‌ඩාර මහතා පවත්නා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්‌ත ලංකා පෙර පාසල් ගුරුවරුන්ගේ සංගමයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ශාඛාවේ නියෝජිතයන් පස්‌ දෙනකු ප්‍රධාන අමාත්‍යාංශය වෙත කැඳවා පැයකට ආසන්න කාලයක්‌ සාකච්ඡා කිරීමෙන් පසු පළාත් සභාව මගින් ගෙවීමට ඇති හිඟ දීමනා ලබන අගෝස්‌තු මාසයේදී ගෙවීමට එකඟවීමෙන් පසු ඔවුහු සිය විරෝධතාවය නතර කළහ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සමස්‌ත ලංකා පෙර පාසල් ගුරුවරුන්ගේ සංගමයේ සභාපති සුගාන්ද්‍රා මාලනී මහත්මිය පැවසුවේ වත්මන් රජය මගින් පොරොන්දු වූ රුපියල් දෙදහස්‌ හත්සිය පනහක දීමනාව ලබා ගැනීම සඳහා දිවයින පුරාම සිටින පෙර පාසල් ගුරුවරියන් කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.