ඩොලර් මිලියන 1.85ක වාසියකින් සැනසී
ඉන්දීයාව සමග තරගාවලියේ අර්බුදය නිමවෙයි

තරග කාල සටහනත් වෙනස්‌වෙයි


චමිල කරවිට

ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙහි රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධව පැන නැගී තිබූ ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරගනිමින් ඉන්දීය රූපවාහිනී විකාශන සමාගමක්‌ වන එම්. එස්‌. එම්. ඉන්ඩියා ආයතනයට ලබාදීමට වත්මන් අතුරු කමිටුව තීරණය කර තිබේ.

ලබන අගෝස්‌තු මසට යෙදී ඇති අදාළ තරගාවලිය ශ්‍රී ලංකා තරග කාල සටහනෙහි නොතිබූ තරගාවලියක්‌ බැවින් මෙම තරගාවලියේ විකාශන අයිතිය පිරිනැමීම වෙනුවෙන් ලංසු කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කරන ලදී. එහිදී විකාශන අයිතිය ලබාගැනීම සඳහා ලංසු ඉදිරිපත් කරන ලද එකම ආයතනය බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකාවේ වත්මන් විකාශන අයිතිය හිමි ටෙන් ස්‌පෝර්ට්‌ස්‌ ආයතනය පමණක්‌ වන අතර ඔවුන් ඩොලර් මිලියන 1.4 ක්‌ වැනි ඉතාමත් අවම අගයකි.

එවැනි තත්ත්වයක්‌ මත තරගාවලියේ ඇති වටිනාකම සලකා බලමින් ඉදිරිපත් කරන ලද මුදලේ අගය වැඩි කරන ලෙස ක්‍රිකට්‌ අතුරු කමිටු බලධාරීහු ටෙන් ස්‌පෝර්ස්‌ට්‌ ආයතනයට දන්වා යෑව්වද ටෙන් ස්‌පෝර්ට්‌ස්‌ ආයතනයෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාර නොදැක්‌වීම මත මෙලෙස විකල්ප නාළිකාවකට විකාශන අයිතිය ලබාදීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණ.

ඒ අනුව එම්. එස්‌. එම්. ආයතනය විසින් ඉන්දීය තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 3.25ක මුදලක්‌ ලබා දී තිබෙන අතර එය ටෙන් ස්‌පෝර්ට්‌ස්‌ ආයතනය ලබාදීමට සැරසුණු මුදල මෙන් ඩොලර් මිලියන 1.85 ක වැඩි වීමකි. විකාශන අයිතිය පිරිනැමීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් උපයා ගැනීමට බලාපොරොත්තු වූ මුදල ඩොලර් මිලියන 5 ක්‌ වේ.

ඉන්දීය තරගාවලියේ විකාශන අයිතිය එම්. එස්‌. එම්. ඉන්ඩියා ආයතනයට ලබාදීමත් සමග කළින් යොදා තිබූ තරග කාල සටහන වෙනස්‌ කිරීමටද දෙපාර්ශ්වය එකඟ වී තිබේ. නව ගනුදෙනුවත් සමග ලබන අගෝස්‌තු මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු තරගාවලිය දින 6 ක්‌ ඉදිරියට ගෙන හෙවත් අගෝස්‌තු 12 වැනිදා සිට පැවැත්වෙනු ඇත. එමෙන්ම පල්ලකැලේ පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්‌ට්‌ තරගයද කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙන බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්‌තු මස 17 වැනිදා පැවැත්වීම මත තරගාවලියේ ආරම්භය දින 6 කට පෙර සිදු කිරීමටත් අගෝස්‌තු මස අවසානය පල්ලකැලේ ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා ඇතිවන කාලයක්‌ බැවින් එම තරගය කොළඹ පැවැත්වීමටත් ප්‍රධාන කරුණු බවට පත්ව තිබේ.

පල්ලකැලේ තරගය කොළඹට රැගෙන ඒම මත සිය උපන් බිමේදී සමුගැනීමේ ටෙස්‌ට්‌ තරගයට සහභාගිවීමට බලාපොරොත්තුවෙන් පසුවූ සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාරගේ සමුගැනීමේ ටෙස්‌ට්‌ තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගය බවට පත්වනු ඇත.

කෙසේ වෙතත් පළමු ටෙස්‌ට්‌ තරගයට ප්‍රථම තුන්දින පුහුණු තරගයකට කොළඹදී සහභාගිවීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බවද සඳහන් වේ. ඒ අනුව ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්‌ට්‌ තරග 3 හි විකාශනය එම සමාගමේ ජනප්‍රියම නාළිකාවක්‌ වන සෝනි සික්‌ස්‌ නාළිකාව හරහා සිදු කෙරෙනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.