බිරිඳව රට යෑවූ ඒජන්සියේ පිරිසක්‌ මට හොඳටම ගැහුවා
තිදරු පියා අසාධ්‍යව රෝහලේ

සීගිරිය - සරත් එරමිණිගම්මන

විදේශ රැකියාවකට පිටත්ව ගිය සිය බිරිඳ පිළිබඳව තොරතුරු විමසීමට ඇය විදේශගත කළ රැකියා නියෝජිත ආයතනයට කැඳවූ ගලේවෙල මාදිපොල ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුට අමානුෂික ලෙස පහරදීමෙන් බරපතළ තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරු කර යවා තිබේ.

සුසන්ත ප්‍රියලාල් යන අය මෙසේ පහරකෑමට ලක්‌ව ඇත. මොහුට වයස අවුරුදු 10, 5 හා 03 ද දරුවෝ තිදෙනෙක්‌ සිටිති. රැකියා නියෝජිත ආයතනයේ සිව්දෙනෙකු විසින් තමා කාමරයකට දමා පහරදුන් බවත්, බිරිඳ ගැන සෙවීම නවතා දමන ලෙස තර්ජනය කරමින් තමාට පහර දුන් බවත්, පහරදීම නිසා තමන්ගේ දෙකන්වල ඇසීම දුර්වල වී ඇති බවත් එක්‌ කනක කන් අඩිය පුපුරා ඇති බව වෛද්‍යවරුන් පැවසූ බවත් ඊට අදාළ සැත්කමට මහනුවර මහ රෝහලට මාරුකර යෑවීමට නියමිත බව ද හෙතෙම පැවැසීය.

ඉකුත් මැයි මස 11 වැනි දින බිරිඳ විදේශගතවූ බවත් මේ වන තෙක්‌ ඇයට කිසිදු වැටුපක්‌ පවා ගෙවා නොමැති බවත්, කිසිදු ආරක්‍ෂාවක්‌ පවා නොමැතිව සිටින බවත්, රැකියා ඒජන්සිකරු තම බිරිඳගේ දුරකථන අංකයට කතා කර ස්‌වාමිපුරුෂයාගේ කටයුතු නතර නොකළහොත් අතුරුදන් කරන බවට තර්ජනය කර ඇති බවත් ඔහු කියා සිටී.

බිරිඳ විදේශ ගත වූ පසු රැකියා නියෝජිත ආයතනයෙන් රුපියල් 1,95,000 ක මුදලක්‌ දුන් බවත්, පසුව ඉන් රුපියල් 85,000 ක මුදලක්‌ බිරිඳ

රැකියාවට යෑවීම සඳහා ලියවිලිවලට වියදම් වශයෙන් ඉල්ලා ගත් බවත්, එම මුදල ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දීමට ඇති බව නවාස්‌ නමැත්තා පැවසූ බවත් කියා සිටි ඔහු ඒ පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරියට ලිතව දැනුම් දුන් බව ද කියයි. කෙසේ හෝ තම බිරිඳ යළි ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳව ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති නලින් දිල්රුක්‌ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක්‌ ආරම්භ කර ඇති බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.