තෙවැනි එක්‌දින තරගය හෙට
පාකිස්‌තානය පල්ලමට වැටෙද්දී
ශ්‍රී ලංකාව ඉහළ නගින්නට සැරසෙයි


අසේල විතාන

තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරග දෙක අවසානයේදී කරට කර සටනක නියෑලී සිටින ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා තෙවැනි එක්‌දින තරගයට හෙට (19 දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. දිවා රාත්‍රී තරගයක්‌ වන මෙය ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතය.

දඹුල්ලේ පැවැති පළමු එක්‌දින තරගයෙන් පකිස්‌තානය කඩුලු හයක ජයක්‌ ලැබූ අතර පල්ලකැලේ පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක ජයක්‌ ලබමින් තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීම මත හෙට තරගය තරගාවලියේ පෙරමුණ ගැනීමේ සටනක්‌ බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ජයග්‍රහණය පකිස්‌තානුවන්ට නම් අනිවාර්යය සාධකයක්‌ වී තිබෙන්නේ ඔවුන් එක්‌දින ශ්‍රේණියේ එන්න එන්නම පල්ලමට වැටී තිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා සංචාරයේදී පකිස්‌තානුවන්ට අවශ්‍යම ජයග්‍රහණය එක්‌දින තරගාවලිය බව පකිස්‌තාන් පුහුණුකරු වකාර් යුනිස්‌ පැවසීය. ඊට හේතුව වී තිබෙන්නෙ අගෝස්‌තු මස අවසන් වීමට පෙර එක්‌දින ශ්‍රේණියේ පළමු කණ්‌ඩායම් අට අතරට පැමිණීමට ඔවුනට නොහැකි වුවහොත් 2017 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්‌දින තරගාවලිය අහිමි වීමයි. කෙසේ වෙතත් පකිස්‌තානුවන් මේ වන විට ප්‍රසාද ලකුණු 88 ක්‌ ලබා ජාත්‍යන්තර එක්‌දින වර්ගීකරණයේ නව වැනි තැනට පත්ව තිබෙන අතර ලබන මස අවසන් වීමට පෙර එක්‌දින ශ්‍රේණියේ අට වැනි තැන ගැනීමට පකිස්‌තානුවන්ට තිබෙන අවසන් අවස්‌ථාවද මෙය වේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම ජය ගතහොත් එක්‌දින වර්ගීකරණයේ තුන්වැනි තැනට පහසුවෙන්ම පත්වනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 105 ක්‌ ලබා පස්‌වැනි ස්‌ථානයේ පසු වන අතර එහි පෙරමුණේ සිටින සෙසු කණ්‌ඩායම් වන්නේ ඔස්‌ටේ්‍රලියාව (129), ඉන්දියාව (115), නවසීලන්තය සහ (112), දකුණු අප්‍රිකානුව (109) වේ.

පකිස්‌තානයට එක්‌දින ශ්‍රේණියේ අට වැනි ස්‌ථානය දිනා ගැනීමට නම් එක්‌දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීම අනිවාර්ය සාධකයක්‌ බවට පත්ව තිබේ. එසේ නොවුණහොත් පළමු වරට ශූරයන්ගේ කුසලාන එක්‌දින තරගාවලිය ගෙදරටී වී බලා සිටීමට පකිස්‌තානුවන්ට සිදුවේ. ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් පීඩනයේදී හොඳින් පිති ප්‍රහාරයේ යෙදීමට හපන්කමක්‌ දක්‌වන බව පල්ලකැලේ තරගයේදී පෙන්වීම මත ශූරතාව ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමට පකිස්‌තානුවන්ට ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවනු ඇත.

ශ්‍රී ලංකා පන්දු රැකීමන් අදහාගත නොහැකි තරමේ දුර්වලතාවයකට පැමිණ තිබීම ශ්‍රී ලංකා නායකයාගේද කණස්‌සල්ලට හේතු වී තිබේ. ඒ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කළ යුතු බවත් නවක ක්‍රීඩකයන් දැක්‌වූ දක්‍ෂතාවය පිළිබඳ සතුටු විය හැකි බවත් මැතිව්ස්‌ පල්ලකැලේදී පැවසුවේ තෙවැනි සටන ඊටත් වඩා හොඳින් කිරීමට ලක ලැහැස්‌ති වන බව පවසමිනි.

දඹුල්ලේදී තුන්ඉරියව්වෙන්ම දුර්වල වුණත් පල්ලකැලේදී පන්දු රැකීම හැර අනෙක්‌ අන්ත දෙක සාර්ථක වූ බව මැතිව්ස්‌ පැවසුවද සිය උපනායකයා ලකුණු අතර නොසිටීම ඔහුටත් අදහාගත නොහැකි ප්‍රශ්ණයක්‌ බවද මැතිව්ස්‌ පවසයි. ඒ අනුව හෙට තරගයේදී උපනායකය ළහිරු තිරිමාන්නට බොහෝ විට බංකුවේ සිට වැරදි නිවැරදි කර ගැනීමට ඇති ඉඩකඩ වැඩි වී තිබේ. ටෙස්‌ට්‌ තරගාවලියේ සිට ඔහු අසාර්ථක වූ බැවින් තිරිමාන්නගේ ස්‌ථානය තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියංජනට ලබාදීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. ''අපි තිරිමාන්න ගැන තේරීම් කමිටුව සමග කතා කරල තීරණයක්‌ ගන්නවා.'' යනුවෙන් මැතිව්ස්‌ එම ප්‍රශ්නය හමුවේ පිළිතුරු සැපයීය.

හෙට තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග අටෙන් පරාජය වී තිබෙන්නේ එක්‌ තරගයක්‌ පමණි. පකිස්‌තානයටද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය පළපුරුදු ස්‌ථානයක්‌ වී තිබෙන්නේ ඔවුන් එහිදී ක්‍රීඩා කළ තරග 21 කදී ජයග්‍රහණ 11 ක්‌ ලබා තිබීම මතයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග බිමට පැමිණි දා සිට වැඩිම වාර ගණනක්‌ ක්‍රීඩා කර ඇති ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට සහභාගි වන්නේ 99 වැනි එක්‌දින තරගයටයි. ඊට පෙර ශ්‍රී ලංකාව ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී තරග වැදුන අවස්‌ථා 98 දී ජයග්‍රහණ 61 ක්‌ ලබද්දී පරාජය වී තිබෙන්නෙ තරග 30 ක්‌ පමණි. ඒ අනූව ආර්.ප්‍රේමදාසයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව සතු වුවද දිවා රාත්‍රී තරගයක්‌ බැවින් කාසියේ වාසියද වැදගත් සාධකයක්‌ වී තිබේ.

කුසල් පෙරේරා සුපුරුදු පිති ප්‍රහාරයට පැමිණ තිබීම සහ දිනේෂ් චන්දිමාල් පළපුරු ක්‍රීඩකයකු මෙන් පිති ප්‍රහාරයේ යෙදීමට පටන් ගෙන තිබීම මත ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්‌තුව ශක්‌තිමත් වී තිබේ. එහෙත් අංක තුන සහ හතර ස්‌ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවාගේ අඩුව ශ්‍රී ලංකා නායකයාට හිසරදයක්‌ වී තිබේ. තරග දෙකක්‌ අවසානයේ පිතිකරු ලැයිස්‌තුවේ පෙරමුණ ගෙන සිටින දිනේෂ් චන්දිමාල් එහිදී ලකුණු 113 ක්‌ ලබා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.