කළු කාර් එකකින් පැමිණි 4 දෙනකු වෙඩි තැබුවා
යළි දුටුවොත් අඳුරගන්න පුළුවන්
බ්ලූමැන්ඩල් සිද්ධිය ඇසින් දුටු ආර්. බණ්‌ඩාර කියයි

නෝමන් පලිහවඩන සහ ජයසූරිය උඩුකුඹුර

රවි කරුණානායක ඇමැතිවරයාට හිතවත් එජාප පාක්‍ෂිකයන් පිරිසක්‌ බ්ලූමැන්ඩල් පාරේ ඊයේ (31 දා) පත්‍රිකා බෙදාදෙමින් ගමන් ගත් මොහොතේ කළුපාට කාර් එකකින් පැමිණි හතරදෙනකු ඒ දෙසට වෙඩි තැබුවේ යෑයි ඊයේ (31 දා) පෙරවරුවේ බ්ලූමැන්ඩල් හිදී වූ වෙඩි තැබීමේ සිද්ධිය ඇසින් දුටු එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආර්. බණ්‌ඩාර මහතා 'දිවයින' ට කියා සිටියේය. මේ කාර් එකේ පැමිණි හතරදෙනා බිමට බැහැලා  තුවක්‌කුවලින් වෙඩි තිබ්බා.

කලබල වූ පිරිස සීසීකඩ දිව ගියා. කීපදෙනෙක්‌ වෙඩි වැදී තුවාල ලබා වැටී හිටියා.

තුවාලකරුවන් රෝහලට රැගෙන යැම සඳහා මම ලොරියක්‌ නැවැත්තුවා. එම ලොරිය මා නවත්වා ගත්තේ බලහත්කාරයෙන් වගේ.

වෙඩි තියපු හතරදෙනා ඒ මොහොතේම වාහනයෙන් නැඟලා පිටත්ව ගියා.

ඔවුන් මුහුණු ආවරණය කරගෙන හිටියේ නැති හින්දා යළි දුටුවොත් හඳුනාගන්න පුළුවන්.

සිද්ධිය ඇසින් දුටුවේ යෑයි කියන සුජීව දේවප්‍රිය මෙසේ කීවේය.

"අපි රවි මහත්තයත් එක්‌ක රැස්‌වීමක ඉඳලා යන්නයි පාරට බැස්‌සේ. රවි මහත්තයත් අපිත් එක්‌ක ඇවිල්ලා කාරයට ගොඩවෙලා ගියා. එතුමා පිටත් වෙනවාත් එක්‌කම වෙඩි ශබ්දයක්‌ ඇසුණා. එතැන සිටි අය කෑ කෝ ගසමින් හිස්‌ ලූ ලූ අත දුවන්න වුණා. ඒ එක්‌කම මම දැක්‌කා කළු පාට හයිබ්‍රිඩ් කාර් එකක්‌ වේගයෙන් අපිවත් පසු කරගෙන ගියා. තුවාල ලැබූ අය අපි රෝහලට පිටත් කරන්න කටයුතු කළා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.