භීෂණය වපුරා ඡන්දය දිනන්න උත්සාහ කරනවා
එජාපයෙන් නිවේදනයක්‌

යහපත් දේශපාලන සංස්‌කෘතියක්‌ දැකීමට අකමැති පිරිස්‌ භීෂණය වපුරා මැතිවරණය ජයග්‍රහණය කිරීමට දරන උත්සාහයේ ආසන්නතම සිදුවීම කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්‌ඩ ක්‍රියාවෙන් පැහැදිලි වන බවත්, ඇමැති රවි කරුණානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්‌ව සාමකාමීව ගමන් කළ පිරිසකට එල්ල වූ ප්‍රහාරය එක්‌සත් ජාතික පක්‍ෂය තරයේ හෙළා දකින බව එම පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ඊයේ (31 දා) සිදුවූ බ්ලූමැන්ඩල් වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාවේ ශීලාචාර දේශපාලනයක්‌ ඇති කිරීමට දරන උත්සාහය මෙවැනි අශිලාචාර සිදුවීම් තුළින් ආපසු හැරවීමට කිසි විටෙක අපි ඉඩ නොදෙමු. ජනවාරි 08 වැනිදා රට තුළ බිහි කළ යහපාලනය තුළ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්‌ මේ දක්‌වා පවත්වා ගෙන යැමට මැතිවරණ කොමසාරිස්‌වරයාට හැකියාව ලැබිණි. ඒ, රජය පැහැදිලිවම භීෂණයට සහ අවනීතියට ඉඩ නොදීම නිසයි. මෙවැනි බියගුළු තිරශ්චීන ප්‍රහාරයන් තුළින් අප ලැබූ යහපාලන ජය ආපස්‌සට හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කරමු. මෙම සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටිමු.

යහපාලනය සඳහා වූ ජයග්‍රහණය වඩාත් තහවුරු කරලීම ප්‍රාර්ථනා කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී ඝාතනයට ලක්‌ වූ පක්‍ෂයේ ක්‍රියාකාරි සාමාජිකාවගේ අභාවය පිළිබඳ පක්‍ෂයේ සාතිශය සංවේගය, එතුමියගේ පවුලේ උදවියට පිරිනමමු. එමෙන්ම බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර සිටින සියලුම පාක්‍ෂිකයන්ට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරමු. මෙවැනි හුදකලා සිදුවීම්වලින් කම්පනයට පත් නොවී ඉදිරි දින කිහිපය තුළත්, යහපාලන අරමුණු සාක්‍ෂාත් කර ගනිමින් සාමකාමී මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා සියලු දේශපාලන පක්‍ෂවලත්, අපේක්‍ෂකයන්ගේත්, ක්‍රියාකාරී කොටස්‌වලත් සාමූහික අදිටනක්‌ ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව එක්‌සත් ජාතික පක්‍ෂය යළිත් අවධාරණය කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.