අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කර සත්‍ය රටට හෙළිකරන්න
- ශ්‍රීලනිපය පොලිස්‌පතිගෙන් ඉල්ලයි

ලසිත දුමින්ද

බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ සිදුකොට සත්‍ය තොරතුරු වහාම රටට හෙළිකරන ලෙස පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලීමක්‌ කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන්ට කනගාටුව හා ශෝකය ප්‍රකාශ කරන බව ද හෙතෙම ඊයේ (31 වැනිදා) පස්‌වරුවේ කොළඹ පිහිටි ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් පසු රටේ සියයට 80 කට ඡන්ද පොළට ඒමේ සාමකාමී වාතාවරණය ඇති කළේ පසුගිය සන්ධාන රජය බව ද, එබැවින් නිදහස්‌ හා සාධාරණ, සාමකාමී මැතිවරණයක්‌ රටට අවශ්‍ය බව ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය.

එසේම මෙය රවි කරුණානායක මහතාට සහාය දක්‌වන පාතාල කණ්‌ඩායම් දෙකක්‌ අතර ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක්‌ විය හැකි බවට දැනට තොරතුරු ලැබී ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා, කොළඹ පැවති ශ්‍රී ලංකා - පකිස්‌තාන එක්‌දින තරගයේදී ඇති වූ ගැටුම ඊට පෙරහුරුවක්‌ බව ද සඳහන් කළේය.

මහ මැතිවරණයෙන් සන්ධාන රජය ලබන ජයග්‍රහණයට මෙවැනි සිදුවීම් සිදුකර කළු පැල්ලම් ඇති කර ගැනීමට කැමති නැති බව ද, දේශලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැමුන් මෙය එජනිසයට ඇඟිල්ල දිගු කරන්නේ නම් ඒ බංකොලොත් දේශපාලන සමීකරණයක්‌ හදන බොළඳ උත්සාහයක්‌ බව ද හෙතෙම කීවේය.

ඊයේ (31) උදේ සිදුවූ මෙම සිද්ධිය ගැන වහාම සොයා බලා කඩිනමින් ඊට තොරතුරු රටට හෙළිකරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හා පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.