පිටකොටුවේ මිනී බෑගය:
මියගිය කත පුද්ගලයකු සමග පැමිණ දින 7 ක්‌ ලැගුම්හලක ඉඳලා

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - ජයසූරිය උඩුකුඹුර

පිටකොටුව බැස්‌ටියන් මාවත බස්‌ නැවතුම්පළේ ගමන් බෑගයක තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම මියගිය කාන්තාව එක්‌තරා පුද්ගලයකු සමඟ පිටකොටුව හෙට්‌ටිවීදිය ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ දින 7 ක කාලයක්‌ නතර වී සිට ඇතැයි හෙළි වූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා "දිවයින" ට පැවසීය.

මෙම කාන්තාවගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ලැගුම්හල් හිමිකරු එම කාන්තාව සිය ලැගුම්හලට තවත් පුද්ගලයකු සමඟ පැමිණි බවට තොරතුරු ලබා දී තිබේ.

පසුව මෙම පුද්ගලයා ගමන් බෑගයක්‌ රැගෙන යන අයුරු දුටු බව ද පොලිසියට පවසා ඇත. මෙම පුද්ගලයා සමඟ මියගිය කාන්තාව අනියම් ඇසුරක්‌ පවත්වා ඇති බවට සැක කරන්නේ යෑයි පොලිසිය ප්‍රකාශ කරයි.

එම පුද්ගලයා මැගේ ගෙල සිර කර මරා ගමන් බෑගයට දමා රැගෙනවිත් තිබුණේද එසේ නොමැති නම් ඇය ලැගුම්හලේදී හෘදයාබාධයකින් මියගියේද යන්න පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් හෙළිකරගත හැකි යෑයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා මේ වන විට විදේශගතව රැකියාවක්‌ කරන බව ද හෙළිවී ඇත. මියගිය කාන්තාවගේ මවට සිද්ධිය දැනුම් දී ඇති අතර ඇය පැමිණි පසු ඇගෙන් තවදුරටත් කරුණු විමසීමට පොලිසිය අපේක්‍ෂා කරයි.

මියගිය කාන්තාව යාපනේ වඩුක්‌කොඩෙයි පදිංචිව සිටි 34 හැවිරිදි රංගන් කාර්තිකා බව හඳුනාගෙන ඇත.

සැකකරු හඳුනාගැනීමට අසල සවිකර ඇති සී. සී. ටී. වී. දර්ශන උපයෝගී කරගන්නා බව ද පොලිසිය කියයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.