සුපිරි ගණිකා නිවාස දෙකක්‌ වටලයි

පියදාස රණසිංහ

පැලවත්ත හා බත්තරමුල්ල ප්‍රදේශවල ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් කරගෙන ගිය සුපිරි ගණිකා නිවාස දෙකක්‌ පොලිස්‌ උපාය දූතයන් යොදවා සිදු කරනු ලැබූ මෙහෙයුමකදී එම ආයතන පවත්වාගෙන ගිය කළමනාකාරිවරියක හා කළමනාකාරවරයකු ඇතුළු ගණිකා සේවයේ යෙදී සිටි බවට සැකකරන සූරූපී කාන්තාවන් 09 දෙනකු තලංගම පොලිසිය මගින් 29 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්‌ බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරු අනුව උපයා දූතයන් එම ස්‌ථානවලට ඇතුළු වන අවස්‌ථාවේ සමාජයේ ප්‍රභූ පුද්ගලයන් බවට සැලකෙන ඉහළ නිලතල දරන කිහිප දෙනෙක්‌ ගණිකා පහස ලබාගැනීමට පැමිණ සිටි බව පොලිසිය කියයි.

ලියාපදිංචි ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන ලෙසට පවත්වාගෙන ගිය මෙම ස්‌ථානවලට බඳවාගෙන සිටි අවුරුදු 19 සිට 26 දක්‌වා වයස කාන්තාවන් ගණිකා සේවයට යොදවා ගෙන ඇතැයි හෙළි වී තිබේ.

අත්අඩංගුවට පත්වූ කාන්තා පිරිස අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල හා කුලියාපිටිය යන ප්‍රදේශවල සිට පැමිණ මෙසේ ගණිකා වෘත්තියේ යෙදී සිට ඇත.

ගණිකා සේවාව ලබාගැනීමට පැමිණෙන අයගෙන් රුපියල් 5000 සිට 10000 දක්‌වා ගාස්‌තු අය කරමින් මෙම ආයතන පවත්වාගෙන ගොස්‌ ඇතැයි පොලිසියට කොටු වූ එම ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

වැටලීම සිදු කරන ලද අවස්‌ථාවේ එම ස්‌ථානවල ආයුර්වේද සම්භාහන වෛද්‍ය සේවාවක්‌ සිදු කිරීමට අවශ්‍ය කිසිදු වෛද්‍යවරයකු නොසිටි බවද පොලිසිය කියයි.

සැකකාර කණ්‌ඩායම කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තලංගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ජනක පෙරේරා මහතාගේ උපදෙස්‌ හා අධීක්‌ෂණය ඇතිව දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක අමිත් ජයමහ මහතාගේ මෙහෙයවීමෙන් බස්‌නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස්‌ කොස්‌තාපල් සරත් (50562) හා තලංගම පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ජානක (66171), හේමචන්ද්‍ර (83901) ආරියසිංහ (12155) හා කාන්තා පොලිස්‌ කොස්‌තාපල් නයනා (2635) යන නිලධාරී කණ්‌ඩායමක්‌ ඒකාබද්ධව මෙම ආයතන වැටලීමේ මෙහෙයුම් සිදු කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.