කොටි මල්ලිලා රතු මල්ලිලා එක්‌ව ජාතික ආණ්‌ඩු හදන්න සූදානම් වුවත් මා ඊට සූදානම් නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

ගම්පොල - සුරංග දිල්හාන්

එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ කොටි මල්ලිලා හා දකුණේ රතු මල්ලිලා සමග එක්‌ව ජාතික ආණ්‌ඩු පිහිටුවීමට සූදානම් වුවත් තමා ජාතික ආණ්‌ඩු පිහිටුවීමට සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ගම්පොලදී පැවැසීය.

ගම්පොල සන්ධාන ආසන සංවිධායක අනුරාධ ලංකා ජයරත්න මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවක්‌ අමතමින් රාජපක්‌ෂ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ගම්පොල දොළුව නිවසේදී මෙම ජන හමුව සංවිධානය කොට තිබිණි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‌ෂ මහතා.

එක්‌සත් ජාතික පක්‌ෂ නායකයා දැනටම පරාජය පිළි අරන් තියෙන නිසා තමයි ජාතික ආණ්‌ඩු පිහිටුවීමට සූදානම් වන්නේ.

මට තනියම බෑ ඒ නිසා රතු මල්ලිලත් ඕනෑ. කොටි මල්ලිලත් ඕනෑ කියලා තව මෙහෙ ඉන්න මල්ලිලත් ගන්න බලනවා. ඒත් මම දන්නවා මෙහෙ මල්ලිලා යන්න සූදානම් නෑ. එම නිසා මේ ජාතික ආණ්‌ඩු සංකල්පය පරාජයේ සංකේතයකි.

මම දැන් රට වටා ගිහින් තියෙනවා. අපට පැහැදිලිව ආසන 117 ක්‌ ලැබෙනවා. මම ජනාධිපතිවරණ පැරදෙන වෙලාවෙත් ආසන 91 ක්‌ දිනලා තියෙනවා. එම නිසා මෙවර ජයග්‍රහණ අපට ස්‌ථිරයි.

මේ ආණ්‌ඩුව රටේ වැදගත් තීරණ සැලසුම් අමතක කරලා තියෙන්නේ රටේ ආර්ථිකය සැලසුම් කරන්නේ කොහොමද කළමනාකරණය කරන්නේ කොහොමද රටේ අනාගතය සැලසුම් කරන්නේ කොහොමද සංවර්ධනය සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කොහොමද ආදි ලෙස වැදගත් එක වචනයක්‌ කියන්නේ නෑ. මේ ගොල්ලන්ගේ එකම සැලසුම තමයි රාජපක්‌ෂලාට මඩ ගහන එක. අර රතු පැටියත් කරන්නේ ඒක. ටී.වී. චැනල් එකක්‌ දැම්මොත් රතු පැටියයි කොළ පැටියයි එකට එකම වැඩේ මට මඩ ගහන එක.

දින 100 පොරොන්දු ඉටු කර ගන්න බැරි වුණු ආණ්‌ඩුව දැන් කොළපනත් ගහලා මාස 60 ක්‌ කරන්න ලෑස්‌ති වෙලා.

මේ අයට ඒ දීපු දින 100 පොරොන්දු තමයි මාස 60 දී කරන්න වෙන්නේ. මොකද මම මෙතෙක්‌ කල් රටේ සංවර්ධනයට ගත්ත ණය මේ අය මේ මාස 06 ට අරන් තියෙනවා. ඊටත් වැඩි මුදලක්‌, හැබයි ඒ සල්ලිවලින් බෝක්‌කුවක්‌ මේ රටේ හදලා නෑ.

මම අගෝස්‌තු 18 දින මේ රටේ නැවතී තියෙන සංවර්ධනය ආරම්භ කොට නැති වී තිබෙන රැකියා පහළොස්‌ ලක්‌ෂය සතියක්‌ තුළ ලබාදීමට කටයුතු කරනවා.

මගේ එකම බලාපොරොත්තුව රටම වැඩ බිමක්‌ බවට පත්කොට අහිමි වී ගිය රැකියා නැවත ලබාදීමයි.

අද රටේ ආර්ථිකය කඩා හැලිලා. දීපු පොරොන්දු ඉෂ්ට වෙලා නෑ. නමුත් අපි දීපු සියලු පොරොන්දු මේ 18 වැනිදා ඉඳලාම ඉටුකරන්න කටයුතු කරනවා.

හිටපු අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතා -

අද මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා හා එතුමා වටා හිටපු අය හොරු යෑයි ප්‍රකාශ කරමින් ජනතාව තුළ කලකිරීමක්‌ ඇති කරන්න මහා කුමන්ත්‍රණයක්‌ ගෙන යනවා. නමුත් අද වනතුරු කෙස්‌ ගහක තරම්වත් දෙයක්‌ ඔප්පු කරන්න බැරි වුණා.

මම කියන්න කැමතියි මේ ජනතාවගේ ලෙයින් උපන් සල්ලි කිසි දවසක වැරදි විදිහට පාවිච්චි කරන්න ඉඩ දීලා නෑ. මේ ගම්මානවලට රුපියල් දස ලක්‌ෂය බැගින් වැඩ කරන්න දීලා තියෙන්නේ මහින්ද රාජපක්‌ෂ මහතා පමණයි.

මහ හොරා බේරෙන්න කරන දෙයක්‌ තමයි අර මිනිහා හොරා, ඌ හොරා අරයා හොරා මෙයා හොරා කියන එක. බලන කොට මිහිහ තමයි හොරා. අපේ ජනතාව පිළිගන්නෑ රට බේරාගත් මහින්ද රාජපක්‌ෂ මහතා ජනතාවට කිසි දිනක ෙද්‍රdaහී වුණා කියලා.

ගම්පොල ආසන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා - කවුරු කොහොම කීවත් මෙවර මහ මැතිවරණයෙන් පසු විධායක අගමැති ධුරය හොබවන්නේ මහින්ද රාජපක්‌ෂ මහතායි. එයට හේතුව තමයි අපි කණ්‌ඩායමක්‌ ලෙස රටම දිනවන්න මේ වන විටත් කටයුතු කර තිබීම.

අද රටට අවශ්‍ය ශක්‌තිමත් නායකත්වයක්‌ පමණයි. නොයෙක්‌ දේ කියලා මේ රට නොමග යවන ඒ බලවේග සියල්ල පරාජය කරන්නනම් රටට ශක්‌තිමත් නායකත්වයක්‌ අවශ්‍යමයි.

ආසන 113 ට එහා ගිය බලයක්‌ අපි ලබා ගන්නවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත ඇතුළු විශාල පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.