ලක්‍ෂ 58 ක ජනතාව යළි යළිත් සිතා බැලිය යුතුයි
රාජපක්‍ෂ පවුලේ අනාගතය ගැන සිතූ මහින්ද යළි කුරුණෑගලින් කරළියට ආවා
එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කඩවතදී කියයි

කඩවත - කරුණාදාස ජයකොඩිආරච්චි සමඟ වැලිවේරියේ ධම්මික නිමලසූරිය

පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ගේ පවුලේ අනාගතය ගැන සිතා නැවත වරක්‌ කුරුණෑගලින් දේශපාලන කරළියට ආ බවත් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලක්‍ෂ 58 ක්‌ ඡන්දය දුන් ජනතාව නැවත වරක්‌ රාජපක්‍ෂ පවුලේ අනාගතය වෙනුවෙන් මොහුට ඡන්දය දෙනවාද නැත්නම් තමන්ගේත් තම දරුවන්ගේත් අනාගතය ගැන සිතා බලා තීරණයක්‌ ගන්නවා දැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩවත නගර මධ්‍යයේ පැවැති රැලියකදී ප්‍රශ්න කළේය.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මැතිවරණ බල ප්‍රදේශයේ එ. ජා. ප අපේක්‌ෂකයන්ට සහයෝගය ලබා ගැනීම පිණිස මහර එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක ප්‍රිශාන්ත ජයකොඩි මහතා විසින් මෙම ජනරැලිය සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍යවරයා,

එතුමාගේ අනාගතයට කුමක්‌ වෙයිද? තමන්ගේ අනාගතයට කුමක්‌ වෙයිද? මේව ගැන හිතල තමයි තීරණයක්‌ ගන්න තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂගෙ අනාගතය ගැන මට බලාගන්න බෑ. හිටපු ජනාධිපති හැටියට ජීවත් වෙන්න එතුමට පහසුකම් ඔක්‌කොම තිබෙනවා. ඒත් මට එකක්‌ කියන්න පිළිවන්. එදා රාජපක්‍ෂ රෙජීමය වෙනුවෙන් ඡන්දය දුන්න ලක්‍ෂ 58 ක අනාගතය මම භාර ගන්නා බව කියන්න කැමැතියි.

මේ රටේ තෙල් මිල අඩුකරන්න, පඩි වැඩි කරන්න පුළුවන් වුණා. ජනපතිගෙ බලතල සීමා කළා. යහපාලනය ඇති කළා. ඡන්දය හරිම සාමකාමීයි. හරිම නිශ්ශබ්දයි. හරිම නීති ගරුකයි. ඒ නිසා මම කියන්නෙ එයාටත් අනාගතයක්‌ තියෙනවා. රටටත් අනාගතයක්‌ තියෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂයේ අපිට 17 වැනිදා ඡන්දෙ දෙන්න. මේ හැම එක්‌කෙනකුටම වගේ අපේ යුතුකම ඒ අයට පොදු ආදායම් හදලා දෙන්න. ඒ අයගෙ දරුවන්ට අධ්‍යාපනයක්‌ ලබල දෙන්නත් අපි කැප වෙනවා. අන්න ඒකයි මම අද ඔබ සියලු දෙනාටම කියන්නෙ.

අපි දවස්‌ 100 කින් යහපාලනයක්‌ ඇති කළා. කවුරුත් හිතුවෙ නෑ. ඒක කරන්න පුළුවන් කියලා. ඒ විතරක්‌ නොවෙයි. ඔබේ අනාගතය තහවුරු කරන්න අලුත් රටක්‌ දෙන්න. අපිට වැඩිකල් යන එකක්‌ නොවෙයි. මාස 60 කින් අලුත් රටක්‌ හැදීමේ පංච විධ ක්‍රියාවලිය අපේ මැතිවරණ ප්‍රකාශනයේ කියනවා. අපි අලුතින් මැතිවරණ ප්‍රකාශ දීලා පොරොන්දු දෙන්න ඕන නෑ. අපි දවස්‌ 100 වැඩ පටන් ගෙන ක්‍රියාත්මක කළා. ඔබේ අනාගතයට බලපාන ප්‍රධාන කරුණු 5 ක්‌ එහි තියෙනවා. එකක්‌ තමයි ඔබේ ආර්ථිකය. දෙවැන්න යටිතල පහසුකම් හා සුබසාධනය, තුන්වැන්න ජීවත් වෙන්න දූෂණයෙන් තොර සමාජය. හතර තමයි ඔබේ නිදහස තහවුරු කිරීම, පස්‌වැන්න ඔබේත්, ඔබ දරුවාගේත් අධ්‍යාපනය තහුවරු කිරීම. අන්න ඒ වැඩසටහන තමයි අපි මෙතනට ගෙනල්ල තියෙන්නේ. ඊළඟ දවස්‌ කීපයේදී ගෙවල්වලට ඇවිත් අපි ඒ ගැන කතා කරනවා.

මේකෙ ප්‍රධානම කාරණය තමයි ඒ අවුරුදු පහේදී රැකියා ලක්‍ෂ 10 ක්‌ බිහිකරන වැඩසටහන. අපිට අලුත් ආදායම් ලැබෙනවා විතරක්‌ නොවෙයි වැඩ කරන අයගෙ ආදායමත් වැඩි වෙනවා. රැකියා වෙළෙඳපළ වැඩි වෙන්න වැඩි වෙන්න පඩි වැඩි වෙනවා. අන්න ඒ ටික කරනව කියල මේ අවස්‌ථාවෙ කියන්න කැමැතියි.

රැකියා ලක්‍ෂ 10 ක්‌ දෙන්න විදේශ ආයෝජන අවශ්‍යයි. විදේශ ආයෝජන මෙහාට ගේන්න ඕනෑ. තායිලන්තෙ, මැලේසියාව, සිංගප්පූරුව, ජපානය, ඉන්දුනීසියාව කළා වගේ, විදේශ ආයෝජන ලබා ගෙන කර්මාන්තශාලා, හෝටල් ඇති වෙන්නෙ ඒ විශ්වාසය ඇති කරන්න ඕන. අන්න ඒ දියුණුව තමයි ඉදිරියට ගෙන යන්නෙ.

දැනටමත් මේ දින 100 දී වොක්‌ස්‌වැගන් සමාගම, රැකියා පුහුණු කෙරෙන මධ්‍යස්‌ථාන සහ කර්මාන්තශාලා කුලියාපිටිය ප්‍රදේශයේ සැලසුම් කර තිබෙනවා.

චීන වරායෙත් තෙල් පිරිපහදුවක්‌ හදන්න. චම්පික ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

අගෝස්‌තු 17 දා බහුතරයක්‌ අපට ලබා දෙන්න මේ වසර අවසන් වෙන්න පෙර විදේශ ආයෝජකයන් 100 ක්‌ වත් මේ රටට ගෙන්වා ගන්නවා.

අපි එදා බියගම ආයෝජන කලාප 2 ක්‌ ඇතිකර මහ කොළඹ ආර්ථික කොමිසම ඇති කළා. එදා වත්තලත්, සපුගස්‌කන්දෙත් ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200 ක්‌ ඇති කළා.

ආර්ථික සංවර්ධන අධි කලාප ඇති කරනවා. මෙවර ආයෝජන කලාප 4 ක්‌ 5ක්‌ ඇති කරන්න සැලසුම් කර තිබෙනවා. එක කලාපයක කර්මාන්තශාලා 500 ක්‌ 1000 ක්‌ ඇත sකරනවා.

බියගම වෙළෙඳ කලාපය 3 වැනි අදියර දොම්පෙ ඇති කරනවා. ඒ එක්‌කම කුලියාපිටිය කටුගම්පළ දඹදෙණිය, දිවුලපිටිය ඇතුළත් ආර්ථික සංවර්ධන අධි කලාප ඇති කරනවා. ගම්පහ දිස්‌ත්‍රික්‌කයම එකම නගරයක්‌ කරනවා. ශැංහයි බෙයිජින්, බැංකොක්‌, ක්‌වාලාලම්පූර් නුවර, සිංගප්පූරුව, ජකර්තා, මේ රටවල් දියුණු වුණේ මේ විශාල නගර ඒකාබද්ධවයි.

බස්‌නාහිර පළාතම එකම නගරයක්‌ කරනවා. ගම්පහ සහ ජාඇල විශාල නගර බවට පත්වෙනවා. 1978 දී කඩවත නගරය දියුණු කරන්න කාටවත් බෑ කිව්වා. අපි කඩවත දියුණු කළා. බයිපාස්‌ පාර පමණක්‌ මහින්ද මහතා හැදුවා. මධ්‍යම අධිවේගී මාර්ගය නුවර සිට දඹුල්ල දක්‌වා මාර්ගය අගෝස්‌තු 03 දා කඩවතින් ආරම්භ කරනවා.

ගනේමුල්ලට ගුවන් පාලමක්‌, මේ අවුරුද්දේ ආරම්භ කරනවා. මේ සංවර්ධන කටයුතු නිසා ඉඩම්වල වටිනාකම වැඩි වෙනවා. බස්‌නාහිර පළාත මෙගා පුරයක්‌ බවට පත්කරලා ඉන්දියන් සාගරයේ තිබෙන විශාලම නගරය බවට පත්කරනවා.

මේ සියල්ල කරන්න අපිට බහුතරය අවශ්‍යයි. 2015 අපේ රට දියුණු කරන්න පරණ අයත් අලුත් පරපුරත් එකතුවෙලා බහුතරයකින් ගම්පහ දිනවන්න කියලා මම කියනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.