තනිව ජයග්‍රහණය කළ නොහැකි නිසා
පක්‍ෂ ව්‍යවස්‌ථාවත් වෙනස්‌ කළ රනිල් වෙනත් අය සමඟ සන්ධාන ගත වුණා
එක්‌සත් පුරවැසි පෙරමුණේ නායක තිස්‌ස අත්තනායක

චමින්ද සිල්වා

එක්‌සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තනිවම පක්‍ෂය දිනවීමට නොහැකි නිසා පක්‍ෂ ව්‍යවස්‌ථාවද වෙනස්‌ කර වෙනත් පක්‍ෂවල පිරිස්‌ එකතු කරගෙන ඇතැයි එක්‌සත් පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස්‌ ප්‍රකාශ කළේ කොළඹ පැවැති පක්‍ෂයේ මංගල මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව වෙනත් පක්‍ෂයක්‌ සමඟ සන්ධාන ගතවීමේදී එම පක්‍ෂයට මැතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ හැකි නමුත් ජාතික ලැයිස්‌තුව සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ පිරිස්‌ පමණක්‌ ඇතුළත් කර තිබුණා.

නමුත් මෙවර එක්‌සත් ජාතික පක්‍ෂය සන්ධාන ගතවීමේදී පක්‍ෂ ව්‍යවස්‌ථාව උල්ලංඝණය කරමින් ජාතික හෙළ උරුමයේ පක්‍ෂයේ පුජ්‍ය අතුරලියේ රතනහිමියන් ජාතික ලැයිස්‌තුවට ඇතුළත් කරගෙන තිබෙනවා. මෙය පාක්‌ෂිකයන්ට කළ අතුල්පහරක්‌ වෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට තනියම දිනන්න බැරි නිසා චම්පික රණවක, රාජිත සේනාරත්න යන මහත්වරුනුත් එකතු කරගෙන.

එක්‌සත් ජාතික පක්‍ෂය බිහිකර ගැනීමේදී ගොවි, කම්කරු, ධීවර ජනතාව ගැන සිතා ඇති කළ පක්‍ෂයක්‌. පසුගිය විසිවසර පුරා අපේ ජනතාව නොයෙක්‌ දුක්‌ගැහැට දේශපාලන පළිගැනීම්වලට ලක්‌වුණා. නමුත් අද පක්‍ෂ නායකත්වය එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් අමතක කර රාජකීය රෙජීමයක්‌ යටතට පක්‍ෂය පත්කරලා තියෙනවා.

අද ගමේ කොඩිවැල් ඇදපු මනුස්‌සයට තැනක්‌ නැහැ. පක්‍ෂයේ උගත් අයට තැනක්‌ නැහැ. මහ බැංකුව සඳහා පළමු වතාවට සිංගප්පූරු පුරවැසියෙක්‌ පත් කළා. වරාය අධිකාරිය ඇතුළු තවත් ආයතන රැසකට පාක්‌ෂිකයන් වෙනුවට රාජකීය රෙජිමේන්තුවේ අය පත්කරලා.

2001 මේ දේම කරපු නිසා තමයි එදා එජාප ආණ්‌ඩුවට ගෙදර යන්න වුණේ. දේශපාලන පළිගැනීමට ලක්‌වූවන් 30,000 ක ගේ ලැයිස්‌තුවක්‌ අපි එදා සකස්‌ කළා. අද එහෙම වැඩපිළිවෙලවල් පක්‍ෂය තුළ නැහැ.

යහපාලන පුරාඡේරුව කථා කළාට මහ බැංකු අක්‍රමිකතාව කෝටි 6000 ත් පැනලා. එදා මහවැලිය හදන්න ගිය මුදලටත් වඩා වැඩි මුදලක්‌ රටට සිදුවෙලා. සාධාරණ සමාජයක්‌ හදන්න ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගත්ත අය මාස හයට රට කෝටි 68000 ක ණයකාරයෙක්‌ බවට පත්කරලා තියෙනවා.

මහ බැංකු අක්‍රමිකතාව කෝප් කමිටුව රටට හෙළි කරන්න හදනකොට ආණ්‌ඩුව විසුරුවලා දැම්මා. ඒ මදිවට වාරණ නියෝගයකුත් ගත්තා. මේ කරන්නෙ රටේ ජනතාවට සත්‍ය හෙළිවෙන එක නවත්වන්නයි. බැඳුම්කර අක්‍රමිකතාව සිදු කළේ මහමැතිවරණයට වියදම් කරන්න මුදල් සොයාගන්නයි.

අපේ රටට තිබුණේ එල්. ටී. ටී. ඊ. තර්ජනය පමණයි. දැන් අයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනයත් රටට එල්ල වෙලා. මේක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌. එදා එල්ටීටීඊ එකත් එක්‌ක ගිවිසුමක්‌ තියෙනවා කිව්වාම මාව හිරේ දැම්මා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා වන සම්බන්ධන් මහත්තය කියලා තියෙනවා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යටතේ ස්‌වයං පාලනය ලබාදෙන්න එකඟවෙලා ඉන්නෙ කියලා.

මෙවර මහ මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී ආසන 115 ක්‌ දිනා ගන්නවා. ඒ සඳහා දිස්‌ත්‍රික්‌ක 14 ක ජය ඔවුන්ට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරාජය වුවත් දිස්‌ත්‍රික්‌ 10 ක්‌ දිනලා තිබුණා. මෙවර එම දහය සමග ගම්පහ, බදුල්ල, පුත්තලම, සහ පොලොන්නරුව සමඟ දිස්‌ත්‍රික්‌ක 14 ක්‌ම දිනනවා.

2005 වන විට එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්ද ලක්‍ෂ 47 ක්‌ තිබ්බා. අද පක්‍ෂය පිරිහිලා. පක්‍ෂයේ නායකයාට මැතිවරණවලට ඉදිරිපත් වෙලා ජයගන්න බැහැ. ඒකයි මැතිවරණවලට පොදු අපේක්‍ෂකයො හෙව්වේ. ජනාධිපතිවරණ දෙකට ඉදිරිපත් වෙන්නෙ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් පොදු අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කළේ. මේ ගැන පාක්‌ෂිකයන් සිතා බලන්න ඕන.

අද එක්‌සත් ජාතික පක්‍ෂයට ජයගන්න බැරි බව දන්න නිසයි ජාතික ආණ්‌ඩු ගැන කතා කරන්නේ. එහෙම නායකයන් සමඟ පක්‍ෂයට පැවැත්මක්‌ නැතිවෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.