ඩුබායි සිට හොරෙන් ගෙන්වූ කෝටි 10 ක සිගරැට්‌ අත්අඩංගුවට

ලසිත දුමින්ද - ප්‍රභාත් විතාන

රජයට බදු මුදල් අහිමි කරමින් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාමකින් යුත් සිගරට්‌ තොගයක්‌ පෙරේදා (31 වැනිදා) මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ ගබඩාවක තිබී සුරාබදු විශේෂ අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ගබඩාවේ තිබූ සිගරට්‌ ලක්‍ෂ 32 කට අධික ප්‍රමාණයක්‌ සමග ප්‍රධාන ජාවාරම්කරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි 8 ක බදු මුදල් රජයට අහිමි කරමින් ඩුබායි සිට මෙම සිගරට්‌ තොගය ගෙන්වා ඇතැයි හෙළි වී ඇත.

සුඛෝපභෝගී වාහනවල හා නිවාසයක හිමිකරු වන සැකකරු මෙම ජාවාරම කාලයක්‌ තිස්‌සේ කරගෙන ගොස්‌ ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සුරාබදු නිලධාරීන් සති තුනක්‌ තිස්‌සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු සමග සිගරට්‌ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්කොළ බදු පනතට අනුව සුරාබදු කොමසාරිස්‌ ජනරාල් එල් කේ. ජී. ගුණවර්ධන මහතාට පැවරී ඇති බලතල අනුව සැකකරුට එරෙහිව රුපියල් ලක්‍ෂ 20 ක දඩ ඊයේ (31 දා) නියම කර ඇත.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්‌ (අපරාධ) ෙ-. පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.