රට හැදීමේ ප්‍රතිපත්තියක්‌, ඉලක්‌කයක්‌ ඇති එකම පක්‍ෂය ජනතා විමුක්‌ති පෙරමුණයි
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

සිරිල් විමලසුරේන්ද්‍ර

රටක්‌ හදන්න නම් පක්‍ෂයකට ඉලක්‌කයක්‌, ප්‍රතිපත්තියක්‌ තිබෙන්ට ඕනෑ. රට හදන බව කියන ඔය පක්‍ෂවලට ඒක නැහැ. රට හදන්න ඉලක්‌කයක්‌ හා ප්‍රතිපත්තියක්‌ තිබෙන්නේ ජනතා විමුක්‌ති පෙරමුණට පමණකැයි ජනතා විමුක්‌ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මහනුවර ජන රැලියකදී ඉකුත් 30 වැනිදා පැවසීය.

රට හදලා රැකියා සොයාගෙන දේශපාලකයන් පස්‌සෙ යන්නෙ නැතිව සතුටින් ඉන්න ජනතාවක්‌ සිටින රටක්‌ බවට ජනතා විමුක්‌ති පෙරමුණ ලංකාව ගොඩනඟනවා යෑයි ද ජනතා විමුක්‌ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරි මැතිවරණයේදී මහනුවර දිස්‌ත්‍රික්‌කයට තරග වදින ජවිපෙ අපේක්‍ෂකයන්ට ආධාර පිණිස මෙම රැලිය මහනුවර වෙළෙඳපොළ භූමියේදී පැවැත්විණි.

වංචාකාරයන්, දූෂිතයන් එලවා දැමීමට ප්‍රධාන පක්‍ෂ දෙකම සූදානම් නැතැයි පැවසූ අනුර කුමාර දිසානායක මහතා මහ බැංකුවේ සිදු වී තිබෙන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපති ඉවත් කරන්නට කියා ජනාධිපතිවරයා කීවත් ඔහු ඉවත් කිරීමට අගමැතිවරයා විසින් පියවර ගත්තේ නැතැයි කීවේය.

එකම කණ්‌ඩායමක්‌ දෙකට බෙදිලා රට පාලනය කරන බව පැවසූ ජවිපෙ නායක මැති ඇමැතිවරු එහාට පනිනවා. මෙහාට පනිනවා. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක පක්‍ෂය විකුණන කොන්ත්‍රාත්කාරයකු බව ද පැවසීය.

මේ පැනිලිවල හැටියට තව ටික දවසක්‌ ගියාම එස්‌. බී. දිසානායකත් පනිනු ඇතැයි අනුර කුමාර දිසානායක මහතා කීවේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා, පක්‍ෂ දෙකක්‌ මාරුවෙන් මාරුවට රට පාලනය කළා. සල්ලි දීලා බලය ලබාගත්තා. අවුරුදු 67 ක්‌ම කළේ ඒකයි. ජනතාව ඒකට පුරුදු වුණා. පරම්පරාවෙන් පරම්පරාවට අලියට ඡන්දය දුන්නෙ. අපි බණ්‌ඩාරනායක මහතාගේ පක්‍ෂය කියා පරම්පරාවට ඡන්දය දුන්නා. සුදුසුකම් බලන්නේ නැහැ. දක්‍ෂකම් බලන්නේ නෑ. තමන්ගේ පක්‍ෂයේ කියලා ඡන්දය දෙනවා. සමහරුන්ට සාමාන්‍ය පෙළවත් නෑ. උසස්‌ අධ්‍යාපනය බාර දෙනවා. උසස්‌ අධ්‍යාපනය තියා හරක්‌ පට්‌ටියක්‌වත් ඔවුන්ට බලාගන්න බැහැ. අබ්දුල් කාදර්ලා, හකීම්ලා මොනවද මේ කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා වයස අවුරුදු 25 සිට මන්ත්‍රීවරයකුගේ පටන් ජනාධිපති දක්‌වා කටයුතු කළා. දැන් මන්ත්‍රීවරයකු වෙන්න කටයුතු කරනවා. මහින්ද රාජපක්‍ෂ මහතා මට නඩු දානකම් මම බලාගෙන සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට 2001 දී බලය ලබාදුන්නා. බලයට පත්වුණු හැටියේම රාජ්‍ය සංස්‌ථා පෞද්ගලික අංශයට දුන්නා. සංස්‌ථා කැබලිවලට කැඩුවා. ලාබ ලබන සංස්‌ථා පෞද්ගලික අංශයට දුන්නා. තෙල් සංස්‌ථාවට අයත් දේපළ ඉන්දියාවට දුන්නා. තෙල් බෙදන ස්‌ථාන 107 ක්‌ ඉන්දියා තෙල් සමාගමට දුන්නා. ඉතා සුළු මුදලකට රාජ්‍ය ආයතන වික්‌කා. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව වික්‌කා. ලංකා බැංකුව විකුණන්ට සූදානම් වුණා. එතැනින් ගියාම කවුරුවත් ඒක ගන්න සූදානම් වුණේ නැහැ.

මේ දේශපාලන පක්‍ෂ හා ඒවායේ නායකයන්ගේ ක්‍රියාකාරකම් ගැන බැලුවම ජනතාවට ඡන්දය දීමට සුදුසු එකම පක්‍ෂය ජනතා විමුක්‌ති පෙරමුණ පමණයි.

ගම්පොල අම්බුළුවාව කන්දට රජයේ මුදල් කෝටි 10 ක්‌ වැය කළා. දැන් අම්බුළුවාව දි. මු. ජයරත්න මහතාගේ යාවජීව අයිතියට පත්වෙලා. පියාගෙන් පසුව පුතාට අයිතිය පැවරෙනවා. මේවා නතර විය යුතුයි. නැතිනම් නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඡන්දයට ඉදිරිපත් වෙන පෙරමුණු තුනෙන් කුමන පෙරමුණකට ඡන්දය දිය යුතුද කියා තීරණය කළ යුතුයි. හොරුන් ආරක්‍ෂා කරන පෙරමුණුවලට ඡන්දය දෙනවද? රටේ දේපළ විකුණන විනාශ කරන පෙරමුණුවලට ඡන්දය දෙනවාද? එසේ නැත්නම් රට හදන, රට හදන ප්‍රතිපත්තියක්‌, වැඩපිළිවෙළක්‌ තිබෙන පෙරමුණකට ඡන්දය දෙනවාද කියා තීරණය කළ යුතුයි.

බලය ලබා දෙන්ට ඕනෑ රටක්‌ හදන්ට පුළුවන් පක්‍ෂයකට අලුත් පක්‍ෂයකට බලය දෙන්ට ඕනෑ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට හැකි ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය දියුණු කරන්ට හැකි පක්‍ෂයකට බලය ලබා දෙන්ට ඕනෑ. රටේ නිෂ්පාදනය ඉහළ නංවන්ට ඕනෑ. නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කරන්ට ඕන. ලෝක වෙළෙඳපොළ ජයගන්ට ඕනෑ. ලෝක වෙළෙඳපොළට භාණ්‌ඩ යවන නිෂ්පාදනයක්‌ රට තුළ තිබෙන්ට ඕනෑ. ඒ සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරනවා.

ද්‍රවිඩ, මුස්‌ලිම් ජන කොටස්‌ රට ගැන හිතන්ට ඕනෑ. රට ගොඩනගන්ට ඉදිරිපත් වෙන්ට ඕනෑ. ඡන්ද බ්‍රොaකර්වරුන්ට මුස්‌ලිම් ජනතාව රැවටෙන්න එපා. ජාතිවාදය ඇවිස්‌සීම ඇතිවුණේ උතුරේ සිදුකළ ඇතැම් ක්‍රියාවන් නිසයි. ඒවාට ඒ කාලයේ සිටි ඇතැම් දේශපාලකයන් වගකිව යුතුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අදහස්‌ දක්‌වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩි පිරිසක්‌ මෙවර ඡන්දය දෙන්නේ ජනතා විමුක්‌ති පෙරමුණට බව පැවසීය. චාර්ල්ස්‌ දයානන්ද, ඇන්තනි ජීවා, ලලිත් රාජපක්‍ෂ, ජානක හේරත්, දීපානි සිල්වා යන මහත්ම මහත්මීහු ද කතා කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.