වැඩි වෙනසක්‌ නැතිවම ශ්‍රී ලංකාව ජයග්‍රහණය සොයයි
දෙවැනි විස්‌සයි විස්‌ස තරගය අද

අසේල විතාන

ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලි දෙකේම ජයග්‍රහණය උදුරා ගෙන සිටින පාකිස්‌තානුවන් විස්‌සයි විස්‌ස තරගාවලියද ජය ගැනීමේ අවසන් සටනට අද (01 දා) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හමුවෙයි. තරගය ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය.

පෙරේදා පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් ලකුණු 29 ක ජයක්‌ ලැබීමට පාකිස්‌තානය සමත්වීමත් සමග තරගාවලිය සම කිරීමේ දැඩි මානසික පීඩනය කරමත තබාගෙන ලසිත් මාලිංගගේ විස්‌සයි විස්‌ස පිල අද සටනට අවතීර්ණ වේ.

අද තරගයේදී ලොකු වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා නායකයා වැඩි කැමැත්තක්‌ නොදක්‌වන බව පැවසුවද නුවන් කුලසේකරට තණතීරුවේ තත්ත්වය අනුව යම් හෙයකින් කණ්‌ඩායමට පැමිණිමේ අවස්‌ථාවක්‌ ඇති බවද මාලිංග පවසයි.

''මම කියන්නෙ එක්‌ තරගයක්‌ පැරදුනා කියලා කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ව අයින් කරන එක හරි නැහැ. මම ක්‍රිකට්‌ පටන් ගත්ත කාලෙත් මට තරගයක්‌ දෙකක්‌ දීලා අයින් කරානම් මම අද මෙතන නැහැ. ඒ නිසා ඒ අයට තව අවස්‌ථාව දෙන්න ඕන. අපි නුවන් කුලසේකරව එළියෙන් තියල ඒ වෙනුවට බිනුර ප්‍රනාන්දුට අවස්‌ථාව දුන්නා. ඔහු හොඳින් පන්දු යෑව්වා. ඉතින් අපි බලනවා තණතීරුවේ තත්ත්වය අනූව කුලසේකරවත් කණ්‌ඩායමට ගේන්න.''

පළමු විස්‌සයි විස්‌ස තරගයකට ක්‍රීඩා කළ බිනුර ප්‍රනාන්දු යෑවූ පළමු පන්දුවාර දෙකේදී ලකුණු 10 ක්‌ පමණක්‌ ලබා දුන්නද ඔහුගේ තෙවැනි පන්දුවාරයේදී ලකුණු 17 ක්‌ සහ සිව්වැනි පන්දුවාරයේදී ලකුණු 11 ක්‌ ලබා ගැනීමට පාකිස්‌තාන් පිතිකරුවන් සමත් වීම හේතුවෙන් ඔහුගේ පන්දුවාර හතර ලකුණු 38 කට එක්‌ කඩුල්ලක්‌ ලෙස සටහන් විය.

ජයග්‍රහණයට අවශ්‍ය ප්‍රහාරාත්මක වේගය මුල සිටම වරද්දාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මිලින්ද සිරිවර්ධන (35) සහ චාමර කපුගෙදර (31) දෙදෙනා පමණක්‌ යුතුකම ඉටු කරමින් පන්දු 34 කදී ලකුණු 66 ක්‌ ලබා දුන්නද සෙසු පිතිකරුවන් හය දෙනාට පන්දු 86 කදී ලබා ගත හැකි වූයේ ලකුණු 75 ක්‌ පමණක්‌ වීම ශ්‍රී ලංකා පරාජයේ ප්‍රධාන සාධකය බවට පත්විය.

අද තරගය සඳහා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට හැකි තණතීරුවක්‌ නිර්මාණය කරන බව ප්‍රේමදාස තණතීරුවේ කාර්ය මණ්‌ඩලයෙන් කළ විමසීමකදී අනාවරණය විය. එහිදී කාසියේ වාසිය කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා පළමුව පන්දුවට පහරදෙන කණ්‌ඩායම ලකුණු 175 කඩඉම පසුකිරීම නම් අනිවාර්ය සාධකයක්‌ බව පැහැදිලිය.

ශ්‍රී ලංකා සහ පාකිස්‌තාන් කණ්‌ඩායම් ඊයේ සම්පූර්ණ පුහුණු සැසිවලට සහභාගි නොවුණද තරගය සඳහා අවශ්‍ය වෙනත් කරුණු කෙරෙහි පමණක්‌ අවධානය යොමු කළේය. කෙසේ වෙතත් පාකිස්‌තාන් පුහුණුකරු වකාර් යුනිස්‌ පවසන්නේ ශ්‍රී ලංකාවේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලිය දෙකම තම පිල ජය ගත් හෙයින් විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ කෙසේ හෝ ජය ගෙන සමස්‌ත තරගාවලියේම ශූරයන් ලෙස සංචාරය අවසන් කිරීමට උත්සහ කරන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.