'ජයසූරියගේ විවේචනවලට මම ගරු කරනවා'
ලෝක කුසලානටත් චන්දිමාල් සහ තිරිමාන්න
හිටියිද කියන්න බැහැ
- ලසිත් මාලිංග

අසේල විතාන

සනත් ජයසූරිය විදෙස්‌ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්යෙන් තමාට කීමට ඇත්තේ ඔහුගේ ඒ අදහස්‌ වලට ගරු කිරීම සහ නව තේරීම් කමිටුව සමග සුහදව වැඩකරන බවත් පමණක්‌ යෑයි ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස නායක ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ඉවත් කළේ ලසිත් මාලිංගගේ දැඩි තීරණයක්‌ මත යෑයි සනත් ජයසූරිය විදෙස්‌ මාධ්‍ය ආයතනයක්‌ සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයට තමාගේ පිළිතුරු කුමක්‌දැයි මාලිංගගෙන් විමසන ලදුව,

''මම දැන් අවුරුදු දහයක්‌ තිස්‌සෙ ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරනවා. ඒ කාලයේදී මම විවිධ තේරීම් කමිටු සභාපතිවරුන් සහ සාමාජිකයන් සමග වැඩ කරල තියෙනවා. ඒ හැම කෙනෙක්‌ගෙම අදහස්‌ එක වගේ නැහැ. ඔහුට හිතෙන දේ ප්‍රකාශ කරන්න ඇති. මට කියන්න තියෙන්නෙ ඒ ප්‍රකාශයට මම ගරු කරන බව පමණයි. නමුත් චන්දිමාල් සහ තිරිමාන්න කියන්නෙ අපිත් එක්‌ක 2010 ඉදල එකට කණ්‌ඩායමේ හිටපු දෙදෙනෙක්‌. ඔවුන් දෙදෙනාව අයින් කළේ නවක ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා ගැන බලන්න. මොකද තිරිමාන්න සහ චන්දිමාල්ගෙ දක්‍ෂතා මොනවද කියල අපි හොඳට දන්නවා. ලෝක කුසලානයට ඉස්‌සල්ල තියෙන්නෙ තරග 10 ක්‌ පමණයි. ඉතින් පළමු තරග හතරෙදි තමයි කවුද අපිට හොඳ නවකයන් කියල සොයා ගන්න පුළුවන්. අන්තිම තරග කිහිපයේදී ලෝක කුසලාන සංචිතයම ක්‍රීඩා කරවන්න තමයි බලාපොරොත්තුව. තේරීම් කමිටුවත් එක්‌ක මේ ගැන සාච්ඡා කරල තමයි කණ්‌ඩායම නම් කළේ.'' යනුවෙන් මාලිංග පැවසීය.

නවක ක්‍රීඩකයන් පළමු තරග කිහිපයේදී හොඳින් දක්‍ෂතා අතරට පැමිණියහොත් චන්දිමාල්ට සහ තිරිමාන්නව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වෙයිද යන්න ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස නායකයාගෙන් වැඩිදුරටත් විමසන ලදුව,

''ඔවුන් දෙදෙනාව විස්‌සයි විස්‌ස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වෙයිද කියල දැන්ම කියන්න බැහැ. මොකද නවකයන් හොඳට කළොත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියට යයි. අඩුම තරමේ මමත් ඒ තරගාවලිය නියෝජනය කරයිද කියල කියන්න බැහැ. අපිට තියෙන්නෙ දෙන තරගයේදි ක්‍රීඩා කරල හැකියාව පෙන්වන්න. ඒ ඇරෙන්න මේ තරගාවලිය ක්‍රීඩා කරනව අර තරගාවලිය ක්‍රීඩා කරනව කියල කියන්න පුලූවන් කමක්‌ නැහැ.''

විස්‌සයි විස්‌ස සංචිතයට චාමර කපුගෙදරව ඇතුළත් කළේ ලකුණු අතර නොසිටින කාලයක වුවත් ඔහු ලැබුණු අවස්‌ථාවේදී ඉතාමත් හොඳ පිති ප්‍රහාරයකින් සිය දක්‍ෂතාව පෙන්වීමට සමත් විය. ''චාමර කපුගෙදරව අපි ගෙනාවෙ අන්තිම පන්දු හත අටට ලකුණු 20 ක්‌ 30 ක්‌ ගහන්න තියෙන වෙලාවක ඒ දේ කරගන්නයි. නමුත් ඔහු දුන් අවස්‌ථාවේදි තමන් කවුද කියල ඔප්පු කර පෙන්නුවා.'' යෑයි මාලිංග වැඩිදුරටත් පැවසීය.

මිලින්ද සිරිවර්ධන ඉතාමත් හොඳ අනාගතයක්‌ ඇති ක්‍රීඩකයකු බව පෙන්වු අතර කුසල් පෙරේරාට නිදහසේ පහරවල් එල්ල කිරීමේ අවස්‌ථාව දී ඇති බවද මාලිංග පවසයි. ''අපි කුසල්ට මුකුත් කියන්නෙ නැහැ. ඔහු තමයි කණ්‌ඩායමේ වේගවත්ම ආරම්භක පිතිකරුවා. ඔහු මුලින් ලබා දෙන ආරම්භය අපිට ඉතාමත් වැදගත්. පළමු තරගයේදී ඔහු අසාර්ථක වුණත් අනාගතයේදී හොඳ ක්‍රීඩකයකු වේවි.''

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.