යුද අපරාධ චෝදනා පිළිබඳ එක්‌සත්
ජාතීන්ගේ රහස්‌ ලියවිල්ල චැනල්-ෆෝ සොරාගනී


"ද්‍රවිඩ සංධානයේ මැතිවරණ ප්‍රකාශනයෙන් දේශපාලන අර්බුදය සඳහා ඉදිරිපත් කර ඇති විසඳුම කාලබෝම්බයක්‌"
- ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී

පසුගිය සෙනසුරාදා ද්‍රවිඩ සංධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය යාපනයේ මරුදකාර්මඩම්හිදී පැවැත්විණි. මෙම රැලිය ඇමතූ ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් මෙලෙස පැවසීය.

ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රජාවක්‌ ලෙස ජීවත් වීමට අපි සූදානම් නැහැ. අප මුහුණපා සිටින ගැටලුව ගැන 2011 දී ඇමරිකාවට ගොස්‌ සාකච්ඡා කළා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස 2012 දී ඇමරිකාව මානව හිමිකම් කොමිසමට යෝජනාවක්‌ යොමු කරනු ලැබුවා. 2013 සහ 2014 වර්ෂවලත් ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කරන ලදි මෙම පසුබිම මැද ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ජාතික විමර්ශන වාර්තාව 2015 මාර්තු මස ඉදිරිපත් කිරීමට නියමිත වූවත් එකී වාර්තාව ලබන සැප්තැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිතය. එම වාර්තාවේ සඳහන් කර ඇති කරුණු මුළුමනින්ම ක්‍රියාවට නැංවිය යුතුයි. අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවේ වාර්ෂික ගැටලුවට විසඳුමක්‌ දිය යුතුයි යන ස්‌ථාවරයේ සිටියි.

ඊට මූලික හේතුව ජනවර්ගයක්‌ ඝාතනය කිරීමයි. අවසන් සටනේදී අහිංසක දෙමළ ජනතාව 70.000 කට වැඩි පිරිසක්‌ ඝාතනය කර ඇත. රෝහල් සහ සුබසාධක කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇත. මෙම දෙමළ ජාති ඝාතනයට යුක්‌තිය හිමි විය යුතුයි.

අප පාරම්පරිකව ජීවත් වූ දෙමළ ඊළාම් මාතෘ භූමියේ ස්‌වයං නිර්ණ අයිතිය මූලික කරගත් දේශපාලන විසඳුමක්‌ දෙමළ ජනතාව පිළිගනු ලබයි.

අපගේ ස්‌වාධීනත්වය මූලික කරගත් පෙඩරල් පාලන ක්‍රමයක්‌ අවශ්‍යයි. එය ද්‍රවිඩ ජනතාවගේ අයිතියකි. ඒකීය පාලන ක්‍රමයක්‌ යටතේ බලය බෙදාහැරිය යුතු බව ප්‍රකාශ කරන පුද්ගලයන් අපේ ජනතාව ප්‍රතික්‍ෂේප කරනු ඇත.

අපි සුවිශේෂී ජනවර්ගයකි. අපගේ මාතෘභූමිය විදේශීය වශයෙන් සහ දේශීය වශයෙන් පිළිගත යුතුය. විදේශ රටවල සිට පැමිණෙන දේශපාලන නායකයන් ද්‍රවිඩ සංධානය සමග මිස අනිකුත් කිසිදු ද්‍රවිඩ පක්‍ෂයක්‌ සමග සාකච්ඡා නොකරනු ඇත.

සම්බන්ධන් පැවැත්වූ මේ බරපතල ප්‍රකාශයෙන් පසු තමිල් අරසුකච්චි අපේක්‍ෂකයන් වූ එස්‌. ශ්‍රීධරන්, කන්දයියා අරුන්තව බාලන් මදිනි නෙල්සන් සහ වලිකාමම් ප්‍රාදේශීය සභාපති එස්‌. ප්‍රශාන් අපගේ නායකයා ප්‍රභාකරන් යෑයි කියමින් හඬනැඟූහ. ඊට රැස්‌ව සිටි ආධාකරුවන් ද අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා කරනු ලැබීය.

ද්‍රවිඩ සංධාන ප්‍රචාරක රැලිය ඇමතූ අපේක්‍ෂකයන් අසාධාරණ යුද්ධයකින් ද්‍රවිඩයන්ව පරාජය කරනු ලැබුවා යෑයි කියා සිටියහ. මේ ප්‍රචාරක රැලිය යුරෝපා නිරීක්‍ෂකයන් කීපදෙනකුගේ විමර්ශනයට ලක්‌ වු අතර රැස්‌ව සිටි පිරිස ප්‍රභාකරන්ට ජයවේවා යෑයි හඬනගත්ම නිරීක්‍ෂකයන් අතර සිටි භාෂා පරිවර්තකයන්ට ඒ බව නිරීක්‍ෂකයන්ට දන්aවනු ලැබිය.

මෙහිදී ද්‍රවිඩ සංධානය එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ පෙඩරල් ක්‍රම යටතේ උපරිම බලය බෙදීමක්‌ අවශ්‍ය බවත් සිය මැතිවරණ ප්‍රකාශනයෙන් කියා සිටියේය. උතුරින් හමුදාව ඉවත් කිරීම ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ යුද අපරාධ චෝදනා ගැන දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම, දේශපාලන සිරකරුවන් මුදාහැරීම, (හිටපු කොටි ක්‍රියාකාරීන්) අවතැන් වූ ජනතාව යළි පදිංචිකරවීම, උතුර නැගෙනහිර ජනතාවගේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම හිටපු කොටි සාමාජිකයන්ගේ ජීවිත නඟාසිටුවීම යන කරුණු එම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් වී තිබිණි.

ද්‍රවිඩ සංධානයේ මෙම මැතිවරණ ප්‍රකාශනයෙන් මෙරට ස්‌වෛරීභාවය පිළිබඳ සම අයිතිය ද ඉඩම් හා පොලිස්‌ බලතල ද දෙස්‌ විදෙස්‌ මූල්‍ය බලතල ද ඉල්ලා ඇත. සිය බෙදුම්වාදී සංකල්පය ඉටු කරගනු පිණිස පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක්‌ කළ යුතු බවද දන්වා තිබේ.

මෙයට මාස කීපයකට පෙර යාපනයේ ද්‍රවිඩ තරුණ තරුණියන් පිරිසක්‌ තමිල්නාඩුවට ගොස්‌ ගුවන්තොටුපළ කටයුතු පිළිබඳ පුහුණුවක්‌ ලබා තිබූ බව වාර්තා විය.

එසේම ද්‍රවිඩ සංධානය උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවය. බලය බෙදාහැරිය යුත්තේ එම ඒකාබද්ධ කිරීම මත බවත් සඳහන් කර ඇත.

සිය මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීම නිමිත්තෙන් යාපනයේ මාධ්‍ය අමතමින් ද්‍රවිඩ සංධානය තවදුරටත් පැවසුවේ උතුරු පළාත් සභාවට අවශ්‍ය සියලු බලතල ලබා ගැනීමට අදහස්‌ කරන බවත් ඊට අධිකරණ බලතල ද ඇතුළත් වන බවයි. කොටි සංවිධානය 2003 දී සම අයිතිය ඉල්ලා සිටියේය. 2015 දී ආර්. සම්බන්දන් ඉල්ලා සිටින්නේ ද එකී සම අයිතියයි.

මෙම බෙදුම්වාදී මැතිවරණ ප්‍රකාශනය සම්බන්ධව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශයක්‌ කරමින් ඒකීය පාලනයක්‌ තුළ ජනවාර්ගික ගැටලුවට විසඳුමක්‌ දැකීමට නොහැකි බවත් පෙඩරල් පාලනයක්‌ යටතේ විසඳුමක්‌ ලබාදීමට ක්‍රියා නොකරන්නේ නම් ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු රටවල් විසඳුමක්‌ ලබාදීමට ක්‍රියාකළ යුතු යෑයි පවසා ඇත. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙලෙස ප්‍රකාශ කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවට යුද අපරාධවලට වගකිවයුතු පිරිස ද ඇතුළත් වෙනවා. මෙම වාර්තාවෙන් මතු වන කරුණු මත එකී වාර්තාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතුයි. එසේම ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට විනිශ්චය මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කළ යුතුය. මේ සඳහා කටයුතු කරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක්‌ කරනවා.

සම්බන්ධන්ගේ මෙම මැතිවරණ ප්‍රකාශනයෙන් දින තුනකට පසු එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා ශ්‍රී ලංකාවේ අවසන් වී නැති යුද්ධය මැයෙන් පිටු 110 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළාය.

ශ්‍රී ලංකාවේ සිදුවූ වද හිංසාවන් යෑයි දක්‌වමින් අනන්‍යතාවය හෙළි නොකළ සාක්‍ෂිකරුවන් 100 කගේ සාක්‍ෂි දක්‌වමින් ප්‍රකාශයට පත් කළ මෙම වාර්තාවේ මේජර් ජෙනරාල්වරුන් 14 කගේ නම් ද සඳහන් කර ඇත. එසේම ඇය එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් වෙත වාර්තාවක්‌ යවමින් ශ්‍රී ලංකා සාම සාධක බළකාය රටවල් හතකින් ඉවත් කරන්නැයි කියා සිටියාය.

ශ්‍රී ලංකා සාම සාධක බළකා සෙබළුන් බටහිර සහරාව, දකුණු සුඩානය, කොංගෝ, හයිටි, ලයිබීරියා, ලෙබනන් සහ අබෙයි යන ස්‌ථානවල සේවය කරති.

මේ යස්‌මින් සුකා කවුද? දකුණු අප්‍රිකානු කාන්තාවක්‌ වූ ඇය 2010 වසරේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පත්කළ ශ්‍රී ලංකාව සම්බන්ධ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවකි.

ඇගේ මේ සාවද්‍ය වාර්තාවේ දැක්‌වෙන සාක්‍ෂිකරුවන් 40 කට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ද ලැබී ඇත.

මේ අතර ඇමරිකාවට පැනගොස්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට දිවුරුම් ප්‍රකාශයක්‌ දුන් හමුදා නිලධාරියකු ගැන අනාවරණය විය.

මොහු ඇමරිකානු නීතිවේදියකු ඉදිරියේ එම දිවුරුම් ප්‍රකාශය ලබාදී ඇත.

මෙම හමුදා නිලධාරියාගෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තොරතුරු ලබාගෙන තිබේ.

මේජර් ජෙනරාල්වරයකු වූ මේ හමුදා නිලධාරියා කවුදැයි දැන් අනාවරණය වී ඇත.

මේ පසුබිම මැද තමිල්නාඩුවේ සිටි හිටපු කොටි ක්‍රියාකාරිකයකු වූ කුමාරගුරු නමැත්තා රාමන්තිපුරම් හිදී අසු විය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ බව තමිල්නාඩු පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය. මෙයට පෙර ප්‍රභාකරන්ගේ සගයකු වූ ක්‍රිෂ්ණකුමාර් නමැත්තා සයනයිඩ් කරල් සහ ජී. පී. එස්‌. උපාංග සමග අසුවී තිබිණි.

මේ අතර යුද අපරාධ චෝදනා සම්බන්ධව පිහිටුවීමට යෝජිත දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ රහස්‌ ලියවිල්ලක්‌ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියට ලැබී ඇත.

චැනල් ෆෝ රූපවාහිනිය මෙම රහස්‌ ලියවිල්ලේ තොරතුරු ජුලි 29 දා එළිදක්‌වනු ලැබීය. එක්‌සත් ජාතීන්ගේ තාක්‍ෂණික සහාය මත දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීම සම්බන්ධ මෙම ලියවිල්ල කෙටුම්පත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයයි.

මෙකී එක්‌සත් ජාතීන්ගේ කෙටුම්පත අනුව දේශීය යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමේ සැලැස්‌මට උතුරු පළාත් සභාව ද සම්බන්ධ බව දක්‌වා ඇත.

යුද අපරාධ චෝදනා ගැන ශ්‍රී ලංකා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන බවට ප්‍රකාශ කර ඇති අවස්‌ථාවක එක්‌සත් ජාතීන්ගේ රහස්‌ ලියවිල්ල ප්‍රකාශයට පත්වීම බරපතල ප්‍රශ්නයක්‌ වී ඇත.

චැනල් ෆෝ රූපවාහිනිය මේ ගැන උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන්ගෙන් කළ විමසීමේදී එකී ලියවිල්ල සකස්‌ කිරීමට පෙර තමන් අමතා උපදෙස්‌ ලබා නොගත් බව පවසා ඇත. දේශීය යාන්ත්‍රණය සඳහා වූ මෙම ලියවිල්ල ප්‍රතික්‍ෂේප කරන බව ද විග්නේශ්වරන් තවදුරටත් සඳහන් කර තිබේ.

මෙහිදී නැඟෙන බරපතල ප්‍රශ්නය නම් ලබන සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ ලියවිල්ල ප්‍රකාශයට පත් වීමයි.

එයින් තහවුරු වන්නේ එක්‌සත් ජාතීන්ගේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළද කොටි හිතවාදීන් සිsටින බවයි.

චැනල් ෆෝ රූපවාහිනියකියා සිටින්නේ යුද අපරාධවලට ලක්‌වූවන්ට යුක්‌තිය ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකි බව මෙම රහස්‌ ලියවිල්ලෙන් සනාථ වන බවයි. එසේම එක්‌සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධව රහස්‌ තොරතුරු රැසක්‌ චැනල් ෆෝ රූපවාහිනිය ලබාගෙන ඇත. මහලේකම් බෑන් කී මූන් පත් කළ දරුස්‌මාන් මණ්‌ඩලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා දෙකක්‌ නිර්දේශ කර තිබිණි.

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අයවළුන්ට එරෙහිව ක්‍රියා කරන ලෙසත් යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන ලෙසත් එකී නිර්දේශවල සඳහන් විය.

මේ සම්බන්ධව කරුණු දැක්‌වූ මහලේකම් බෑන් කී මූන් පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පවත්වන ලෙස නියෝග කිරීමට තමන්ට බලයක්‌ නැති බවයි.

එහෙත් හියුමන් රයිට්‌ස්‌ වොච් ගෲප් නමැති ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ පිලිප්සේ බොලෝවියන් නමැත්තා බෑන් කී මූන් අමතමින් වහාම ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ස්‌ථාපිත කරන්නැයි ඉල්ලා ඇත.

රුසියාව සහ චීනය යන රටවල් එකී යුද අපරාධ පිළිබඳ සෙවීමේ ජාත්‍යන්තර පරීක්‍ෂණයට එරෙහි වූවත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අනිකුත් රවටල් ඊට සහාය දක්‌වන බව බොලෝවියන් නැමැත්තා පවසා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කෙටුම්පත් කළ දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත් සභාවට ඩොලර් පන්ලක්‍ෂයක්‌ ලැබෙන බවත් එහෙත් තමා මෙම මුදල ප්‍රතික්‍ෂේප කළ බවත් විග්නේශ්වරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ එක්‌සත් ජාතීන්ගේ සැලැස්‌මේ අනෙකුත් පාර්ශ්ව මෙතෙක්‌ හෙළි වී නැත. එහෙත් ශ්‍රී ලංකා රජය හා උතුරු පළාත් සභාව මෙහි පාර්ශ්වකරුවන් වේ.

ශ්‍රී ලංකාවේ හමුදාව ජාති ඝාතනයක්‌ (ඨැබදජසාe) සිදු කළ බව දක්‌වමින් යෝජනාවක්‌ සම්මත කර ගත් උතුරු පළාත් සභාව දේශීය යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු කිරීම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ක්‍රියාදාමයට සමාන ය.

මෙම එක්‌සත් ජාතීන්ගේ සැලැස්‌ම කෙටුම්පත් කළේ කවුදැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

මෙම පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ කෙටුම්පත අනතුරුදායක තත්ත්වයක්‌ මතු කරන බවද මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත. එසේම ශ්‍රී ලංකා රජයද මෙම ලියවිල්ල ගැන තොරතුරු හෙළි කර නොතිබිණි.

මේ තත්ත්වය මත යුද අපරාධ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකාව වරදකරු කිරීම සඳහා ඉතා සැලසුම් සහගත මෙහෙයුමක්‌ දියත් වන බව අනාවරණය වී තිබේ.


කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.