දෙඅත් නැතත් කටින් ලියන
බෙරවාවල රඡ්ජුරුවෝ


අතක්‌ පයක්‌ අහිමි වු තිරිසන් සතකු ඔබ දුටුවහොත් ඔබට අනේ අපොයි කියවෙනු අනි වාර්යයි. ඒක මනුෂ්‍ය ගතියයි. මිනිසත්කමයි. ඉන් එහාට ඒ ගැන කතා කිරීම අල්ලල දාමු.

මේ කියන්න යන්නෙ එහෙව් මිනිසකුට මේ මිනිස්‌ සමාජය හිතාමතාම කළ මහපොළොව නුහුලනා අපරාධයක්‌ ගැනයි. උපතින් එක්‌ අතක්‌ වැලමිට ප්‍රදේශයෙන් අහිමි වූ ගමම ආදරය කළ පුද්ගලයකුට ඔහුගේ සමාජ මෙහෙවර ප්‍රදේශයෙන් ප්‍රදේශයට පැතිරී යන මොහොතක ඔහුගේ එකම අත කොනිත්තන්නවත් කාටද හිතෙන්නෙ? ඒ අත සිපගන්නැයි මිනිසකුට නම් හිතෙන්නෙ.

එහෙත් මේ ක්‍රියාශීලී අත අනුන්ට උපකාර කරන අත. ඔහුගෙ එකම අත කපල දමන්නට තරම් ම්ලේච්ඡ පිරිසක්‌ සිටි බව කීවොත් ඔබට කුමක්‌ හිතෙයිද? එවන් පාපී හදවත්වලට ශාප කරාවි. 1980 දසකයේ මුල් කාලයේ පිළියන්දල එහෙම දෙයක්‌ සිදු වුණා. මෙන්න මෙහෙමයි ඒ අතීත කතාව පටන් ගත්තෙ.

1952 වර්ෂයේදී නීලම්මහර ප්‍රදේශ යේදී කම්කරු පවුලකට පුතෙක්‌ උපන්නේය. මේ කොළු පැටියාගේ දකුණු අතේ වැලමිටෙන් පහළ කොටස උපතින්ම අහිමි විය. එක්‌ අතක්‌ අහිමිව උපන් දරුවා ගැන මව්පියෝ දුක්‌ වූහ. ඒ නමුත් ඒ දුක පෙරදා සතුටේ උල්පතක්‌ බවට පත්වන්නට වූයේ හැදෙන ගහ දෙපැත්තෙන් දැනගන්නා සේය. නීලම්මහර පාසලේ මූලික අධ්‍යාපනය හැදැරූ මේ අපූරු දරුවාගේ නම සරත් පෙරේරාය.

සරත් ලංකා සභා කනිටු විදුහලේදී අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ඉහළින්ම ජයගත්තේය. එදා මවුපියෝ අත්පුඩි ගසමින් ගේ දොර දෙවනත් කරමින් සතුටු වූහ. දරුවාට තෑගි බෝග අරගෙන දුන්හ. ඒ අතර සුමනා ගලප්පත්ති ගුරුතුමියගේ විශේෂ ඉල්ලීමකට අනුව ඔහුට හොඳ පොටක්‌ පෑදිනි. ඒ අන් කිසිවක්‌ නොව කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ උසස්‌ පෙළ හැදැරීමට අවස්‌ථාව උදාවීමය. සරත් පාසලේ දීප්තිමත් සිසුවෙක්‌ විය. ඒ අතර ගමේ සමිති සමාගම්වල විවිධ නිලතල දරන්නට ද මේ තරුණයාට අවස්‌ථාව උදා විය. සරත් කුඩා කල සිටම දුප්පතුන්ට උදව් උපකාර කළේය. තරුණ සරත්ගෙන් ඇප උපකාර ලැබුවෝ බොහෝ වූහ. සරත්ගේ නාමය ලැව්ගින්නක්‌ සේ පැතිර ගියේ ඔහුගේ හිත තුළ තිබූ මානුෂික ගුණවගාව රොද බැඳ ගෙන හදවත තුළ ඇටුවම් බැස තිබූ නිසාය.

කෝට්‌ටේ ආනන්දයේ හොඳම ක්‍රීඩකයා වූයේ සරත්ය. උසස්‌ පෙළ සමත් වූ සරත් බාහිර උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල යෙදී සිටින විට ඔහුගේ ජනප්‍රියතාව වටා දේශපාලන සංවිධාන ද එක්‌රොක්‌ විය. සරත්ගේ මාපියන් ඇතුළු පරම්පරාව වාමාංශික අය වුවත් බෝධිරාජපුර ශාඛා සමිතියේ (එ.ජා.ප.) සභාපති ලෙස එම සංවිධානය ඔහුව පත්කර ගත්තේය. ප්‍රාදේශීය සමුපකාර සංගමයේ සභාපති ධුරය ද මෙකල ඔහුට හිමි විය.

මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රියත්වයට පත් සරත් මහතා පාර්ලිමේන්තු ඇමැතිවරයකුට වඩා ජනතාවට උදව් පදව් කළ නිසාම ඔහු පසුපස සිටි අතිවිශාල මිනිස්‌ පලිහ ප්‍රබල එකක්‌ ම විය. ඔහුගේ නිවස නිතරම අසරණ මිනිසුන්ගෙන් ගහනවීම සරත්ට ජීවයක්‌ විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක්‌ දැරූ සරත් කැස්‌බෑව උප දිසාපති කාර්යාලය යටතේ විශේෂ සේවා නිලධාරියකු ලෙස ද මේ වන විට සේවය කළේය. සරත්ගේ ලෝකය හා සරත්ගේ ආලෝකයෙන් ආලෝකවත් වූ බොහෝ අසරණ ජනතාවගේ ලෝකය බිඳදැමීමට ඔහුගේ සමාජ සේවය නොඉවසූ එක්‌ පුද්ගලයකු හෝ මිහිපිට ඇති දැයි කිසිවෙක්‌ නොදත්හ. මේ කාලය වන විට සරත් විවාහ වී සුරතල් දියණියක්‌ ද පුංචි පුතෙක්‌ ද සිටියහ. මේ අසූවේ දසකයේ මුල් කාලයයි. පුංචි පුතුට සති දෙකක්‌ ගතවූවා පමණි. එදින සමිති සමාගම් කිහිපයකම වැඩ කටයුතු සඳහා සහභාගි වූ සරත්ට වෙහෙස දැඩි විය. රෑ බෝව අතුරු පාරක ගමන් කළේය. සාතන්ගේ රාත්‍රිය උදා විය. ඒ බිහිසුණු රාත්‍රියේ සරත්ගේ ලෝකය වසාගත්තේ ලොකු කෙරුම්කාරයකු සේය.

"අඩෝ... සරා අද නම් මහන්සි පාටයි නේද?" යෑයි සරත්ට ඇති එකම අතින් අල්ලාගත් මේ පාපතර පිරිස ජඩ පිරිස, බලු පිරිස, කාලකණ්‌ණි පිරිස සරත්ව ඇදගෙන ගියහ. කඩුවක්‌ අතින් ගත් එක්‌ පුද්ගලයෙක්‌ සරත්ගේ එකම අතට පහර පිට පහර දුන්නේය. පිරිස වහා පලා ගියහ. සරත් කර කියාගත හැකි දෙයක්‌ නොමැතිව කැලෑ රොදේම එළිවනතුරු සිටියේය.

පසුදා උදයේ ඒ අසලින් ගිය පුද්ගලයකු සරත් දැක ගම්වාසීන්ගේ ද උදව්වෙන් සරත් රෝහල වෙත රැගෙන ගියහ. එහෙත් සරත්ගේ එකම අත රැකගැනීමට නොහැකි විය. ඔහුට අත අහිමි විය. දැන් සරත්ට අත් දෙකම නැත. එහෙත් සරත්ගේ දෙවැනි උත්පත්තිය සිදුවූයේ ඉන් පසුවය. ඔහු රෝහලින් ගෙදර ආ සැණින් කිසිදාක නොවූ විරූ ලෙසින් තමන්ගේ වැඩ කටයුතු ඇරැඹීය. පෑන කටට ගත්තේය. අකුරු ලිව්වේය. වචන ලිව්වේය. ලිපි ලිවීය. කවි ලිවීය. ඒ විතරක්‌ නොව චිත්‍ර ඇන්දේය. කාටුන් චිත්‍ර අන් කවරදාටත් වඩා අපූරුවට සිතුවම් කළේය. සමිති සමාගම්වල නිලතල දැරීය. තනියම ගමන් බිමන් ගියේය. සරත්ට සිංහල, ඉංග්‍රීසි ලිවීම අතින් කරනවාටත් වඩා ඉක්‌මනට කටින් කළ හැකි විය. බෙරවාවල ප්‍රදේශයේ ක්‍රීඩාපිටිය, ක්‍රීඩා මණ්‌ඩපය, බුදුමැඳුර, ප්‍රජාශාලාව ලබාගත්තේ දැත් අහිමි සරත් නිසාය. ඔහු සමාජයට කියන්නේ උත්සාහවන්තයාට බොහෝ දේ ලබාගත හැකි බවය. ඔහු දරු දෙදෙනාට ඉගැන්වූයේය. දරු දෙදෙනා උසස්‌ අධ්‍යාපනය ලැබූහ. පුතා විශ්වවිද්‍යාලයෙන් පිටව දැනට රැකියාවක්‌ කරයි. දූ පුතුන් සහ තම බිරිඳ ඔහුගේ ජීවිතය ජයගැනීමට මනා පිටිවහලක්‌ වූ බව ඔහු කියයි. පිළියන්දල බෙරවාවල ගෙවල් පහ ප්‍රදේශයේ දැනට ජීවත්වන සරත් මහතා ප්‍රදේශයට නැතුවම බැරි පුද්ගලයෙකි. ඔහු නැති සමිති සමාගමක්‌ ප්‍රදේශයේ නැත. දක්‍ෂ කතිකයෙක්‌ වන සරත් පෙරේරා මහතා පිරිසිදු ඇඳුම් ඇඳගෙන ඉතාම ක්‍රියාශීලී සමාජයේ උවමනාවන් ඉටුකරනු දකින ඕනෑම කෙනකුගේ දැසට සතුටු කඳුළු ගලා ඒ. හිතවත් සරත් මහතාණෙනි, තව තවත් පිළියන්දල බබලවන්නට ඔබට ධෛර්යය ලැබේවා.

අශෝක කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.