පක්‍ෂය, ලකුණ මට වැදගත් නෑ
මම සලකන්නෙ ප්‍රතිපත්තිවලට
ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න


ප්‍රශ්නය - ඔබ පාසල් වියේදීම වාමාංශික දේශපාලනයට සම්බන්ධ වෙලා පසුව පේරාදෙණි විශ්වවිද්‍යාලයේදී සමසමාජ පක්‍ෂයට එක්‌ වී අනතුරුව එම පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු වශයෙන් දිගු කලක්‌ කටයුතු කළා. සමසමාජ පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සාමාජිකයකු වශයෙන් ද සිටියා. ඒත් අද ඔබ එක්‌සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අපේක්‍ෂකයකු වශයෙන් නම් කොට තිබෙනවා. ඇයි එහෙම වුණේ.

පිළිතුර - හොඳ ප්‍රශ්නයක්‌. පසුගිය ජනාධිපති මැතිවරණයේදී වමේ පක්‍ෂවල බහුතර කොටස්‌ මහින්ද රාජපක්‍ෂ පාලනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක්‌ අවශ්‍යයි කියල ඇති කර ගනු ලැබූ පුළුල් එකතුවට අපත් සම්බන්ධ වුණා. අපි ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ පෙරමුණ හැදෙන්නත් ඉස්‌සර සිට. සෝභිත හාමුදුරුවන්ගෙ ව්‍යාපාරයේ දිගු කලක්‌ වැඩ කිරීමෙන් පසු රාජපක්‍ෂ පාලනයට විරුද්ධව ගොඩනැඟුණු පෙරමුණට එකතු වුණා. එයට එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලනිපයේ කොටස්‌, වමේ පක්‍ෂ, දෙමළ, මුස්‌ලිම් පක්‍ෂ ඇතුළු විවිධ කොටස්‌ සම්බන්ධ වුණා. අපේ ප්‍රධාන තේමාව වුණේ අපට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක්‌ අවශ්‍යයි යන්නයි. එයට ප්‍රධාන හේතුව වශයෙන් අපි දැක්‌කෙ රාජපක්‍ෂ පාලනය සංකේතවත් කරපු ඒ විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල. ඒත් එක්‌ක ඇති වූ අධිකාරිවාදී පාලනය, අධිකරණයට තිබූ බලපෑම්, ජනතාවගේ අදහස්‌ ප්‍රකාශ කිරීමට තිබූ බලපෑම් ආදියයි. මේ තත්ත්වය නැති කිරීම සඳහා අපි පුළුල් පෙරමුණක්‌ බිහි කිරීමට කටයුතු කළා. එක්‌සත් ජාතික පක්‍ෂයත් එයට එකතු කර ගැනීමට අපට හැකි වුණා. එහිදී එම පක්‍ෂය ඔවුන්ගේ ලකුණ අත්හැරියා. ඔවුන්ගේ නායකයාගේ පක්‍ෂය නායකත්වය අතහැරියා. සෑම දෙනාම තම තමන්ගේ විවිධ දේශපාලන මතිමතාන්තර තිබුණත් මේ පොදු අරමුණ වෙනුවෙන් එකතු වුණා.

ජනාධිපතිවරණයෙන් පස්‌සෙ අපේ කිසිම බලාපොරොත්තුවක්‌ තිබුණෙ නැහැ පසුගිය කාලේ එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ මැතිවරණ කටයුත්තකටම යැමට. ඇත්ත වශයෙන් අපි වමේ පක්‍ෂවල, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනාධිපතිවරණයේදී සහයෝගය දුන් විකල්ප කණ්‌ඩායම් එක්‌සත් වාමාංශික පෙරමුණ නමින් සංවිධානයක්‌ පිහිටුවා ගත්තා. ඒ එක්‌සත් වාමාංශික පෙරමුණ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එකතු වීමට ලිතව අපේ කැමැත්තත් ප්‍රකාශ කළා. ඊට පස්‌සෙ ඔවුන් සමඟ එකතු වී මැතිවරණයට තරග කරන්නට අපි අපේක්‍ෂක ලැයිස්‌තුවක්‌ පවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී බාරදුන්නා. අපි බලාපොරොත්තුවුණේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ කටයුතු කරන්නයි.

නමුත් අපි බලාපොරොත්තු නොවූ පරිදි මහින්ද රාජපක්‍ෂ නැවතත් ඇවිත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ යම් බලයක්‌ තහවුරු කරගත්තා. සන්ධානයෙන් නාමයෝජනා ලබාගෙන ඔහු සමඟ සිටි පිරිස්‌වලට නාමයෝජනා ලබා දෙමින් ඔවුන් සන්ධානය තුළ ප්‍රබල තත්ත්වයක්‌ ගොඩනගා ගත්තා. එතකොට අපට ප්‍රශ්නයක්‌ ආවා තවදුරටත් අපිට පුළුවන්ද අපි විසින්ම බලයෙන් ඉවත් කළ මහින්ද රාජපක්‍ෂ සමඟ සන්ධානයකට යැමට කියා. අපට කොහෙත්ම එවැනි තත්ත්වයක්‌ පිළිගන්නට බැහැ.

ඉන්පසු අපි අනිකුත් පක්‍ෂ සමඟ සාකච්ඡා කළා. ජනතා විමුක්‌ති පෙරමුණ සමඟත් නිල නොවන මට්‌ටමෙන් සාකච්ඡා කළා පුළුල් වමේ පෙරමුණක්‌ හදාගන්නට පුළුවන්ද කියලා. ඒත් ඔවුන් අපට බොහොම සුහදව කතා කරල කිව්වා දැන් ප්‍රමාද වැඩියි. අපි තනිවම මැතිවරණයට යැමට තීරණය අරන් තිබෙන්නේ කියලා. ඒ නිසා අපට ඔවුන් සමඟ එකතු වීමට තිබූ ඉඩකඩත් නැතිව ගියා.

ප්‍ර - ඊට පස්‌සෙ මොකද කළේ ?

පි - ඊට පස්‌සෙ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් සිවිල් සංවිධාන සමඟ එකතු වී මහින්ද රාජපක්‍ෂ විරෝධී කටයුත්තක යෙදෙමු කියලා අපි තීරණය කළා. ඒ අතරේ යම් යම් වෙනස්‌කම් ඇතිවුණා. චම්පික රණවකල ඉවත් වුණා. ශ්‍රීලනිපයේ රාජිත, අර්ජුන, හිරුණිකා ඇතුළු පිරිසක්‌ තම පක්‍ෂයෙන් එළියට ආවා. ඔවුන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආශීර්වාදය තිබෙන බව අපි කවුරුත් දන්නවා. චJද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනියගේ ආශීර්වාදයත් ඔවුන්ට තිබෙන බව අපි කවුරුත් දන්නවා. මේ අනුව සම්පූර්ණ තත්ත්වය වෙනස්‌ වුණා. ඒ පිරිස අපි එක්‌කත් සාකච්ඡා කළා. පසුව ඒ කණ්‌ඩායමේ රාජිත සේනාරත්න මහත්තයා වමේ අපි වෙනුවෙන් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ආවා මේ මැතිවරණයට තරග කිරීම සඳහා.

ඒ අවබෝධතා ගිවිසුමේ පැහැදිලිවම තියෙනවා ඒ පිරිසට, ඒ අනුව අපටත් ලැබෙනවා තමන්ගේ දේශපාලන කටයුතු ස්‌වධීනව කරගෙන යන්නට. ඒ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පළමුවැනි කතාවේදීම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියා සිටියා, මේ කණ්‌ඩායම්වලට පාර්ලිමේන්තුවේදී සම්පූර්ණයෙන් ම ස්‌වාධීනව කටයුතු කරන්නට පුළුවන් කියලා.

ප්‍ර - ඉතින් ඔබලාට නාමයෝජනා ලැබුණාද?

පි - අපේ කණ්‌ඩායමෙන් අපට ජාතික ලැයිස්‌තුවෙන් දෙදෙනකු නම් කිරීමටත් එක්‌ දිස්‌ත්‍රික්‌කයකට තරග කිරීමට ඉඩ ලැබුණා. ඒ අනුව මාත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ රාජා උස්‌වැටකෙයියාවත් ජාතික ලැයිස්‌තුවට ඇතුළත් කළා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙනුවෙන් පළාත් සභාවෙන් ඉස්‌සෙල්ලාම එළියට ආපු කීර්ති කාරියවසම් සහෝදරයාට කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීමට නාමයෝජනා ලැබුණා.

මේක අපේ පක්‍ෂ කණ්‌ඩායම් තුළ දීර්ඝ ලෙස සාකච්ඡා කරල ගත්තු තීන්දුවක්‌. බලාපොරොත්තු නොවූ අවස්‌ථාවල අමාරු තත්ත්වයන් යටතේ අමාරු තීන්දු ගැනීමට අපට සිදුවෙනවා. මං ඉතිහාසයෙන් උදාහරණයක්‌ කියන්නම්. අද පැසිස්‌ට්‌ මාදිලියේ තර්ජනයක්‌ තියෙනවා පැහැදිලිවම. ජනවාරි 8 දා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්නට රාජපක්‍ෂලාට පුළුවන් වුණොත් රාජපක්‍ෂ ආපසු පැමිණියොත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ජීවිතයට පවා තර්ජන ඇති වෙන්න ඉඩ තිබෙනවා. අපේ ජීවිතවලටත් ජනතාවගේ ජීවිතවලටත් තර්ජන එල්ල විය හැකියි.

දෙවැනි ලෝක යුද්ධයේදී සෝවියට්‌ දේශය තනි රාජ්‍යයක්‌ වශයෙන් තිබියදී හිට්‌ලර්ගේ හමුදා සෝවියට්‌ දේශයට පහර දෙන විට, හිට්‌ලර්ට විරුද්ධව ජෝසප් ස්‌ටාලින් යුද පෙරමුණක්‌ ඇතිsකර ගත්තා ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමඟම ඒ වෙලාවෙ ලෝකයේ සියලු වාමාංශිකයන් සෝවියට්‌ දේශය ආරක්‍ෂා කරන්නට එක්‌වුණා. ලංකා සමසමාජ පක්‍ෂය ගත්තොත් අපිත් සෝවියට්‌ දේශය ආරක්‍ෂා කිරීමට බැඳී සිටියා. ඒත් එන්. එම්., කොල්වින් ඇතුළු සමසමාජ නායකයන් රට තුළ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ගෙන ගියා. ඔවුන් අධිරාජ්‍ය විරෝධී අරගලය ගෙන ගියාට පැසිස්‌ට්‌ වාදයට උදව් දෙන කිසිවක්‌ කළේ නැහැ. ඒ වගේ අමාරු අවස්‌ථාවල අමාරු තීන්දු ගත්නට වෙනවා. නමුත් කුමන තත්ත්වයක්‌ යටතේ වුවත් අපි හැම විටම අපේ ස්‌වාධීනත්වය, අනන්‍යතාව රැක ගන්නවා.

ප්‍ර - ඔබට ජාතික ලැයිස්‌තු මන්ත්‍රි ධුරය ලැබුනොත් මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

පි - අපේ වමේ ව්‍යාපාරයේ අරමුණු දිගටම ගෙනයැමට තමයි මම කටයුතු කරන්නේ. සමාජවාදය අද තිබෙන්නෙ බොහොම ඈතින්. නමුත් අද තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කර්තව්‍යය. නව ව්‍යවස්‌ථාවක්‌ හදා ගැනීම, ජාතික ගැටලුවට විසඳුම් සෙවීම, වඩා හොඳ මානව හිමිකම් තත්ත්වයක්‌ ඇති කිරීම සහ සමාජ සාධාරණත්වය ඇති කිරීම තමයි අද ඉතා වැදගත් කාර්යයන් වන්නේ. සමාජවාදය ඈත ඉලක්‌කයක්‌ වුවත්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් අපට කටයුතු කරන්න පුළුවන්. අපේ අධ්‍යාපනය අද කඩාවැටිලා. නිදහස්‌ සෞඛ්‍ය සේවය කඩා වැටිලා. මේවට සමසමාජ පක්‍ෂයේ නායකයන් සටන් කළා. මහජන ප්‍රවාහනය කඩාවැටිලා. මේවා යථා තත්ත්වයට පත්කිරීම හා

රැකියාදීම රජයේ වගකීමක්‌ හැටියට පිළිඅරන් ඒ සඳහා වැඩපිළිවෙළක්‌ ඇති කළ යුතුය යන ස්‌ථාවරයේ අපි කටයුතු කරනවා. අපේ මුල් අරමුණුවලින් අපි කොහොමත් ඈත් වෙන්නේ නැහැ.

ප්‍ර - අනාගතයේදී ඔබලා නව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවනවාද? මොනවද ඒ ගැන තිබෙන බලාපොරොත්තු?

පි - ඒ ගැන මැතිවරණයෙන් පසුව සලකා බලනවා. මොකද සමසමාජ පක්‍ෂය ඇතුළේ අපේ අය ඉන්නවා. ඇත්ත වශයෙන්ම අපිත් තාම සමසමාජ පක්‍ෂෙ සාමාජිකයෝ. අද වෙනතුරු පක්‍ෂයෙන් මට විරුද්ධව චෝදනා පත්‍රයක්‌ ගොනු කරල නැහැ. මට විරුද්ධව විනය පරීක්‍ෂණයක්‌ පවත්වලා නැහැ. තාම මම සමසමාජ පක්‍ෂෙ සාමාජිකයෙක්‌. පක්‍ෂය ඇතුළේ අයත් එක්‌ක අප සම්බන්ධකම් පවත්වනවා.

ප්‍ර - අනාගතයේදී සමසමාජ පක්‍ෂයේ නායකත්වය ගැනීමේ බලාපොරොත්තුවක්‌ තිබෙනවද?

පි - නායකත්වය ගැනීමක්‌ නොවෙයි පක්‍ෂයේ විවිධ කොටස්‌ සමඟි කරලා ඔවුන් නිවැරැදි මඟට ගන්න පුළුවන් නම් තමයි අපි ඉතාමත්ම සතුටු වෙන කාරණය. කැඩිල යන්න නොවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ ව්‍යාපාරය තව තවත් ශක්‌තිමත් කරන්නයි.

සාකච්ඡා කළේ
දයා ලංකාපුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.