තංගල්ල සිසිල් කළ
උක්‌කුවාගේ අවසන් ගමන


තංගල්ල පල්ලිකුඩාව මුහුදු වෙරළේ සුන්දරත්වය විඳගනිමින් නිදහසේ ඇවිද යන සුරූපිනියකි. පිහිනුම් ඇඳුමින් සැරසී සිටි මේ ජර්මන් ජාතික තරුණිය දෙස වැල්ලේ සිටි තරුණයන් ගල්ගැසී බලා සිටියි.

සුන්දර ලලනාව සමග ගමන් ගන්නා හැඩිදැඩි සිරුරක්‌ ඇති සිංහල තරුණයෙකි. කාලවර්ණ දේහධාරී තරුණයා කවුදැයි වැල්ලේ සිටි තරුණයන්ට හඳුනා ගන්නට අපහසු නැත.

"උක්‌කුවට ගිය කලක්‌. මේ පාර ඌ ගොඩ යනවා. උක්‌කුවා මෙදා පාර නතර වෙන්නෙ ජර්මනියේ. මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් එකිනෙකාට මුමුණන්නට වූහ. මෙයින් වසර හත අටකට උඩදී තංගල්ල පල්ලිකුඩාව මුහුදු වෙරළේ දී වූ එක්‌තරා සිදුවීමකි.

උක්‌කුවාට ජර්මන් ජාතික කාන්තාවක වූ වැලෙන්සා මුණ ගැසෙන්නේ පල්ලිකුඩාව මුහුදු වෙරළේදීය. ඒ දැන හඳුනාගැනීම අනියම් සම්බන්ධයක්‌ දක්‌වා දුරදිග යන්නට එතරම් කාලයක්‌ ගතවුණේ නැත.

වැලෙන්සා උක්‌කුවාගේ ඇසුරට බෙහෙවින් ප්‍රිය කළාය. ජර්මනියේ පදිංචි ධනවත් කාන්තාවක වූ ඇය උක්‌කුවාගේ ආදරය සෙනෙහස හමුවේ සිටියේ උමතුවෙන්ය.

ජර්මනිය අතහැර ඇය ලංකාවේ පදිංචියට එන්නට පවා සිතුවේ උක්‌කුවාගෙන් තොර ලෝකයක්‌ ගැන සිතා ගැනීමට නොහැකි වූ නිසාය.

වැලෙන්සා තම ශ්‍රී ලාංකික පෙම්වතා වූ උක්‌කුවා කිහිප වරක්‌ ජර්මනියේ සංචාරය සඳහා ද රැගෙන ගියාය. වැලෙන්සාගෙන් විශාල ධනස්‌කන්ධයක්‌ උක්‌කුවාට ලැබුණේය. ඒ මුදල් වියදම් කරමින් ඔහු සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකළ අතර තංගල්ලේ සංචාරක නවාතැන්පළක්‌ පවා ඉදිකර ගත්තේය.

ජයවීර පටබැඳිගේ නිලූක ඉන්දික ප්‍රසන්න නොහොත් පල්ලිකුඩාවේ උක්‌කුවා තංගල්ලේ කෙරුම්කාරයකු බවට පත්වන්නේ එතැන් සිටය.

තංගල්ල පල්ලිකුඩාව ධීවර ගම්මානයේ සාමාන්‍ය ධීවර පවුලක උපත ලැබූ උක්‌කුවා කුඩාකල සිටම ගතකළේ සෙල්ලක්‌කාර ජීවිතයකි.

තංගල්ල මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්‌වා ඉගෙනුම ලැබූ මොහු පසුව ධීවර කර්මාන්තයට අතගැසුවේය. බහුදින ධීවර යාත්‍රාවක හිමිකරුවකු වූ උක්‌කුවා තම යාත්‍රාව කුලී පදනම මත ලබා දී මුදල් උපයා ගත්තේය.

ජර්මන් ජාතික කාන්තාවක වූ වැලෙන්සා හමුවීමත් සමගම උක්‌කුවාගේ ජීවිතය වෙනත් මගකට හැරුනේය. උක්‌කුවා හෝටල් කර්මාන්තයට අතගසන්නේ එතැන් සිටය.

තංගල්ල පැරඩයිස්‌ මුහුදු තීරයේ සංචාරක නිකේතනයක්‌ ඉදිකළ උක්‌කුවා ඒ හරහා විශාල ධනයක්‌ උපයන්නට පටන් ගත්තේය.

හරිහමන් රැකියාවක්‌ නොමැතිව තංගල්ල වැල්ලේ කරක්‌ ගසමින් සිටි රස්‌තියාදුකාරයන් හත් අට දෙනකුම උක්‌කුවාගේ ගෝලයන් බවට පත්ව සිටියහ.

ධනය යහමින් ගැවසෙද්දී උක්‌කුවාට බලය ද අවශ්‍ය විය. තංගල්ල නගරයේ කෙරුම්කාරයකු බවට පත්වීමේ සිහිනය උක්‌කුවාගේ සිතේ නිතර හොල්මන් කරන්නට විය.

උක්‌කුවාගේ පියා මෙන්ම පවුලේ ඥතීන් වැඩි දෙනෙක්‌ පරම්පරාගත ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ය. ඒ දේශපාලන බැඳීම් හරහා උක්‌කුවා දකුණු පළාතේ එක්‌තරා තරුණ දේශපාලනඥයකු සමග සමීප සබඳතාවක්‌ ගොඩනගා ගත්තේය.

ඒ දේශපාලන හිතවත්කම්වලින් උපරිම ප්‍රයෝජන ගත් උක්‌කුවා වැඩිකල් නොගොස්‌ තංගල්ලේ මහා කෙරුම්කාරයකු බවට පත්වන්නේය. තංගල්ලේ නූගත් තරුණයන් පිරිසක්‌ ඒ වන විට උක්‌කුවා වටා රොක්‌වී සිටියහ. ඔහු අත දිගහැර මොවුන් වෙනුවෙන් වියදම් කළේය. මිල මුදලට අරක්‌කු බෝතලයට වහවැටුණු රස්‌තියාදුකාරයන් උක්‌කුවාගේ ඕනෑම දහදුරා වැඩක්‌ වෙනුවෙන් පෙනී සිටින ගෝලබාලයන් බවට පත්ව සිටියහ. තංගල්ල නගරයේ ලයිෂන් ඇති චණ්‌ඩින් වුණේ මොවුන්ය.

ඒ වන විට තංගල්ල නගරය කේන්ද්‍ර කරගෙන පාතාල කල්ලි දෙකක්‌ ගොඩනැගී තිබුණේය. ඉන් එක්‌ කල්ලියකට නායකත්වය දුන්නේ පල්ලිකුඩාවේ උක්‌කුවාය. අනෙක්‌ කල්ලිය මෙහෙය වූයේ ආමි අමිලය.

තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචි අමිල යුද හමුදාවෙන් පලා ආ සාමාජිකයෙකි. යුද හමුදාවෙන් ඉවත් වූ පසු අමිල තංගල්ලේ රස්‌තියාදුකාරයන්ගේ ගොඩට වැටුනේය.

පසුකලෙක මොහු තංගල්ල දෙවනත් කළ පාතාල අපරාධකාරයකු බවට පත්වන්නේය. ඒ දකුණේ පාතාල කල්ලි නායකයන්ව සිටි වම්බොට්‌ටා සහ පාලන්කඩ හීනා වැන්න වුන්ගෙන් ලැබුණු ආභාෂය හරහාය.

දකුණේ සිදුවූ මිනිස්‌ ඝාතන හත අටකටම ආමි අමිල සම්බන්ධ වුණේය. අති දක්‍ෂ වෙඩික්‌කරුවකු වූ අමිල කොයි මොහොතකදීවත් සිය ඉලක්‌කය වරදවා ගත්තේ නැත.

වීරකැටිය විතාරන්දෙණිය තංගල්ල, සූරියවැව ප්‍රදේශ භීතියට පත්කරමින් ආමි අමිල සිදුකළ අපරාධ, මහා ගොඩක්‌ කොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් ඇතුළු තවත් බරපතල ගණයේ අපරාධ රැසක්‌ ඒ අතර විය.

තංගල්ලේ ධීවරයන්ගෙන් කප්පම් ලබා ගැනීම, මාළු තොග පිටින් ලබාගෙන ඒවා විකිණීම ආමි අමිලගේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබුණේය.

දේශපාලන බලයෙන් ඔලුව උදුම්මාගෙන සිටින උක්‌කුවාගේ ක්‍රියාකලාපය ගැන ආමි අමිලගේ සිතේ තිබුණේ කෝපයකි. උක්‌කුවාගේ මේ චණ්‌ඩිකම් කොයි මොහොතක හෝ මට්‌ටු කිරීමට අවස්‌ථාවක්‌ එළඹෙනතුරු ආමි අමිල නිහඬව බලා සිටියේය.

"උක්‌කුවා උඩ පනිනවා වැඩියි. ඌ කවදහරි සල්ලං වෙන්නෙ මගෙන්. තංගල්ලේ චණ්‌ඩි දෙන්නෙකුට ඉන්න බැහැ"

ආමි අමිල සිය සගයන් සමග නිතරම මේ ගැන කතා කළේය. කොටි ත්‍රස්‌තවාදය පරාජය කර රට නිදහස්‌ කරගැනීම මුළු රටම මහ ඉහළින් සැමරුවේය. 2009 වර්ෂයේ මැයි මස 19 වැනිදා තංගල්ලේ ජනතාවද කිරිබත් කමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කරන්නට වූහ.

එදින තංගල්ලේ චණ්‌ඩින් සියලු දෙනා නගරයට පැමිණ සිටියහ. උක්‌කුවාගේ කල්ලියේ සාමාජිකයන් මෙන්ම ආමි අමිලගේ පාතාල සහචරයන්ද පදමට මත්පැන් පානය කරමින් විනෝද වන්නට වූහ.

අමිලගේ සමීපතම සගයා වුණේ අලුත්ගොඩ මන්නාය. මන්නා කලක්‌ උක්‌කුවාගේ ද සමීපතම මිතුරකුව සිටියේය.

එහෙත් මන්නා ආමි අමිල සමග සම්බන්ධ වූ පසු උක්‌කුවා ඔහු සමග විරසක වුණේය. මත්පැන් පානය කරමින් තංගල්ල නගරයේ විනෝද වූ පිරිස අතර ගුටි කෙලියක්‌ හටගන්නට එතරම් වෙලාවක්‌ ගතවුණේ නැත. උක්‌කුවා බිම පෙරළාගෙන මන්නාට පහර දුන්නේය. ගෝලබාලයන් එක්‌වී ගැටුම සමථයකට පත් කළේය.

තමන්ට නිකරුනේ පහර දීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටි මන්නා තංගල්ල නගරය පුරා දිවගියේ තම කෝපය පාලනය කර ගැනීමට නොහැකිවය. අවසානයේ තියුණු ආයුධයක්‌ රැගෙන ආ මන්නා උක්‌කුවාගේ හිසට පහර පිට පහර දෙන්නේ තංගල්ල නගරයේ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදීය.

මෙම ප්‍රහාරයෙන් උක්‌කුවා බරපතල තුවාල ලැබුවේය. එහෙත් ඔහුට ජීවිතය බේරා ගන්නට හැකි වුණේය. මෙම සිදුවීමෙන් පසු උක්‌කුවාත් මන්නාත් බද්ධ වෛරක්‌කාරයන් බවට පත්වූහ.

දැඩි ලෙස කෝපයට පත්වී සිටි උක්‌කුවා සිය ගෝලබාලයන් යොදා මන්නා සොයමින් මුළුÊතංගල්ලම පීරන්නට පටන් ගත්තේය. එහෙත් මන්නා බියට පත්වුණේ නැත. තමන්ට ආමි අමිලගෙන් රැකවරණය ලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. මන්නා ගෝලබාලයන්ද පිරිවරාගෙන ඕනෑම ප්‍රහාරයකට මුහුණදීමේ සූදානමින් නිවසට වී සිටියේය.

එදින රාත්‍රියේ උක්‌කුවාගේ ගෝලබාලයන් මන්නාගේ නිවස වටකළහ. ටී 56 ගිනි අවිවලින් එල්ල වූ උණ්‌ඩ මන්නාගේ නිවස සුණු විසුණු කළේය.

එහෙත් ප්‍රහාරයෙන් මන්නාගේ ජීවිතයට හානියක්‌ වුණේ නැත. මන්නාගේ සමීපතමයකු පමණක්‌ මේ ප්‍රහාරයෙන් අවසන් ගමන් ගියේය.

මන්නා උක්‌කුවා අතර ගැටුමට ආමි අමිල සම්බන්ධ වන්නේ එතැන් සිටය. මේ ගැටුම තංගල්ල නගරය චිකාගෝවක්‌ බවට පත් කරන්නට සමත් වුණේය. පාතාල කල්ලි දෙකේ සාමාජිකයන් ආයුධ සන්නද්ධව තංගල්ල නගරයේ නිතර සැරිසරන්නට වූහ.

ආමි අමිල ද තංගල්ලේ තරුණ දේශපාලනඥයා සමග මිතුදමක්‌ ගොඩනගාගෙන සිටියේය. මේ දේශපාලන සම්බන්ධතා හමුවේ පොලිසිය දැඩි ලෙස අසරණ වී සිටියේ තම රාජකාරිය නිසි ආකාරයකට කර ගැනීමට නොහැකිවය.

උක්‌කුවාගේ ගෝලයන්ගෙන් මන්නාට ගැලවීමක්‌ ලැබුණේ නැත. මන්නා තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ගොස්‌ ආපසු එමින් සිටියදී උක්‌කුවාගේ ගෝලබාලයන් ඔවුන් පසුපස පන්නාගෙන ආහ.

තංගල්ල සුසාන භූමිය මාර්ගය ඔස්‌සේa ධාවනය වූ මන්නා සහ ඔහුගේ සගයා රැගත් යතුරුපැදිය කොටුකර ගැනීමට උක්‌කුවාගේ ගෝලබාලයන්ට හැකිවිය.

දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී මහ දවල් එල්ල වූ ටී 56 වෙඩි ප්‍රහාරයෙන් මන්නා සහ ඔහුගේ සගයා අවසන් ගමන් ගියේ මුළු තංගල්ලම අනාරක්‍ෂිත නගරයක්‌ බවට පත්කරමින්ය.

මන්නාගේ ඝාතනය ආමි අමිලගේ සිත සලිත කිරීමට සමත් විය.

උක්‌කුවා ඊළඟට එන්නේ මාව බිල්ලට ගන්න. ඊට කලින් මම ඌට වැඩක්‌ දෙන්න ඕනෙ.

ආමි අමිල සිතුවේය. මන්නාගේ ඝාතනයෙන් දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින ආමි අමිල තමන් මරා දමන්නට සැලසුම් කරනු ඇතැයි උක්‌කුවාද සිතුවේය.

මුලින්ම ආයුධය අතට ගන්නා තැනැත්තා ජය ගන්නා බව ඔවුන් දෙදෙනාම හො¹කාරවම දැන සිටියහ.

මේ අතර ආමි අමිලගේ ගෝලබාලයන් සහ උක්‌කුවාගේ සගයන් තංගල්ල ධීවර වරායේ ගැටුමක්‌ ඇති කර ගත්හ. මාළු තොගයක්‌ මිලදී ගැනීමේදී ඇතිවූ ආරවුල ගැටුමක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබුණේය.

මේ සිදුවීම් සියල්ල ආමි අමිලත් උක්‌කුවාත් අතර වූ වෛරය තව තවත් දලු ලා වැඩෙන්නට විය.

2014 වර්ෂයේ මැයි මස 22 වැනිදා තංගල්ල නගරය නැවතත් ගිනි ගත්තේය. තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ඉදිරිපත් වීමට ආමි අමිල පැමිණ සිටියේ තම සගයන් කිහිප දෙනකුද සමගය.

ආමි අමිල අධිකරණය වෙත යද්දී නිරායුධව පැමිණෙන බව උක්‌කුවා හොඳින් දැන සිටියේය. එදින තම ඉලක්‌කය ලෙහෙසියෙන් සපුරා ගන්නට හැකි වෙතැයි ඔහු සිතුවේය.

තංගල්ල අධිකරණය ඉදිරිපිට තේ කඩයක තේ පානය කරමින් සිටි ආමි අමිල කොටුකර ගන්නට උක්‌කුවාගේ ගෝලබාලයන්ට හැකිවිය. ඔවුන් ආමි අමිල පරලොව යෑවීමට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වුණේ මුළු තංගල්ලම භීතියට පත් කරමින්ය.

එහෙත් ඒ ප්‍රහාරවලින් දිවි ගලවා ගන්නට ආමි අමිල සමත් වුණේය. ඒ යුද හමුදාවේදී ඔහු ලබාගෙන තිබූ මනා පුහුණුවට පිං සිදුවන්නටය.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ අමිල රෝහල්ගත කරන්නේ ඔහුගේ සගයන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේය. උක්‌කුවාගෙන් කොයි මොහොතක හෝ තමන්ට ප්‍රහාරයක්‌ එල්ල වෙනු ඇතැයි අමිල සිතුවේය.

ප්‍රභාත් චන්දන, අමිලගේ සමීපතම සගයකු විය. ආමි අමිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඔහුගේ ආවතේව කටයුතු කරනු ලැබුවේ ප්‍රභාත් විසින්ය.

දින කීපයක්‌ තිස්‌සේ අමිලට ඇප උපස්‌ථාන කළ චන්දන තංගල්ල නගරයට නැවත එන්නේ සුපුරුදු රැකියාව කිරීම සඳහාය. තංගල්ල බස්‌ නැවතුම්පළේ බස්‌ රථවලට මගීන් ගොඩකිරීමේ සුළු රැකියාවක්‌ කළ චන්දන දෛනිකව පුංචි මුදලක්‌ උපයා ගත්තේය.

තිදරු පියකු වූ චන්දනට උක්‌කුවා මරණ වරෙන්තු නිකුත් කර තිබුණේය. ඊට හේතු වුණේ චන්දන තුවාල ලබා සිටි ආමි අමිලට ඇප උපස්‌ථාන කිරීමය.

උක්‌කුවාගේ අළුගෝසුවන් රැළ එකවරම තංගල්ල බස්‌ නැවතුම්පළට කඩා පැන්නහ. කිසිවකුටත් වරදක්‌ නැති චන්දන සොයා ගිය මේ අළුගෝසුවන් ඔහුව වෙඩි තබා ඝාතනය කළේ මුළු පළාතම භීතියට පත්කරමින්ය.

දිනෙන් දින ඉහළ යන තංගල්ලේ අපරාධ මර්දනයට එවකට පොලිසියට ශක්‌තියක්‌ තිබුණේ නැත. ඒ තංගල්ලේ තරුණ දේශපාලනඥයා වටා සිටි ගෝල බාලයන්ගෙන් පොලිසියට නොයෙකුත් බලපෑම් එල්ල වීම නිසාය. චන්දන ඝාතනය කර දින තුනක්‌ ගතවන්නට පෙර උක්‌කුවාගේ ගෝලබාලයන් තිදෙනකු පොලිසියට භාර වූහ. ඔවුන් චන්දනගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන සිටියහ.

එහෙත් මුළු තංගල්ලටම මහා පිළිලයක්‌ වූ උක්‌කුවා නිදැල්ලේ සිටියේය. මේ පිළිබඳව තංගල්ලම දැන සිටියහ. තංගල්ලේ තරුණ දේශපාලනඥයාට මෙන්ම පොලිසියට එරෙහිව කිසියම් ජනමතයක්‌ ගොඩනැගෙන්නට වුණේය.

උක්‌කුවාගේ ක්‍රියාකලාපය තම කීර්තිනාමයට කැළලක්‌ බව තේරුම් ගත් තරුණ දේශපාලනඥයා ඔහුට රැකවරණය දීම මගහැරියේය.

පොලිසිය එතැන් සිට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේය. තම නිවසේ සිටි උක්‌කුවා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු කුදලාගෙන ආවේ අපරාධකාරයකුට අවශ්‍ය සංග්‍රහයන් ලබා දෙමින්ය.

උක්‌කුවා සතුව තිබූ ආයුධ කීපයක්‌ද පොලිසිය සොයා ගත්තේය. ඒ අතර එල්.ටී.ටී.ඊ. යට අයත්ව තිබූ මයික්‍රෝ පිස්‌තෝලයක්‌ද විය. මිනී මැරීමට අනුබලදීම ආයුධ පරිහරණය යන චෝදනා මත උක්‌කුවා බන්ධනාගාරගත වුණේය.

එතැන් සිට වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ උක්‌කුවා සිටියේ තංගල්ල බන්ධනාගාරයේය. ඔහුට ඇප ලැබෙන්නේ පසුගිය ජුනි මාසයේදීය.

ඒ වන විට තංගල්ලේ පමණක්‌ නොව මුළුÊරටේම විශාල පෙරළියක්‌ ඇතිවී තිබුණේය. තංගල්ලේ දේශපාලනඥයාගේ බල බිඳී ගොස්‌ තිබිණි. ඔහු වටා එක්‌රොක්‌වී සිටි ගෝලබාලයන් කිසිවකුත් නැත. ඔහු ගොඩනගාගෙන සිටි සියලු බළකායන් කැඩී බිඳී සුණු විසුණු වී ගොස්‌ තිබුණේය.

දේශපාලන බලය අහිමි වීම නිසා උක්‌කුවා සිටියේද දැඩි භීතියකින්ය. තමන් කළ අපරාධවල පවු කොයි මොහොතක හෝ තමන්ට ගෙවා දැමීමට සිදුවනු ඇති බව ඔහු දැන සිටියේය.

උක්‌කුවා නැවත තංගල්ලට පැමිණි බව ආමි අමිල දැන සිටියේය.

මහ ලොකු චණ්‌ඩියගෙ වැඩ දැන් බලාගන්න පුළුවන්. ඌ වැඩි දවසක්‌ නටන්නෙ නැහැ. ළඟදීම මගෙන් සල්ලං වෙනවා.

ආමි අමිල සිය සගයන් සමග කීවේය. උක්‌කුවාගේ ගමන් බිමන් ගැන සොයා බැලීමට අමිල තම ගෝලයන් කීප දෙනකු යෙදෙව්වේය.

සෑම සතියකම ඉරිදා දිනයේ උක්‌කුවා තංගල්ල පොලිසිය ඉදිරියේ පෙනී සිටියේ අධිකරණ නියෝගයක්‌ මතය. උක්‌කුවා පොලිසිය වෙත එද්දී නිරායුධව පැමිණෙන බව ආමි අමිලගේ ගෝලබාලයන් සොයා ගත්හ.

අමිල අයියා මූට ගහන්න තියෙන හොඳම වෙලාව මේක තමයි. එහෙම නැතිනම් උක්‌කුවා යන යන තැන වෙපන් එකක්‌ අරගෙන යනවා. ආයුධ ළඟ තිබුණොත් අපට ටිකක්‌ කරදර වෙන්න වෙයි.

උක්‌කුවා ඝාතනය කිරීමට සියලු සැලසුම් සකස්‌ වුණේය. ඒ සඳහා තමන් පෞද්ගලිකවම එක්‌වන බව ආමි අමිල සිය ගෝලයන්ට කීවේය. ඝාතනය සඳහා අවශ්‍ය කරන අවි ආයුධ මෙන්ම මෝටර් රථයද සූදානම් කෙරිණි.

පසුගිය 26 වැනිදා උක්‌කුවා පරලොව යෑවීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේය.

තමන් ඝාතනයට ආමි අමිල සූදානමින් සිටින බව නොදත් උක්‌කුවා එදින උදැසනම තංගල්ල පොලිසිය වෙත ආවේ පොලිස්‌ පොතේ අත්සන් තැබීම සඳහාය.

උක්‌කුවා තම සගයන් දෙදෙනකු ද සමග ත්‍රිරෝද රථයකට ගොඩවූ අතර තවත් සගයකු යතුරුපැදියකින් ඔහුට ආරක්‍ෂාව ලබා දෙමින් ගමන් කරන්නට වුණේය.

එහෙත් මාරයා උක්‌කුවා අබියසට පැමිණ සිටියේය.

උක්‌කුවා තම සගයන්ද සමග තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනය වෙත ගියේ උදැසන ආහාරය ගැනීමේ බලාපොරොත්තු ඇතිවය.

එහෙත් ආමි අමිල ඇතුළු සගයන් ඉස්‌සර වූහ. ඔවුන් පැමිණි මෝටර් රථය උක්‌කුවාගේ නවාතැන්පළ අසල එකවරම නතර කළේ ත්‍රිරෝද රථයද පෙරළා දමමින්ය.

මෝටර් රථයෙන් බැසගත් වෙඩික්‌කරුවන් දෙදෙනෙකි. එකකු අත ටී 56 ගිනි අවියකි. අනිකා අත රිපීටර් වර්ගයේ තුවක්‌කුවකි. සිදුවන්නට යන මහා බියකරු දර්ශනය දුටු ප්‍රදේශවාසීන් හිස්‌ලූ ලු අත දිවයන්නට වූහ.

තුවක්‌කුකරුවන් දෙදෙනා එකවරම ක්‍රියාත්මක වූහ. මුළු පළාතම දෙවනත් කරමින් පිටවූ වෙඩි උණ්‌ඩ උක්‌කුවාගේ සිරුර විනිවිද ගියේය. ඔහුගේ සගයන් දෙදෙනාද වෙඩි ප්‍රහාරයට ලක්‌ වූහ. තත්පර ගණනකදී සිය ඉලක්‌කය සපුරා ගත් ඝාතකයන් මෝටර් රථයේ නැගී ඉගිල ගියේ තංගල්ලට මහා පිළිලයක්‌ වූ උක්‌කුවා පරලොව යවමින්ය.

දේශපාලන බලයෙන් ඔළුව උදුම්මවා ගෙන අහිංසකයන් අමු අමුවේ ඝාතනය කළ සාහසිකයන්ට හෙටක්‌ නැත. ඔවුන්ගේ ජීවිත අකාලයේ විනාශ වී යැම වැළැක්‌විය නොහැක. උක්‌කුවාට සිදු වුණේද එයමය.

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.