තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝගයක්‌ද?

මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක්‌ නොව එය ඝාතනයක්‌ බව මෙතෙක්‌ සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27 වැනිදා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සහ රස පරීක්‍ෂක වාර්තාවේ දොaෂ තිබූ බවද අධිකරණය වෙත හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් එම පරීක්‍ෂණය සිදුකළ නිලධාරීන් කැඳවා දීර්ඝ ලෙස කළ විමර්ශනයේදී තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්‌ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මෙතෙක්‌ නිකුත් කර නැති බැවින් එය වහාම ඉදිරිපත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ට නියෝග නිකුත් කරන ලෙසද රහස්‌ පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වසීම් තාජුඩීන් ගේ අබිරහස්‌ මරණය මේ වන විට රටේ ප්‍රධාන පෙළේ මාතෘකාවක්‌ බවට පත්වී හමාරය. දේශපාලන වේදිකාවේ පවා තාජුඩීන්ගේ අබිරහස්‌ මරණය සම්බන්ධයෙන් වාද විවාදයන්ට බඳුන් වී තිබෙන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම අබිරහස්‌ මරණය සම්බන්ධයෙන් ඉතාම ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මක කරමින් සිටියි.

තාජුඩීන් ඝාතනය කළ ආකාරය ඊට අනුබල දුන් පුද්ගලයන් මෙන්ම එය සිදුකරනු ලැබූ සාහසිකයන් පිළිබඳවද සියලු තොරතුරු මේ වන විට හෙළිදරව් වී හමාරය.

තවත් නොබෝ දිනකින් මේ මහා අපරාධයේ සියලු චූදිතයන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

පෞද්ගලික පළිගැනීමක්‌ අරබයා සිදුකළ මේ මහා අපරාධය වසර තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ වැලලී ගොස්‌ තිබුණේය. ඝාතකයන් සිතා සිටියේ සදාකාලිකව වළලා දැමිය හැකි අපරාධයක්‌ වනු ඇති බවය.

එහෙත් සත්‍ය කිසිදා යටපත් කළ නොහැක. සොබාදහම විසින් හෝ කිසියම් දිනකදී එය හෙළිදරව් කරන්නේය.

මොහොමඩ් වසීම් තාජුඩීන් 28 හැවිරිදිය. වැල්ලවත්තේ පදිංචිකරුවකු වූ ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන්ය. එකල පාසල් රගර් කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩකයකු වූ තාජුඩීන් පසු කලෙක ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්‌ඩායමටද එක්‌ වුණේය.

කලක්‌ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්‌ඩායමේ ජනප්‍රියතම ක්‍රීඩකයා වූයේ වසීම් තාජුඩීන්ය. 2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය ලැබෙන්නේද ඔහුටය. ඒ වන විට ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උප නායකයා ලෙසද කටයුතු කරමින් සිය කණ්‌ඩායම ආසියාවේ දක්‍ෂ කණ්‌ඩායමක්‌ දක්‌වා පෙරට ගෙන යැමට ක්‍රියා කළේය.

මෙරට රග්බි ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත අනුපමේය සේවාවක්‌ ඉටුකළේය.

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට මේ තරම් ඉහළ වටිනාකමක්‌ ලැබෙන්නේ නාමල් රාජපක්‍ෂ ප්‍රමුඛ සොහොයුරන් මේ සඳහා දැක්‌වූ උනන්දුව සහ කැපකිරීම නිසාය.

වසීම් තාජුඩීන් නාමල් රාජපක්‍ෂ මෙන්ම යෝෂිත රාජපක්‍ෂගේද කිට්‌ටුවන්ත මිතුරෙකි. පාසලේදී පවා ඔවුන් එකට රග්බි ක්‍රීඩා කළේය. සම වයසේ මිතුරන් වූ මොවුන් ප්‍රිය සම්භාෂණවලදී පවා එක්‌ව විනෝද වූහ.

හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වසීම් තාජුඩීන් පෙරළිකාර ක්‍රීඩකයකු බවට පත්ව සිටියේය. තාජුඩීන් පෙන්වූ සුපිරි දක්‍ෂතා නිසා ඔහු තම ක්‍රීඩා සමාජයට ලබා ගැනීමට බොහෝ බලවත් පුද්ගලයන් වෙහෙසුණහ. ඔහුට විශාල මිලක්‌ද නියම කළේය. එහෙත් තාජුඩීන් හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වසර ගණනක්‌ ක්‍රීඩා කළේය.

තාජුඩීන් දේශපාලන බලවතකුගේ උදහසට ලක්‌වන්නේ මේ කාල සීමාවේදීය. තරුණියක්‌ සම්බන්ධයෙන් වූ ආරවුලක්‌ මෙම උදහසට හේතුවී තිබූ බව මුළු රගර් පිටිය පුරාම පැතිර ගිය ප්‍රසිද්ධ රහසක්‌ විය.

වසීම් තාජුඩීන් අබිරහස්‌ අන්දමින් මිය යන්නේ මේ ප්‍රශ්නකාරී වාතාවරණය පවතිද්දීය.

2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින අලුයම නාරාහේන්පිට නගරයේ ජනශූන්‍ය ස්‌ථානයක මෝටර් රථයක්‌ ගිනි ගනිමින් තිබුණේය.

නාරාහේන්පිට පොලිසිය එහි පැමිණෙද්දී මෝටර් රථයෙන් වැඩි ප්‍රමාණයක්‌ දැවී පිළිස්‌සී ගොස්‌ තිබිණි. පිළිස්‌සී විනාශ වූ රථය තුළ පුද්ගලයකු මියගොස්‌ සිටින බව පොලිසිය සොයා ගත්තේය.

මියගිය පුද්ගලයා වසීම් තාජුඩීන් බව පොලිසිය හඳුනා ගත්තේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ ක්‍රියාත්මක වුණේ ඉතාම මන්දොaත්සායී අන්දමටය.

තාජුඩීන්ගේ මුදල් පසුම්බිය වෙනත් ස්‌ථානයක වැටී තිබියදී පොලිසිය වෙත ලැබෙන්නේය. එහෙත් ඒ පිළිබඳව පොලිසියට ගැටලුවක්‌ වුණේ නැත. මුදල් පසුම්බිය තිබූ ස්‌ථානය පිළිබඳව හෝ කිසිවක්‌ සොයා බැලුවේ නැත.

පොලිසිය දිගින් දිගටම කියා සිටියේ තාජුඩීන්ගේ මරණය සිදුවී ඇත්තේ හදිසි අනතුරකින් බවය. මෝටර් රථය අනතුරට ලක්‌වීමෙන් පසු ගිනිගෙන ඇති බවත් තාජුඩීන් මියයන්නේ ඒ ගින්නට මැදිවී බවත් පොලිසිය කියා සිටියේය.

තාජුඩීන්ගේ මරණය පිටුපස කිසියම් අබිරහසක්‌ සැඟවී තිබෙන බව බොහෝ දෙනෙකු දැන සිටියහ. එහෙත් ඒ පිළිබඳව කිසිවකුත් ප්‍රකාශ නිකුත් කිරීමට පවා ඉදිරිපත් නොවූයේ තාජුඩීන්ට අත්වූ ඉරණම ඔවුන් හොඳින් දැන සිටි නිසාය.

ආණ්‌ඩු පෙරළියත් සමගම තාජුඩීන්ගේ අබිරහස්‌ මරණය සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ නැවතත් කරළියට ආවේය. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ කිරීමේ කාර්යභාරය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරෙන්නේ ඉන් පසුවය.

වැඩි දවසක්‌ ගතවන්නට පෙර තාජුඩීන්ගේ අබිරහස්‌ මරණය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණේය.

තාජුඩීන්ගේ ඝාතනය සිදුවූ ආකාරය ඔහු පැහැරගත් ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට පොලිසිය හෙළිකරගෙන හමාරය.

වසීම් තාජුඩීන් සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගනු ලබන්නේ 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා මධ්‍යම රාත්‍රියේදීය. නාරාහේන්පිට පිහිටි සිය මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ආපසු නිවස බලා යද්දී මෙම පැහැරගැනීම සිදුව තිබුණේය.

මහා දේශපාලන බලයකින් හෙබි පුද්ගලයකුගේ නියෝග මත තාජුඩීන් පැහැරගත් සාහසික පිරිස ඔහුට කෲර වධහිංසා පමුණුවා අමානුෂික ලෙස ඝාතනය කරන්නේය.

පසුව තාජුඩීන්ගේ රිය තුළම ඔහුගේ නිසල සිරුර දමාගෙන නාරාහේන්පිට ප්‍රදේශයේ පාලු ස්‌ථානයකට රැගෙන ගොස්‌ ඊට ගිනි තබයි.

තමන්ට ලැබුණු නියෝග අකුරටම ක්‍රියාත්මක කළ සාහසිකයන් නාරාහේන්පිටින් නික්‌ම යන්නේ තාජුඩීන් ඝාතනය සදාකාලික වැළලී යන අපරාධයක්‌ වනු ඇතැයි සිතාය.

මරණ පරීක්‍ෂණයේදී තාජුඩීන්ගේ සිරුර හඳුනා ගන්නේ ඔහුගේ දකුණු පාදයේ ශල්‍යකර්මයක්‌ මගින් සවිකර තිබූ යකඩ තහඩුවෙන්ය. රගර් ක්‍රීඩාවේ යෙදී සිටියදී සිදුවූ අනතුරකින් පසු මෙම යකඩ තහඩුව ඔහුගේ පාදයට යොදා තිබුණේය.

තාජුඩීන්ගේ මරණය සැක සහිත එකක්‌ බව එදා සිදුකළ මරණ පරීක්‍ෂණ වාර්තාවේද සඳහන්ව තිබුණේය. තාජුඩීන්ගේ සිරුර පිළිස්‌සී යැමට පෙර සිරුරේ ස්‌ථාන කීපයකට මාරාන්තික ප්‍රහාර එල්ල වී තිබූ බව මරණ පරීක්‍ෂණ වාර්තාවලින් හෙළිව තිබුණේය.

මෙය මිනී මැරුමක්‌ බව ඔප්පු කිරීමට ඒ සාක්‍ෂි ප්‍රමාණවත් විය. එහෙත් පොලිසිය ඒ මොහොතේ නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළේය. ඉහළින් ආ නියෝග පොලිසිය අකර්මණ්‍ය කිරීමට හේතුවූ බව ද බොහෝ දෙනකු දැන සිටියහ.

වාහනය අනතුරට ලක්‌වී ගිනි ගන්නා අවස්‌ථාව වන විට වසීම් තාජුඩීන් මියගොස්‌ සිටි බව ඒත්තු ගැන්වීමට තවත් ප්‍රබල සාක්‍ෂියක්‌ මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබුණේය.

වාහනය ගිනි ගන්නා අවස්‌ථාව වන විට තාජුඩීන් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් සිටියේ නම් ඔහුගේ ශ්වසන පද්ධතිය තුළ කාබන් මොනොක්‌සයිඩ් වායුව එකතු වී තිබිය යුතුය. එහෙත් තාජුඩීන්ගේ පෙනහලු තුළ කාබන් මොනොක්‌සයිඩ් වායුව තැන්පත් වී නොතිබිණි.

ඉන් පැහැදිලි වන්නේ තාජුඩීන්ගේ සිරුර පිළිස්‌සී යැමට පෙර ඔහු මියගොස්‌ සිටි බවය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විධිමත් පරීක්‍ෂණ වාර්තාවක්‌ සැකසෙමින් තිබෙන්නේය. මරණ පරීක්‍ෂණ වාර්තාවන්ට අනුව තාජුඩීන් ඝාතනය කිරීමට පෙර මිටියක්‌ වැනි මොට ආයුධයකින් ඔහුගේ හිසට දරුණු පහරදීමක්‌ සිදුකර ඇත.

තියුණු ආයුධයකින් ඔහුගේ ගෙලට ඇන දරුණු තුවාල සිදුකර තිබෙන බව තාජුඩීන්ගේ මරණ පරීක්‍ෂණයේදී හෙළිව තිබෙන්නේය.

සිරුරේ ප්‍රධාන අවයව වලට මොට ආයුධවලින් පහරදීම, මුඛයේ ඉදිරිපස දත් හතරක්‌ කඩා දැමූ බවට සලකුණු මරණ පරීක්‍ෂණයේදී හඳුනාගෙන තිබේ.

ඊට අමතරව ඉළ ඇට බිඳීම, කලවාවල අස්‌ථි බිඳ දැමීම, කකුලේ පේශීයකට වීදුරු බෝතලයක්‌ කඩා ඇන සිදුකළ තුවාලයක්‌ද තාජුඩීන්ගේ සිරුරේ තිබී හමුවී ඇත.

මෙම මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් පෙනෙන්නේ තාජුඩීන් ඝාතනය වීමට පෙර කෲර වධ හිංසාවන්ට ලක්‌ව ඇති බවය. ඔහු මියයන තුරුම පහරදී ඇති බවය.

වසීම් තාජුඩීන් යනු ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ඔහුටත් ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමේ අයිතියක්‌ තිබෙයි.

මැර බලය පාවිච්චි කර මේ ආකාරයට තරුණයකු ඝාතනය කිරීම මොනතරම් සාපරාධී ක්‍රියාවක්‌ද? මේ අපරාධය කළ වුන්ව සොයාගෙන නිසි දඬවම් දිය යුතුය.

අමිහිරි සත්‍ය හෙට දිනයේ හෙළිදරව් වනු ඇත. එවිට රටේ ප්‍රභූන් ලෙස සිටි මහා අපරාධකාරයන්ගේ නිරුවත රටටම ප්‍රදර්ශනය වනු ඇත.

හේමන්ත රන්දුණු
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.