බදුල්ලේ චිකාගෝ ක්‍රමයේ මිනී මැරුම



දේශපාලන ලෝකය උණුසුම් කළ ආප්ප කතාව අපේ මතකයෙන් ඈත් වී නොමැත. ඒ මතකය දිගු කලක්‌ අප අතර පවතීවි. ඒ අතරට ආප්ප නිසා සැකයක්‌ මතු වී ජීවිත හානියක්‌ සිදු වූ පුවතක්‌ පසුගිය සතියේ බදුල්ලෙන් වාර්තා විය.

මුස්‌ලිම් ජනතාව රාමසාන් සමරන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. අන් අයගේ දුක වේදනාව, බඩගින්න තමන්ට දැනෙන්න ඉඩ හරිමින් ඔවුහු 'නෝම්බි' අල්ලති. ඒ කාලය තුළ ඔවුන් කිසිදු ආහාරයක්‌ තබා කෙළවත් ගිලින්නේ නැතිලු. 'නෝම්බි' අල්ලන්න පෙර දවසේ පාන්දරම කා බී වැඩ කිරීම ඔවුන්ගේ සම්ප්‍රදායය.

බදුල්ලේ ඉඹුල්ගොඩ උදයගම එකිනෙකට ආසන්නයේ පිහිටි නිවාස දෙකක ජාන් හා ඔහුගේ පවුලේ උදවියත්, සුරේෂ් හා ඔහුගේ පවුලේ උදවියත් ජීවත් වූහ.

ජාන් දරුවන් දෙදෙනකු ඔහුගේ බිරිඳ හා බිරිඳගේ අම්මා ඇතුළු පිරිස එකම නිවසේ ජීවත් විය. ලංකා විදුලිබල මණ්‌ඩලයේ කොන්ත්‍රාත් කම්කරුවකු ලෙස සේවය කිරීම ඔහුගේ රැකියාවයි. මීට අමතරව ජාන්ගේ මව ආප්ප හදා විකිණීමෙන්ද අමතර ආදායමක්‌ ලබා ගත්තාය. සුරේෂ් දරුවන් හතරදෙනකු හා ඔහුගේ බිරිඳ සමඟ ජීවත් විය.

මීට සතියකට පමණ පෙරදී උදේ නෝම්බි අල්ලන්න පෙර තමන්ට හෝ ළමුන්ට කන්න දෙයක්‌ නොතිබිණි. මේ නිසා සුරේෂ්, ජාන්ගේ නිවසට ගොස්‌ ආප්ප මිලදී ගෙන ආවේය. එවෙලේ ජාන් නිවසින් එළියට ගොස්‌ නිවසට එමින් සිටි බැවින් දෙදෙනා මුහුණට මුණ ගැසිණි.

"ආ...... උඹ මොකද උදේම අපේ ගෙදර ආවේ"

ජාන් සුරේෂ්ගෙන් ඇසුවේ තරමක කේන්තියකිනි. එහෙත් සුරේෂ්ට එය එතරම් ප්‍රශ්නයක්‌ නොවූයේ ඔහු ආප්ප මිලදී ගන්න ගිය නිසාවෙනි. මේ වන විට වේලාව පාන්දර 4.30 - 5.00 පමණ වී තිබිණි.

"ඇයි උඹට ප්‍රශ්නයක්‌ද? මම ආප්ප ගන්න ගියා. උඹේ ගෑනි ගන්න මම ගියේ නෑ" සුරේෂ් ද ජාන්ගේ ප්‍රශ්නයට ගැළපෙන තරුණ උත්තරයක්‌ දුන්නේය. ඒ උත්තරයෙන් ජාන්ගේ සිත පෑරුණි. නමුත් ඒ ගැන ඔහු කිසිවක්‌ නොකියා තමන්ගේ බිරිඳ සමඟ සුරේෂ්ගේ අනියම් සම්බන්ධයක්‌ ඇති බවට සැක කළේය. දින සති ගෙවෙද්දී ජාන්ගේ සිත තුළ පැළ වූ සැකය හේතුවක්‌ නොමැතිවම මෝදු වන්නට විය.

පසුගිය සති අන්තයේ ඔහු විදුලිබල මණ්‌ඩලයේ වැඩට ගියත් ටිකක්‌ කලින්ම වැඩ බිමෙන් එළියට ආවේය. බදුල්ල නගරයේ ඇති 'විශ්වම්' නමැති වෙළෙඳසලට ගොඩ වූ ජාන් සුදු යකඩ පිහියක්‌ මිල දී ගත්තේය. විශ්වම් කඩේ සවිකර ඇති සී.සී. ටී.වී. කැමරාවේ ජාන්ගේ පිහිය මිලදී ගැනීම ද සටහන් විය. පිහිය මිලදී ගත් ජාන් එහි දිග මැන ගත්තේ වමතේ වැලමිට හන්දියේ සිට මැදඟිල්ල අතර පිහිය තබාය.

පිහිය මිලදී ගත් ඔහු සුරේෂ් නගරයේ වඩේ විකුණන ස්‌ථානයට ආවේය. සුරේෂ් සිය නිවසේදී හදන වඩේ ත්‍රීවීල් එකකින් නගරයට ගෙන විත් විකුණන්න පුරුදු වී සිටි අයෙකි. එදින සුරේෂ් වඩේත් අරගෙන ඔහුගේ සුපුරුදු ස්‌ථානයට එන විට ජාන් එහි සිටින බව දුටුවත් ඔහුට ජාන් අසල්වැසියකු හැර වෙන කිසිදු ප්‍ර්‍රශ්නයක්‌ ඇති අයෙකු ලෙස සිතීමට අවශ්‍යතාවක්‌ නොවීය.

සුරේෂ් ත්‍රිරෝදයෙන් පැමිණ තම වඩේ විකුණන කුටිය ඉදිරිපිට නවතා තිබූ බයිසිකලයක්‌ තල්ලු කර අයින් කර නැවත ත්‍රීවීල් රථයේ තිබූ වඩේ ගන්නට එදෙසට ගමන් කරද්දී ජාන් අලුතින්ම මිලදී ගත් සුදු යකඩ පිහිය සුරේෂ්ගේ බඩ හරහා ඇතුළු කළේ ක්‍ෂණිකවය. අන පේක්‍ෂිත ප්‍රහාර යෙන් බේරෙ න්නට සුරේෂ්ට දිව යැමට හැකි වූයේ අඩි 10 - 15 ක්‌ පමණි. නැවතත් ජාන් ඔහු වෙත කඩා පැන තම අලුත්ම පිහියෙන් සුරේෂ්ගේ ගෙල කපා දැම්මේය.

සුරේෂ් අවසන් ගමන් ගියේ එසේය. බදුල්ලම කම්පා කරමින් භීතියට පත් කරමින් මෙම මරණය සිදු කළ මොහොමඩ් ජාන් ඉස්‌මත් (36) එම ස්‌ථානයේදීම පොලිස්‌ අත්අඩංගුවට පත්වූයේ මරණයට යොදා ගත් අලුත මිලදී ගත් සුදු යකඩ පිහියත් සමඟය.

බදුල්ල පොලිසියේ ස්‌ථානාධිපතිගේ උපදෙස්‌ අනුව සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ බදුල්ල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්‌ථානාධිපති පො. ප. මංගල මහතා ඇතුළුÊපොලිස්‌ කණ්‌ඩායම ජාන්ගේ හැසිරීම් පිළිබඳ තොරතුරු බොහොමයක්‌ අනාවරණය කර ගෙන ඇත.

ජාන්ට යම්කිසි මානසික ආබාධයක්‌ ඇද්දැයි සැක සිතෙන තරමට ඔහුගේ හැසිරීම් අස්‌වාභාවිකය. ඔහු නිවසේ සිය බිරිඳට රාත්‍රි කාලයේ ඇඳේ නිදා ගැනීමට සලස්‌වා ඔහු ඒ අසල බිම නිදා ගන්නේ ගෙදර දොර දෙසට ඔළුව සිටින සේ ය. ඒ තම බිරිඳ වෙනත් පිරිමින් ඇසුරු කරන බවට ඔහු තුළ මෝදු වෙමින් තිබූ සැකය හේතුවෙනි.

සැකය මාරාවේශයෙන් සුරේෂ් බිලි ගැනීමත් සමඟ ජාන් සැකය විසින්ම සිරගත කරන ලද්දේය. ඒ ලබන 7 දක්‌වාය.

බදුල්ල පොලිසිය මේ අපරාධය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ජයසූරිය උඩුකුඹුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.