ආදරය ගැන අනූෂා කියන කතාව

ජනවාරියේ බඳිනවා නේද?
මුලදී එයා ක්‍ෂෙත්‍රයට සම්බන්ධ වුණා
දැනට ඔය ඇති

මම කවදාවත් කට්‌ටි පැන්නේ නැහැ

විසේකාර, දඟකාර, කටකාර චරිතයක්‌ විදිහට දුටුව අනූෂා දමයන්තිගෙන් මාධ්‍ය හැමදාම ඇහැව්වේ කවදාද කසාද බඳින්නේ කියලා. වෙනදා වගේම අපි මෙදා පාරත් ඇයගෙන් ඒ ප්‍රශ්නය ඇහැව්වා. හැබැයි මෙදා පාර ඒ ප්‍රශ්නයට ඇය අපිට දුන්නේ වෙනදා දෙන උත්තරය නම් නෙමෙයි. ඒ ගැන දැනගන්න අනූෂා සමග අපි කළ කතාබහ කියවලා බලන්න.

කාලෙකට පස්‌සේ අපිට අනූෂාව ටෙලි නාට්‍යයකින් දකින්න ලැබෙනවා ?

මම ටෙලි කරනවා හරි අඩුයි. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ දැනෙන යමක්‌ කරන්න පුළුවන් නම් විතරයි. ඒ නිසාම තමයි හුදී චරිතය භාරගත්තේ.

මේ දිනවල වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකුට පෙම් කරනවාලු නේද?

එරංග සේනාරත්නගේ මම සහභාගි වුණු දෙවැනි නිර්මාණය වන නෝනෙ මගෙ සුදුනෝනේ චිත්‍රපටයේ තමයි මම ඒ වගේ චරිතයක්‌ රඟපාන්නේ. අපි ඒ නිර්මාණයෙන් කියන්නේ ආදරයට වයස බලපාන්නේ නැහැ. විල්සන් ගුණරත්න අයියාට තමයි ආදරය කරන්නේ. ඒක හාස්‍යය මුසුවුණ කතාවක්‌.

සැබෑවටමත් නෝනා කෙනෙක්‌ වෙන්න යනවා නේද?

ඒ ගැන ලබන ජනවාරි මාසයේ කතාබහ කරමු.

දැන්ම කතා කරන්න අකැමැතිද?

ඔව්. ආදරණීය ප්‍රේක්‍ෂකයන් බලාගෙන හිටපු, හැම මාධ්‍යයක්‌ හරහා මගෙන් අපහු ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවා.

ආදරය ගැනනේ ?

ඔව්. ඒ ගැන මට දැනට කියන්න තියෙන්නේ මම ආදරය කරනවා. මම පෙම්වතියක්‌. ඒ කවුද? කාටද? කොහොමද කියන එකටත් වඩා මගේ විවාහය කවදාද කියන එක රහසක්‌. ඒක අනාගතයේදී කියන්නම්.

ලබන ජනවාරියේ විවාහ වෙනවා කියලයි අපට දැනගන්න ලැබුණේ ?

ඒක රහසක්‌. මම කා සමගද විවාහ වෙන්නේ. කවදාද විවාහ වෙන්නේ කියලා දැන්ම කියන්නේ නැහැ.

අනූෂාගේ විවාහයට බාලගිරි දෝෂයද කියලත් මාධ්‍ය විමසුවා. ඒවාට දැන් මොනවගේ උත්තරයක්‌ද දෙන්නේ ?

මම හැමදාම කාලයට ඉඩදීලා හිටියා. කාලයම මට උත්තර ගෙනත් දුන්නා. මගේ අම්මාගේ වද කිරීමත් එක්‌ක මම හිතුවා විවාහ වෙන කාලය හරි කියලා. ඒක හින්දා පෙම්වතියක්‌ වුණා.

ජීවිතයේ සියල්ල සම්පූර්ණයි කියලා හිතෙනවාද?

මට කවදාවත් අඩුපාඩුවක්‌ දැනුණේ නැහැ. හැමතිස්‌සේම මම හිටියේ සන්තෝෂයෙන්. ඒක නිසා විවාහය කියන එක තමන්ගේ ජීවිතයට අවශ්‍යයි.

සුදුසු කාලයේදී සුදුසු දේවල් ලැබුණා කියලා හිතනවාද?

සුදුසු වෙලාවේදී මම තීරණය ගත්තා කියලා හිතනවා.

මේ දවස්‌වල කේන්දර බලනවා කියලත් ආරංචියි?

මම අම්මාට කිව්වේ කේන්දර බලන්න එපා කියලා. කේන්දරේ තමයි හැමදාම ජීවිතේ ගැටලුවක්‌ වුණේ.

ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ලු නේද?

ක්‍ෂේත්‍රයට මුලදී නම් සම්බන්ධවෙලා හිටියා. දැනට ඔය ඇති ඒක රහසක්‌නේ.

රංගනයෙන් සමුගන්නවාද?

මම කවදාවත් රංගනයෙන්වත්, නර්තනයෙන්වත් සමුගන්නේ නැහැ. යම් තෝරාබේරා ගැනීමක්‌ කරන්න පුළුවන්. විවේකයක්‌ ගන්නත් පුළුවන්.

දැන් නර්තනයේ යෙදෙන්නේ නැතිද?

මම හොඳට හොයලා බලලා තමයි නර්තන ප්‍රසංග සඳහා සහභාගි වෙන්නේ. ලංකාවේ නර්තන ප්‍රසංගවලට සහභාගි නොවුණාට මට විදෙස්‌ රටවලින් ගොඩක්‌ ආරාධනා ලැබෙනවා.

ඒ විදෙස්‌ ප්‍රසංගවලට අම්මාත් සහභාගි වෙනවාද?

අනිවාර්යයෙන්ම. මම ගිය හැම රටකටම වගේ අම්මා එක්‌කගෙන ගියා.

මොන දේ කළත් අම්මා පිටුපසින්මයි ?

මම හිතන්නේ අනූෂා දමයන්ති කියන සිනමා නිළිය හෝ නර්තන ශිල්පිණිය යම් ජයග්‍රහණයක්‌ ලැබුවා නම් ඒ හැම දෙයක්‌ම ලැබුණේ අම්මා නිසයි.

අම්මා පිටුපසින් සිටින නිසා අනූෂාට කට්‌ටි පනින්න හම්බවෙන එකක්‌ නැහැ?

මම කවදාවත් කට්‌ටි පනින්න බැලුවේ නැහැ. මගේ අම්මාට සමාජය ගැන හොඳ තේරුම්ගැනීමක්‌ තියෙනවා. එයා නිසා මට කට්‌ටි පනින්න වුවමනාවක්‌ නැහැ.

එන්න එන්න ලස්‌සනවීමේ රහස මොකක්‌ද?

ඒක මගේ හිත හොඳවීම වෙන්න ඇති. මම කාටවත් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වපුරන්නේ නැති චරිතයක්‌. මම හැමෝටම ආදරෙයි. ඒ වගේම සොබාදහමටත් මම හරිම ආදරණීය චරිතයක්‌.

දිනේෂ් විතාන

ඡායා - ලක්‌මාල් ස්‌පෙන්සර්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.