ශ්‍රී.ල.නි.පෙන් පන්නපු අයගේ රැස්‌වීම්වලට චන්ද්‍රිකා නෑ

දයා ලංකාපුර

යහපාලනය සඳහා වූ එක්‌සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට තරග කරන අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, එස්‌. බී. නාවින්න, එම්. කේ. ඩී. ඒ. එස්‌. ගුණවර්ධන සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ මැතිවරණ ප්‍රචාරක රැස්‌වීම්වලට සහභාගි නොවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය තීරණය කොට ඇත.

ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මොවුන් පස්‌දෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීම නිසා පක්‍ෂයේ අනුශාසිකාව වශයෙන් ඔවුන්ගේ රැස්‌වීම්වලට සහභාගිවීම ප්‍රශ්නයක්‌ බැවින් ඇය එම රැස්‌වීම්වලට සහභාගිවීමෙන් වැළකී සිටිනු ඇතැයි කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග පවසයි.

එහෙත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මගින් පැවැත්වීමට යන ජනරැලිවලට කුමාරතුංග මහත්මිය සහභාගි වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළ අතර එම එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ද එය තහවුරු කළේය.

විදේශගතව සිට පසුගිය 25 දා පෙරළා දිවයිනට පැමිණි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අර්ජුන රණතුංග මහතාගේ සහ අනිකුත් අයගේ මැතිවරණ ව්‍යාපාරවලට එක්‌වීමට මුලින් තීරණය කොට තිබිණි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතා ඇතුළු 5 දෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් කුමාරතුංග මහත්මිය දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කොට ඇති බව ද ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.