මන්ත්‍රීන් බිලීබෑමේ මෙහෙයුමක්‌ ඇරඹිලා

අජිත් අලහකෝන්

නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන් පසු පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එජනිස සහ එජාපෙ ජ්‍යෙෂ්ඨයන් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට අනාවරණය විය.

ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට මෙන්ම අගමැති ධුරය සඳහා ද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ තමන් සතුව ඇතැයි පෙන්වීම සඳහා මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.

ඒ අනුව අගෝස්‌තු 17 වැනිදා මැතිවරණයට ප්‍රධාන පක්‍ෂ දෙකෙන් මෙන්ම සුළු පක්‍ෂවලින් ද තරග කරන අපේක්‍ෂකයන් අතරින් ජයගනු ඇතැයි විශ්වාස කරන පුද්ගලයන් සමඟ ප්‍රධාන පක්‍ෂ දෙකේ ජ්‍යෙෂ්ඨයන් රහසිගතව සාකච්ඡා කරමින් සිටින බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ ප්‍රතිඵල අනුව ප්‍රධාන පක්‍ෂ දෙකම කරට කර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්‌ ලබා ගනු ඇතැයි විශ්වාස කරන දෙපාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයන් ඒ අනුව තම ගොඩ වැඩිකර ගැනීම සඳහා මන්ත්‍රී වූ පසුව පැති මාරු කිරීම සඳහා අපේක්‍ෂකයන් පොළඹවන බව ද ඉහත ආරංචි මාර්ග පැවසුවේය.

මෙහිදී විවිධ වරප්‍රසාද, ඇමැති ධුර, මුදල් ලබාදීමට දෙපාර්ශ්වය විසින්ම අපේක්‍ෂකයන්ට පොරොන්දු ලබා දෙන අතර මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්‌ ද එජනිස සහ එජාපෙ වෙනුවෙන් මෙම මෙහෙයුමට මැදිහත්ව සිටින බවට ද තොරතුරු අනාවරණය විය. මේ අනුව 17 දායින් පසු අභිනව පාර්ලිමේන්තුව රැස්‌වන්නේ සැප්තැම්බර් 01 වැනිදා වන අතර අගෝස්‌තු 17 දාත්, සැප්තැම්බර් 01 දාත් අතර කාලය තුළදී මන්ත්‍රීවරුන් රුපියල් කෝටි ගණන්වලට විකිණෙනු ඇතැයි ද ඉහත ආරංචි මාර්ග කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.