මගේ ස්‌ථාවරය ඒකීය රටක්‌ මං කවදාවත්
මේ රට කඩන්නේවත් බෙදන්නේවත් නෑ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ සටනේ මෙහෙයුම්කරු ලෙස පමණක්‌ නොව සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හැඳින්වෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජාතික පෙරමුණේ මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ ද ප්‍රබල ප්‍රතිවාදියා ලෙස ද පත්ව සිටියි. රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමට ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග වැදුණු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි සියලුම සිවිල් සංවිධාන ද මෙම මැතිවරණයේදීත් ඔහුට විරුද්දව පෙළගැසී සිටිති. මේ සිවිල් සංවිධාන අතර මුලින්ම සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක්‌ උදෙසා වූ ව්‍යාපාරය පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ සමග සම්මුතියකටද එළැඹුණි. සෝභිත හිමියන් ප්‍රකාශ කරන්නේ තම සංවිධානය කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ සමග සම්බන්ධ නැති මාතෘ භූමිය වෙනුවෙන් මෙසේ සම්මුතිකයකට එළඹ සිටින බවය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලනිපයේ සභාපතිවරයා මෙන්ම සන්ධානයේ සභාපති ධුරය ද හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඡන්ද සටනේ තවමත් නිරීක්‍ෂකයකුගේ භූමිකාවේ සිටියි. මහින්ද රාජපක්‍ෂ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා දේශපාලන වේදිකාවලට ගොඩවෙද්දී ශ්‍රී ලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කර ඇර සිටීම ගැන දේශපාලන ක්‍ෂේත්‍රය තුළ නොයෙක්‌ කතාබහ ද සිදු වේ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිචාරය සන්ධානයට කෙසේ බලපානු ඇද්ද? පසුගියදා නිකුත් වූ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන "අනාගතයට සහතිකයක්‌" නිල වශයෙන් ජනගත කරන දවසේත් මෛත්‍රී සිටියේ වෙනත් නිල උත්සවයකය. එහෙත් සන්ධානයේ ලේකම්වරයාත් ශ්‍රී ලනිපයේ ලේකම්වරයාත් සන්ධානයේ වෙනත් පක්‍ෂ කීපයක ප්‍රධානීන් කීපදෙනකුත් පැජට්‌ පාරේ ජනාධිපති නිල නිවසට ගොස්‌ මැතිවරණ ප්‍රකාශනය පිළිගැන්වූහ. මැතිවරණයේ ප්‍රධානතම සිදුවීම වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමට මෛත්‍රී ජනාධිපති නොයාම සන්ධාන නායකයන්ගේ ඇස්‌ රතු කරන සිද්ධියක්‌ වූ බව නිසැකය.

කෙසේ වුවද මේ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා අපට ද පැජට්‌ පාරේ අභිනව ජනාධිපති නිල මැදුර කරා යැමට සිදුවිය. කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක බාලිකා විදුහලට නුදුරු රමණීය හරිත රුක්‌ පෙළකින් සොභාවත් වූ සොඳුරු පරිසරයක මෙම නිල මැදුර පිහිටා තිබේ. ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ ආඪ්‍යත්වය මෙන්ම නවීන ගොඩනැගිsලි සම්ප්‍රදායේ ගති ලක්‍ෂණ ද මානව සුසංයෝග වූ මේ අභිනව මන්දිරය ගාම්භීරත්වයෙන් මෙන්ම ප්‍රභාවත් බවෙන් ද පිරිපුන් සුරම්‍ය වාසභවනක්‌ බව එයට පිවිසෙන අමුත්තකු= තුළ ඇතිවන පළමු සිතිවිල්ලයි.

කෙසේ හෝ මෙම අභිනව නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ ප්‍රථම මාධ්‍යවේදියා වීමේ ගෞරවය අනපේක්‍ෂිත ලෙස දිවයිනට හිමිවීම පිළිබඳ අපට සතුටක්‌ ද ඇත. අපට මුලින්ම අවශ්‍ය වූයේ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව ජනාධිපතිවරයාගේ දායක්‌තවය කෙබඳු ද යන්න විමසීමටය. එය අපේ සංවාදයට උචිතම ආරම්භයක්‌ද විය.

"අනාගතයට සහතිකයක්‌" නමින් එළිදැක්‌වූ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ගැන ඔබේ අදහස කුමක්‌ද? ඒ ප්‍රකාශනය එළිදැක්‌වෙන උත්සවයට ඔබතුමා පැමිණියෙත් නැහැ.

ඔව්. ඒ උත්සවයට මට ආරාධනා කළත් මං ගියේ නෑ. එකක්‌ තමා සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන අයම එය එළිදැක්‌වීම හොඳ බව මා හිතුවා. මොකද මං පෞද්ගලිකව ඒ සඳහා මැදිහත් උනෙත් නෑනෙ.

ඒ උනාට ඔබේ පක්‍ෂයත්, ඔබේ හිතවතුනුත් එබදු ක්‍රියාවක්‌ නිසා අපහසුතාවකට පත් වෙනවා නේද?

මං මේ උත්සවය දවසට කලින් මාලදිවයිනේ නිල සංචාරයක යෙදිල හිටියනෙ. ඊට පස්‌සේ මේ වැඩේ යොදා ගෙන තිබුණේ. කොහොම හරි සංවිධායකයන් මගේ නිල නිවසට ආවට පස්‌සෙ ආපහු තව පාරක්‌ යැමේ අවශ්‍යතාවකුත් නෑනෙ.

දැන් මැතිවරණ සටන පටන් අරගෙනනෙ තියෙන්නේ. ඔබතුමා සන්ධානයේ ජයග්‍රහණය උදෙසා දෙන සහාය කුමක්‌ද?

මං කිසිම දේශපාලන වේදිකාවකට යන්නේ නෑ. මං පක්‍ෂයේ සභාපති බව ඇත්ත. ඒත් මේ මැතිවරණ මෙහෙයීමත්, සැලැස්‌මත් මගේ එකක්‌ නෙවෙයි.

ඇයි එහෙම කියන්නේ. ඔබේ පක්‍ෂයේ ජයග්‍රහණයට අකැමැතිද?

නෑ මා වඩාත් කැමැති ශ්‍රීලනිපයේ ම ආණ්‌ඩුවකට. ඒත් මෙතැන තියෙන්නෙ විවිධ නායකයන්ගෙන් සැදුම්ලත් සන්ධානයක්‌. ඒ සියලු දෙනාම මහින්ද රාජපක්‍ෂ මහත්තයව ඉල්ලා හිටපු අය, ශ්‍රී ලනිපයෙන් වැඩි පිරිසක්‌ ඔහුව අගමැති කළ යුතුය යන අදහසේ හිටියා. ඔබ දන්නවා ඒ පිළිබඳ මගේ ස්‌ථාවරය වෙනස්‌. මං හිතුවේ නෑ. රාජපක්‍ෂ මහත්තයා ආයෙ තරග කරයි කියල. මොකද ඔහුට සුළු පක්‍ෂ කැමැති නෑ. මා මාස හයකට කලින් ඔහුව පරාජය කිරීමේ සටනට මුල් වූ පුද්ගලයා. ඒ නිසා මෙතැනදි මා අපේක්‍ෂා නොකළ මා අනුමත නොකළ ක්‍රියාදාමයක්‌නෙ උනේ. ඒත් මගේ පක්‍ෂයේ අයගෙ වැඩි කැමැත්තට ඉඩදීල මං පැත්තකට වෙලා බලාගෙන ඉන්නව.

ඔබ තවමත් ඉන්නේ අසතුටෙන්ද? ඔබ පසුබැසීම නිසා සන්ධානයට පාඩුවක්‌ වෙනවනෙ.

ඒක මං දකින්නෙ මෙහෙමයි. ඇත්තම කියනව නං මේක හරියට හුණුවටය නාට්‍ය වගෙයි. දේශපාලන හුණුවටයක්‌. මගේ දරුව ශ්‍රී ලනිපය මේ කවය මැද්දේ ඉන්නව. එක පැත්තක සන්ධානය දරුව එහාට අදිනව. අනෙක්‌ පැත්තේ තව පිරිසක්‌ දරුව මෙහාට අදිනව. මං කොහාමද මගේ දරුව ඇදල හිරිහැර කරන්නෙ. මං අතඇරල බලාගෙන ඉන්නව. මට බෑ මගේ දරුවට රිදවන්න.

ඔබේ කතාව තුළින් කියෑවෙන තවත් දෙයක්‌ තමයි. අද ශ්‍රී ලනිපය නමැති දරුව අසරණවෙලාය කියන එක.

ඒකනෙ වෙලා තියෙන්නේ. මං නම් කියන එක හරි නෑ. ඔබ බලන්න එක එක දිස්‌ත්‍රික්‌කය අරගෙන අපේක්‍ෂක ලැයිස්‌තුව දිහෑ. ශ්‍රී ලංකා කාරයො කී දෙනෙක්‌ ඉන්නවද? වැඩිය ඉන්නේ කවුද?

ඉතින් ඔබම නේද ඒ ප්‍රශ්නය විසඳන්ට ඕනෑ. සන්ධානයේ නායකයා ඔබනෙ. ඇයි ඒක වෙන්න දීල හුණුවටයේ අම්ම වගේ පැත්තකට, වුණේ?

මං කල දේ නිසා ශ්‍රී ලනිප දරුව මට බේර ගන්න පුළුවන්. මේ ඡන්දෙන් පස්‌සෙ මං ඒකට මැදිහත් වෙනව. අර කතාවක්‌ තියෙනවනෙ ශක්‌ති සම්පන්න අශ්වයන්ගෙ ඇගේ එල්ලිලා ඉන්න කිනිතුල්ලන්ටත් අශ්වය පනින පනින විදිහට පනින්නා බේරෙන්න පුළුවන් කියල. ඉතින් අශ්වයා ගඟෙන් පැන්නම කිනිතුල්ලනුත් නිකම්ම පනිනවනෙ. ඒක තමා අද වෙන්නේ.

* මේ වනවිට ඔබ විසින් ඇමැති ධුර පිරිනමන ලද විශාල පිරිසක්‌ ඔබ අතහැර මහින්ද සමඟ එක්‌වී සිටිනවා. එය ඔබට කරන අභියෝගයක්‌ නේද?

මං එහෙම හිතෙන්නේ නෑ. අභියෝග කළ යුත්තේ පුද්ගලයන්ට නොව ඔවුන්ගේ ප්‍රතිපත්තිවලටයි. ඒ අය දන්නවා මෛත්‍රීවාදී වීමට වඩා මහින්දවාදී වීම මේ දේශපාලන සෙල්ලමේදී හරි බව. පළමුව ඒ අයට බලන්න සිදු වෙනවා කොහොමද පාර්ලිමේන්තුවට එන්නෙ කියල. ඒ නිසා ඒ පියවර මං බලන්නේ දේශපාලනික ඇසින්.

* ඔබට හිතවත් ව සිටියා. ජනක බණ්‌ඩාරත් පසුගියදා හිටපු ජනාධිපතිවරයාට දණ ගහලා වැඳලා පව් සමාකරගත්ත නේද?

මෙය අපේ දේශපාලන සංස්‌කෘතියේ විකට ස්‌වරූපය විදහාපාන අවස්‌ථාවක්‌. මීට කලිනුත් එහෙම දේවල් සිදු වුණානේ.

* මේ ඡන්දයෙන් පස්‌සෙ ශ්‍රී ලනිපයේ මහින්ද යුගය හමාර කර මෛත්‍රී යුගය පටන් ගත්තා බව සමහරු කියනවා.

(සිනාසෙමින්) අපේ පක්‌ෂය ශක්‌තිමත් කරල එය නිවැරැදි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්‌ බවට ශක්‌තිමත් කිරීමට මා අදහස්‌ කරනවා. එහි නියම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් බල ගැන්වීම මගේ අරමුණයි. අනිත් එක තමයි මේ පක්‌ෂය ජනතාවාදී සමාජවාදී යන ආකල්ප ඇති ජාතිවාදය ප්‍රතික්‌ෂේප කළ පක්‍ෂයක්‌.

දැන් ශ්‍රී ලනිපයේ ඔබත් සමගම හිටපු පස්‌දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වයත් තහනම් කරල.

ඔව්. මං තමයි ඒක කළේ. මොකද පක්‍ෂය අත්හැරල වෙනම තරග කරනව නම් එතැනදී සභාපති විදිහට මං ඒ තීන්දුව ගත යුතුයි. මගේ සාමාජිකත්වයත් එදා තහනම් උනා. පස්‌සේ මං දිනුවනේ. එතකොට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කළා ආපහු මාව ගන්නත් මට සභාපතත්වය දෙන්නත්.

ඒ කියන්නෙ මේ ගිය පස්‌දෙනාටත් දිනල ආපහු පක්‍ෂයට එන්න පුළුවන් කියන එකද?

මෙහෙමයි මෙතැනදී අපි හදන්නෙ ජාතික ආණ්‌ඩුවක්‌ නං අනිවාර්යයෙන්ම ඒ අයට ඉඩ තියෙනව.

ඔබත් කතා කරනව ජාතික ආණ්‌ඩුවක්‌ ගැන. අගමැති රනිලුත් කියනව ජාතික ආණ්‌ඩුවක්‌ ගැන. ඔබ ඇයි සන්ධානෙ දිනවල ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ හදන්න කල්පනා කරන්නෙ නැත්තෙ. මහින්ද කියන්නෙම සන්ධාන ආණ්‌ඩු මිසක්‌ ජාතික ආණ්‌ඩු නෑ කියලනෙ.

මං ඒකට උත්තර දීල ප්‍රශ්නයක්‌ හදන්න කැමැති නෑ. මගේ මැනීම ඊට වෙනස්‌. මං හිතන්නෙ තනි පක්‍ෂයකට ආසන 100 ක්‌ ගන්න බෑ කියල. හොඳයි හිතමු 100 ක්‌ ගත්තම කියල. තව 125 ක්‌ අනික්‌ පැත්තෙ. එතකොට මොකද වෙන්නේ. වැඩක්‌ කරන්න පුළුවන්ද? බෑ. මං හිතන්නෙ අපි බලයට වඩා මේ රට ගැන හිතල එකතු වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවෙ බහුතර බලය කියන්නෙ අනෙක්‌ පක්‍ෂ, ෙ-වී.පී. - ටී. ඇන්. ඒ. වගෙ පක්‍ෂවල සහය මහින්දට ලැබෙන්නේ නෑ.

ඒ විදිහෙ වාතාවරණයක්‌ තුළ අනෙක්‌ පක්‍ෂ කැමැති වෙන්නෙ අගමැති රනිල්ට. ඔහුගේ සම්ප්‍රපාප්තිය පොදු වැඩපිළිවෙළකට හොඳයි කියල අද පිළිගැනීමක්‌ තියෙනවනෙ.

ඒ උනාට එදා ඔබට ලැබුණු ලක්‍ෂ 62 අද බෙදිල ගිහින් නේද? මහින්දගෙ ලක්‍ෂ 58 එහෙමම තියෙනවනෙ.

ඒක වැරදියි.. අර ලක්‍ෂ 62 ක පළමු වටයෙ විසිරිල ආයෙත් එක තැනකදී එකතුවෙනව. අපි හිතමු එක්‌සත් ජාතික පෙරමුණ ගන්න ආසන සංඛ්‍යාව අඩු උනාය කියල. නමුත් අගමැතිට පුළුවන් නම් අනෙක්‌ පක්‍ෂ එකතු කරගන්න ඔහුට අගමැති වීමට බාධාවක්‌ නෑ. අනිත් එක බලන්න ඔහුට වුවමනා ජාතික ආණ්‌ඩුවක්‌ හදල රටේ ඉරණම වෙනස්‌ කරන්න.

දැනටමත් දෙමළ සන්ධානෙ ෆෙඩරල් පොරොන්දුව ගැන ජනතාව තුළ සැකයක්‌ මතුවෙලා. එක්‌සත් ජාතික පෙරමුණ බලය ගන්න රට බෙදයි කියන චෝදනාව එල්ල වෙනව නේද?

අපේ ජාතික ආරක්‍ෂාවත් මව්බිමත් අනතුරේ නේද?

ඔබ වැරදියි. මං ඉතා පැහැදිලිව කියනව. මං මොනම හේතුවක්‌ නිසාවත් ඒකීය රටක්‌ කියන ස්‌ථාවරයෙන් බැහැර වෙන්නේ නෑ. එජාපයත් කියනව ඒකීය රටක්‌ තුළබලය බෙදනව කියල. ඔබ පැහැදිලිව ලියන්න මේ රට බෙදෙන - මේ රට කැඩෙන කිසිම දේකට මගේ අනුමැතිය - අනුබලය ලැබෙන්නේ නෑ. මං ගෙදර ගියත් රට කඩල රට බෙදල ගෙදර යන්නේ නෑ.

අගමැතිතුමා කියන්නෙත් මේ ප්‍රශ්නයට අපි එකතුවෙලා විසඳුමක්‌ දෙමු කියලනෙ. ඊළාම්වාදී නොවන ඩයස්‌පෝරාවල අදහසත් ඒකමයි.

ඒ උනාට දෙමළ සන්ධානය කියනවනෙ ෆෙඩරල් විසඳුමක්‌ වුවමනා කියල.

(සිනාසෙමින්) දෙයියනේ ඉල්ලන ඉල්ලන දේවල් කවුද දෙන්නෙ. අනික උතුරේ ජනතාවට ඒ නායකයො දෙන ඇම තමා මේ ෆෙඩරල්. ඒ වගේම දකුණේ නායකයෝ දකුණෙ ජනතාවට දෙන ඇම තමා ජාතිවාදය. ඔබ දන්නවද 1951 දී අපේ පක්‍ෂයේ නිර්මාතෘ බණ්‌ඩාරනායක අගමැතිතුමා එදා පක්‍ෂයට සමලේකම්වරු 3 ක්‌ පත් කළා. බර්නාඩ් අළුවිහාරේ, බද්උදීන් මහමුද් හා එස්‌. තංගරාජා. ඒකෙන් පේනව එතුමා තුළ තිබුණු අභිලාෂය කුමක්‌ද කියලා. මුස්‌ලිම් හා දෙමළ නියෝජනය සඳහායි එහෙම කළේ. මේ ජාතික සමගිය ගැන ජනතාවට හැඟීමක්‌ දෙන්න. ඊළඟට බණ්‌ඩාරනායක මැතිතුමා මෙහෙමත් කිව්වා "භාෂාවක්‌ වේවා, ආගමක්‌ වේවා වෙන ඕනෑම දර්ශනයක්‌ වේවා අකැමැත්තෙන් කිසිම ජන කොට්‌ඨාසයකට පැටවීම වැරදියි කියල.

සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව කරන අතරම දෙමළ භාෂාවට සාධාරණ ස්‌ථානයක්‌ දිය යුතු බව එතුමා කීවා. බලන්න, එතුමා මෙහෙම කියනව.

"නිදහසේ තේරුම අභ්‍යන්තරයේ කැරළි කෝලහල හෝ සුළු ජාතීන්ට අකටයුතුකම් කිරීම නම් නැතහොත් ඔවුන් පාගා ගෙන සිටීම නම් ස්‌වරාජ්‍ය යක්‍ෂයාට ගියාවේ."

ඒ නිසා මේ ෆෙඩරල් බිල්ලා නැවත ගේන්න බෑ. ද්‍රවිඩ ජනයා අතර සුළු පිරිසක්‌ ජාතිවාදී විය හැකියි. සිංහලයන් අතරත් එහෙම වෙන්න පුළුවන්. ඒ උනත් මං ඒ අයගේ හිස්‌වලට උඩින් උතුරේ දෙමළ ජනතාවටත් දකුණේ සිංහල ජනතාවටත් ආයාචනා කරනවා. මේ අන්තවාදය අත්හරින්න කියල.

එදා චෙල්ලනායගම් මහත්තයගෙ පක්‍ෂය උනෙත් ෆෙඩරල් පක්‍ෂය. ඒකත් අපේ ඔළුවල මුල් බැහැගෙන. මොක්‌ද මේ ෆෙඩරල් කියන්නේ. ඒකත් ආණ්‌ඩු ක්‍රමයක්‌. හැබැයි අපි එබඳු ආණ්‌ඩු ක්‍රමයකට එකඟ වෙලා නෑ. අද දෙමළ නායකයන් අලුතින් සිතිය යුතුය.s ඔවුන්ගේ සාධාරණ අයිතීන් රැක ගෙන පුළුල් ජාතික සමගියක්‌ ගොඩනැගීමට. දේශපාලනයේදී අපේ නායකයන් මේ ජනපදනම, ජන සංයුතිය වැරදි විදිහට පෙන්නල ජනතාව නොමග යෑව්ව. දැන්වත් ඒ අපරාධය නවත්වමු.

ජනාධිපතිතුමනි, මේ වනවිට සන්ධානයේ අපේක්‍ෂකයන් අතර බෙදීමක්‌ තියෙනව. මහින්දවාදී අය පමණක්‌ දිනවන්න කියල කියනව. ඔබේ ආශිර්වාදය ලැබුණු අයට මොකද වෙන්නේ?

මේක ඉතාම අවාසනාවන්ත දෙයක්‌. දැන් බලන්න මට හිතවත්ම කියල එදා හිටියෙ කී දෙනාද? මේ ඔක්‌කොම මහින්ද ජනාධිපති කරවන්න මාව පතුරු ගහපු අය. ඒත් ඒ අය පක්‍ෂයේ තීන්දුවක්‌ අනුව ඇවිත් ඇමැති ධුර ගත්ත. මට සහාය දෙන්න. ඉතින් ඒ අය මෛත්‍රී පිලේ කියල කීම විහිළුවක්‌.

*.

ජාතික ලැයිස්‌තුව ගැන දැන් අලුත් අදහසක්‌ තියෙනව වගේ. ඒ කියන්නේ ලැයිස්‌තුවට පිටින් පත් කරන්න බෑ කියල මැතිවරණ කොමසාරිස්‌ කියනව.

මං අනුමත නොකරන දෙයක්‌ තමා මේ ජාතික ලැයිස්‌තු ක්‍රමය. ඔබට මතක නම් එදා රත්නසිරි වික්‍රමනායක අගමැති කළානෙ ජාතික ලැයිස්‌තුවෙන්. පස්‌සේ එයාගෙ නම නෑ කියල ශේ්‍රෂ්ඨාධිකරණයට ගියා. මොකද උණේ ඒ නඩුව එහෙමම යට ගහල තිබ්බ තීන්දුව නොදී. ඔන්න මේ රටේ හැටි. මං ජාතික ලැයිස්‌තුවෙන් සිදුවූ විශිෂ්ටම සේවය විදිහට දකින්නෙ ලක්‍ෂ්මන් කදිරගාමර් පත්වීම. අනෙක්‌ සේරම ඒ සංකල්පයට පටහැනියි.

මේ පාර සන්ධානයේ ජාතික ලැයිස්‌තුව ගැන මොකද කියන්නේ

ඒකටත් මගේ සම්බන්ධයක්‌ නෑ.

දැන් ඔයවිදියට ඔබ මේ හුඟාක්‌ දේවල් වලින් ලේසියෙන්ම අතසෝදාගෙන වගේ.

(සිනහසෙමින්) නෑ. කිසිසේත්ම නෑ. මේ මැතිවරණයෙන් පස්‌සෙ මං මේ රටේ ජනතාව අපේක්‍ෂා කළ යහපාලනය හරියටම බල ගැන්වීමට කැපවෙනව. ඒ සඳහා අවුරුදු 2 ක්‌වත් ජාතික ආණ්‌ඩුවක්‌ වුවමනායි. ඡන්ද ප්‍රතිඵලය හුඟාක්‌ ප්‍රශ්නවලට විසඳුමක්‌ වේවි. මේ වනවිටත් රටේ බුද්ධිමත්, විද්වත් පිරිස්‌වලට අවශ්‍ය වෙලා තියෙනවා. සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ එක පක්‍ෂයකට, කණ්‌ඩායමකට කරන්න බෑ. අර වගේ ජාතික ආණ්‌ඩුවකින් එය කළ හැකියි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 1951 දී පක්‍ෂයේ නිල ප්‍රකාශනයට ඇතුළත් කළ කරුණු කීපයක්‌ මං සඳහන් කරන්නම්.

* පොදු මිනිසාගේ ඕනෑ එපාකම් අනුව අපේ ප්‍රතිපත්තිය සකස්‌ විය යුතුයි.

* කලක්‌ පරාධීනව සිටීමෙන් ප්‍රගතිශීලී අදහස්‌ පමණක්‌ නොව ආත්ම ගෞරවය පවා නොතකා හරින ලද අපේ ජනතාවගේ සැබෑ අභිවෘද්ධිය හා යහපත උදෙසා ජනසම්මතවාදී නිදහසක්‌ අපේ අපේක්‍ෂාව විය යුතුය.

* සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාව සියලුම පාසල්වල ඉගැන්විය යුතුය.

* ජනතාව අතර සාධාරණ ලෙස ආදායම බෙදී යැමට සැලැස්‌වීම.

"මට තවත් එක්‌ දෙය්ක තියෙනව කියන්න. ඒකත් එදා ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක මැතිතුමාගේ ප්‍රකාශයක්‌.

"අග්‍රාමාත්‍ය පදවිය පිළිබඳව මගේ එ තරම් උද්යෝගයක්‌ හා ආශාවක්‌ වී නම් එම පරමාර්ථය මුදුන්පත් කර ගැනීමට මා කළ යුතුව තිබුණේ සේනානායක මහතාගේ සුවච, කීකරු අතවැස්‌සකු බවට පත්වීමය මගේ ජන්ම භූමියත් මගේ ජනතාවත් උදෙසා මගෙන් ඉටු විය යුතු සේවය අවංකව, අව්‍යාජව ඉටු කිරීම මගේ එකම අදහස නිසා එබදු තත්ත්වයකට මම කොහෙත්ම කැමැති නොවීමි."

මගේ අදහසත් එයට සමානයි. මට වුවමනා මගේ පදවිය රැක ගැනීම නොව මා මෙතැනට රැගෙන ආ මගේ ජනතාවගේ පරමාර්ථ අරමුණු ඉටු කිරීමය. එහිදී පක්‍ෂයට වඩා ප්‍රතිපත්තියේ ගාම්භිරත්වයද ජනතාවගේ හෘදය සාක්‍ෂියේ හඬ ද මා මෙහෙයවනු ඇත. මා ලද ජයග්‍රහණය අර්ථවත් කිරීම සඳහා මට මගේම පක්‍ෂයේත් මට ශක්‌තියක්‌ වූ එජාපය, ජවිපෙ ඇතුළු සුළු ඵක්‍ෂවලත් සහාය අත්‍යවශ්‍ය බව මම දනිමි.

- ගාමිණී සුමනසේකර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.