ෆෙඩරල් කියන වචනයටත් මම බයයි
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක,
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

අද අපේ දේශපාලන කතිකාව තුළ "ෆෙඩරල් ක්‍රමය" පිළිබඳ අලුත් සංවාදයක්‌ පටන්ගෙන තිබේ. "ෆෙඩරල්" යනු අපට අලුත් වචනයක්‌ නොවුණත් ඒ පිළිබඳ අත්දැකීමක්‌ පූර්වාදර්ශයක්‌ විඳි පුද්ගලයෙක්‌ නැති නිසා ජනතාව තුළ තිබෙන අවධානය පටුය. දැනුම හා අවබෝධය පටුයි. 'දිවයින' පුවත්පත ව්‍යවස්‌ථා නීතිය පිළිබඳ රටේ විද්වතකු වන නීතිඥ උදය ගම්මන්පිල සමග කතාබහ කළේ "ෆෙඩරල් ක්‍රමය" පිළිබඳ අවබෝධයක්‌ ජනතාවට ලබාදීම පිණිසය.

ප්‍රශ්නය - මේ මැතිවරණ සමයේ පැමිණෙන ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ රටට කතාබහ කරන්න තවත් අලුත් මාතෘකාවක්‌ පැමිණිලා තියනවා. ඒ තමයි "ෆෙඩරල් ක්‍රමය" සමහරු මේ නමටත් හරි බයයි. ඔබත් එහෙමද?

පිළිතුර - ඇත්තම කියනවා නම් මේ වචනයට මම තරම් බය අය ඉන්නවා නම් මේ රටේ... ඒ ඉතාම අතලොස්‌සක්‌ විතරයි. මොකද මම මේ වචනේ තේරුම හරියටම දන්න කෙනෙක්‌. මම වෘත්තියෙන් "ව්‍යවස්‌ථාවේ නීතිය" පිළිබඳ නීතිඥයෙක්‌. ඒ වගේම ව්‍යවස්‌ථා සම්පාදන අමාත්‍යාංශයේ උපදේශක මණ්‌ඩල සාමාජිකයෙක්‌. සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ සාමාජිකයෙක්‌ විදිහට ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වුණ කෙනෙක්‌. ඒ ගැන පර්යේෂණ කරපු කෙනෙක්‌. ඒ නිසා මේ ෆෙඩරල් කියන වචනය කෙතරම් බයංකරද කියන කාරණය ගැන මට හොඳ අවබෝධයක්‌ තියෙනවා.

ප්‍රශ්නය - අපට ඕන ඒක දැනගන්න. ඇයි අපි ෆෙඩරල් වලට බය විය යුත්තේ.

පිළිතුර - මම කියන්නම්. එක වරක්‌ ස්‌වීඩන් තානාපති කාර්යාලය සංවිධානය කළ තාක්‍ෂණ වැඩමුළුවකට මම සහභාගි වුණා. ඒ 2003 දී. එතනදී ඔවුන් ෆෙඩරල් නිර්වචනය කළේ "එකිනෙකට වෙනස්‌ පිරිස්‌ එකට එකතුව සමගියෙන් ජීවත් වීම" කියලයි. නමුත් මේක සුරංගනා කතාවක්‌, පට්‌ටපල් බොරුවක්‌ විතරයි.

මේ ලෝකයේ රටවල් පාලනය කරන රාජ්‍ය ව්‍යqහයන් තුනක්‌ තියෙනවා. ඒ තමයි

1. ඒකීය රාජ්‍යයන්

2. ෆෙඩරල් (සන්ධීය) රාජ්‍යයන්

3. ඔන් ෆෙඩරල් (සහසන්ධීය) රාජ්‍යයන්

මෙන්න මේ ව්‍යqහයන් තුන එකිනෙකට වෙනස්‌. වෙනස්‌ වෙන්නේ බලය බෙදීම කියන කාරණය උඩ. ඒකීය රාජ්‍යයක්‌ කියල කියන්නේ එහි තීන්දු ගන්නා උත්තරීතර ආයතන තියෙන්නේ එකයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. ඒ රටේ පළාත් සභා හෝ ප්‍රාන්ත රාජ්‍යයන් තියනවා නම් පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්තකින් පමණක්‌ ප්‍රාන්ත හෝ පළාත් සභාවලට දී තිබෙන බලය වෙනස්‌ කළ හැකියි. ප්‍රාන්තය හෝ පළාත් සභාව කැමති වුණත් අකමැති වුණත් එම බලය මධ්‍යම රජයේ ඉහළ උත්තරීතර ආයතනයට තියනවා නම් ඒක "ඒකීය රාජ්‍යයක්‌" මේ ලෝකේ 80% ක්‌ම තියෙන්නේ ඒකීය රාජ්‍යයන්.

දෙවනුව, සන්ධීය හෝ ෆෙඩරල් රාජ්‍යයක්‌ කියන්නේ ප්‍රාන්ත හෝ පළාත් ඒකකයේ බලය වැඩි ව්‍යqහයක්‌. පළාත් පාලන ඒකකයේ හෝ ප්‍රාන්ත ආණ්‌ඩුවේ අනුමැතිය තිබුණොත් විතරයි, මධ්‍යම ආණ්‌ඩුවට පුළුවන් වෙන්නේ එහි බලය වෙනස්‌ කරන්න හෝ අහෝසි කරන්න. එහි ප්‍රාන්ත ඒකකයටත් විශේෂ බලයක්‌ තියනවා.

සහසන්ධීය (ඔµa ෆෙඩරල්) රාජ්‍යයකදී වෙන්නේ මධ්‍යම රජයේ අනුමැතියකින් තොරව වෙන්වී යැමට වෙනම රාජ්‍යයක්‌ ලෙස කටයුතු කිරීමට වුවත් ප්‍රාන්ත ආණ්‌ඩුවට බලය තිබීමයි. ලෝකයේ සහසන්ධීය පාලනය පැහැදිළි කරන්න උදාහරණ දෙකක්‌ තියනවා. එකක්‌ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය. ඩුබායි අබුඩාබි වැනි අරාබි රාජ්‍යයන් 6 ක්‌ එකතු=ව තනි රාජ්‍යයක්‌ විදියට කටයුතු කරන්නේ සහ සන්ධීය රාජ්‍ය ව්‍යqහය ඇතුළේයි. අනිත් උදාහරණය තමයි යුරෝපීය සංගමය. ඊට අදාළ සාමාජික රටවලටත් පුළුවන් අවශ්‍ය වෙලාවක වෙන්ව යන්න. යුරෝපීය සංගමය අකැමැති වුණත්.

ප්‍රශ්නය - හරි... ඉතින් අපි ෆෙඩරල් කියන වචනයටත් බය විය යුතු නැහැනේ. මම හිතන්නේ නැහැ ජනතාව ඔය කියන තරම් බයයි කියලා.

පිළිතුර - තව ටිකක්‌ තේරුම් ගනිමුකෝ. ඒකීය රාජ්‍යයකදී බලය බෙදීම කියන්නේ හරියට කෙනෙකුට ණයක්‌ දෙනවා වගේ. ණය දෙන්නේ ගන්න. ආපහු ගන්න පුළුවන්. නමුත් ෆෙඩරල් රාජ්‍යයකදී බලය බෙදීම කියන්නේ තෑග්ගක්‌ දෙනවා වගේ. දෙන්න පුළුවන්. හැබැයි ආයෙත් ගන්න බැහැ. ගන්න නම් තෑග්ග අතේ තියන කෙනා කැමැති වෙන්න ඕන. ඒකයි බයානක. දීපු දෙයක්‌ නැවත ගන්න බෑ. අන්න ඒකයි අපි මෙතනදී "දීමේදී පරිස්‌සම් විය යුත්තේ"
ෆෙඩරල් රාජ්‍යයකින් කරන්නේ ප්‍රාන්තයේ? ශක්‌තිමත් කිරීම. දිග කෝට්‌ටක්‌ අතේ එක්‌ කෙලවරක්‌ අතින් අල්ලගෙන අතට බරක්‌ එකතු කරන්න. ඒ බර ටික ටික වැඩි කරන්න. වෙන්නේ අඟලක්‌ වෙලා කෝට්‌ට දෙකට කැඩිලා වෙන්වෙන එක. 1969 දී ඒකීය රාජ්‍යයක්‌ ලෙස තිබුණු චෙකොස්‌ලෝවැකියාව ෆෙඩරල් රාජ්‍යයන් වුණා. 1991 දී එය චෙක්‌ ජනරජය හා ස්‌ලෝවැකියාව කියා රාජ්‍යයන් 2 ක්‌ වුණා.

ප්‍රශ්නය - අද අපි "ෆෙඩරල්" ගැන නැවත කතා කරන්න පටන් අරන් තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ "ෆෙඩරල් යෝජනාව" පිළිබඳ "වස්‌තු බීජය" එළිදැක තිබෙන නිසානේ. ඒක නිසා ඔබ, අප මේ ගැන කතා කරනවා තමයි. නමුත් ඔබ හිතනවාද රටේ බහුතර ජනතාවට මේ ප්‍රශ්නය "ප්‍රශ්නයක්‌ වෙලා" තියෙනවා කියලා.

පිළිතුර - ඇත්ත... ඒ යකාගේ තරම හරියට දන්නේ නැති නිසානේ. මම නම් හොඳටම දන්නවා. මිනිස්‌සුන්ට මේක දැනෙන්නේ නැත්තේ මේ පිළිබඳ අත්දැකීමක්‌ නැති නිසා, පළපුරුද්දක්‌ විඳ නැති නිසා. හරියට අර "බැඳුම්කර වංචාව" වගේ ෆෙඩරල් කිව්වාමත් මිනිස්‌සුන්ට චිත්ත රූප මැවෙන්න විදියක්‌ නැහැනේ.

හොරු බැංකුවකට පැනල බැංකුවේ මිනිස්‌සු බය කරල සල්ලි ටික අරන් පැන්නා කිව්වාම මිනිස්‌සුන්ට චිත්ත රූපයක්‌ මැවෙනවා. සී.සීS.ටී.වී. කැමරා වලටත් අහුවෙනවා. නමුත් මහ බැංකු හොරකම, බැඳුම්කර වංචාව කිව්වාම ඒක පේන්නේ නැත්තේ සී.සී.ටී.වී. කැමරා වලට අහුවෙන්නේ නැති නිසානේ.

ඒ වගේ කොටි ඇවිත් ගමකට ගහල ගම අල්ල ගන්නවා කිව්වාම ඔන්න මිනිස්‌සුන්ට චිත්ත රූප මැවෙනවා. ඒත් රට ෆෙඩරල් වෙනවා කිව්වාම චිත්ත රූප මැවෙන්නේ නැහැ.

ඒක නිසා මිනිස්‌සුන්ට දැනෙන්නේ නැහැ තමයි. දෙමළ ඊළම හදනවා කිව්වමත් එහෙමයි.

හොඳට මතක තියා ගන්න පසුගිය සියවසේ අලුත් රාජ්‍යයන් බිහිවුණේ ලෝකයේ යුද්ධ හරහා නොවෙයි. සාකච්ඡා හරහා බලය බෙදීම තුළින් පමණයි. උදාහරණ විදියට ඊශ්‍රායලය, පකිස්‌තානය, නැගෙනහිර ටිමෝරය, දකුණු සුඩානය ආදී මේ සියල්ලම බිහි වුණේ යුද්ධ හරහා නොවෙයි. ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමය ගෙනෙන දමිළ ජාතික සන්ධානයේ යෝජනාවෙත් මේ කාරණය අඩංගුයි.

ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයෙන් මෙම යෝජනාව ආවත් මේක පිටිපස්‌සේ ජාත්‍යන්තරය ඉන්නවා කියල ඔබ කියන්න උත්සාහ කරන බව මට පේනවා.

පිළිතුර - නැහැ.. ඒක කියන්නේ මම නොවෙයිනේ. ආර්. සම්බන්ධන් තමයි එහෙම කියන්නේ. දැන් බලමු මොකක්‌ද මේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ බවට පත්කරලා උතුර නැගෙනහිරට ෆෙඩරල් ව්‍යqහයේ පාලනයක්‌ ලබාගන්නව කියල තමයි, එහි තියෙන්නේ. කවුරුහරි කියන්න පුළුවන් ඇයි ඕකට කලබල වෙන්නේ. එහෙම කරන්නේ.

දෙමළ ජාතික සන්ධානය දිනුවොත් විතරනේ. කවදද දෙමළ ජාතික සන්ධානයට රටේ බලය ලැබෙන්නේ... ඇයිs තේ කෝප්පේ ඇතුලේ කිඹුල්ලු දකින්නේ කියල කවුරු හරි කියයි. ඔබත් අහයි. නමුත් අපි මේ "ප්‍රවේශය" තවත් ආකාරයකින් බැලිය යුතුයි.

පළමු කාරණය තමයි යුද ජයග්‍රහණයෙන් පසුව දෙමළ ජාතික සන්ධානය ඇයි ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදිය යුතුයි කියන ස්‌ථාවරයේ ඉඳල ෆෙඩරල් යෝජනාව දක්‌වා යන්න තම ස්‌ථාවරය වෙනස්‌ කරන්නේ. එහෙම ප්‍රතිපත්තිය වෙනස්‌ කළේ ඇයි කියන එක හරිම වැදගත්. පරණ තැනට ගියේ ඇයි?

දෙවැනි කාරණය තමයි දෙමළ ජාතික සන්ධානයට රාජ්‍ය බලයක්‌ රටේ ගන්න බැරිනම් රාජ්‍ය බලය ගත හැකි කවුරුහරි දෙමළ ජාතික සන්ධානයට මේකට එකඟයිද කියන එක. රාජ්‍ය බලය මේ රටේ ගන්න පුළුවන් කණ්‌ඩායම් ඉන්නෙ දෙකයිනේ. එකක්‌ මහින්ද රාජපක්‌ෂගේ සන්ධානය. අනික රනිල් වික්‍රමසිංහ-චන්ද්‍රිකා කල්ලියේ එක්‌සත් ජාතික පෙරමුණ. මේ දෙකෙන් කවුරු හරි රට ෆෙඩරල් කරන්න එකඟද...

මහින්ද රාජපක්‌ෂ කියන්නේ හකීම්ලා කල්මුණේට පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලන වෙලාවේ ඊටවත් එකඟ නොවුණ නායකයෙක්‌. ඒක නිසා සන්ධානයෙන් ඒ වැඩේ වෙන්නේ නැහැ. එහෙම නම් එක්‌සත් ජාතික පක්‌ෂය මේ ෆෙඩරල් ආකාරයේ බල බෙදීමකට එකඟද... බැලූ බැල්මට රනිල්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ "ඒකීය රාජ්‍යයක බලය බෙදීමක්‌" විතරයි. එහෙම නම් බය වෙන්න දෙයක්‌ නෑ කියා කවුරුහරි කියන්න පුළුවන්.

නමුත් අපි දන්නවා 2001 දී රනිල් රට ෆෙඩරල් කරන්න මහ මැතිවරණයේ ජනවරමක්‌ ඉල්ලුවේ නැහැ තමයි. ඒත් එයා 2002 දෙසැම්බර් මාසෙ ඔස්‌ලෝ නුවරදී රට ෆෙඩරල් කරන්න කොටි සංවිධානය සමඟ එකඟ වුණා. 2015 දී ජනාධිපතිවරණයේදී..

ප්‍රශ්නය (- ඔබ වගකීමෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා රට ෆෙඩරල් කරන්න කොටි සංවිධානයට එකඟ වුණා කියලා...

පිළිතුර - මම නොවෙයි මේක කියන්නේ. මම සාකච්ඡාවේ එකඟතා පිළිබඳ නෝර්වේ රජය නිකුත් කළ ඔස්‌ලෝ ප්‍රකාශනය තියෙනවානේ. ඒකෙනෙ මේක ගැන යෝජනා ටික කියවෙන්නේ.

2015 ජනාධිපතිවරණයේ දී රනිල් රට ෆෙඩරල් කරන්න ජනවරමක්‌ ඉල්ලුවේ නැහැ තමයි. නමුත් 2015 ජනවාරි 17 වැනිදා ඉන්දියාවේ එන්.ඩී.ඩී.ටී. නාලිකාවට කියනවා රනිල් බලය බෙදීම පිළිබඳ අපේ ප්‍රතිපත්තිය "ෆෙඩරල්කරණය" කියල පැහැදිලිවම කියනවා. රනිල් රටේ මැතිවරණ ප්‍රකාශනය තුළ "ඒකීය යෝජනාව" ගැන කියල තියන නිසා ඔහු කියන දේ කරන, කරන දේ කියන නායකයෙක්‌ නම් හිත හදාගන්න පුළුවන්. නමුත් ඔහු එහෙම කෙනෙක්‌ නොවෙයි. ඉතිහාසයේ දෙවරක්‌ම ඔහු රට ෆෙඩරල් කරන්න උත්සහ කරල තියෙනවා. රටේ දේශප්‍රේමී ජනතාව ඊට එරෙහිව උද්ඝෝෂණ කළ නිසා ඒ හැම වතාවකම රට බේරුණා.

අන්න ඒ පූර්වාදර්ශ රනිල් සපයලා තියන නිසා දෙමළ ජාතික සන්ධානය මේ කරන්නේ රනිල් හරහා තම අවශ්‍යතාව ඉටු කරගන්න යැමක්‌ය කියලා අපිට විශ්වාස කරන්න සාධාරණ හේතු තියනවා. සැකයක්‌ ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ සැකය ආර්. සම්බන්ධන් විසඳලා දුන්නා.

ප්‍රශ්නය (- ඒ කවදද... කොහොමද....

පිළිතුර - ඉන්න මම කියන්නම්. පසුගිය ජූලි 19 වැනිදා ත්‍රිකුණාමලය සිල්වෙස්‌ටර් හෝටලයේ තිබුණා දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයන්ගේ වැඩමුළුවක්‌. එහිදී දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් කියනවා මෙවර මැතිවරණයෙන් නිසැකවම රනිල් වික්‍රමසිංහ දිනනවා. ඊට පස්‌සේ රනිල් ලව්වා ෆෙඩරල් විසඳුමක්‌ ලබාදෙන බවට ඉන්දියාවත්, ඇමරිකාවත් අපට පොරොන්දු වී තිබෙනවා කියල සම්බන්ධන් තම අපේක්‍ෂකයන්ට කියනවා. ඒකයි මම කිව්වේ අපට තිබුණ සැකය සම්බන්ධන් විසඳුවා කියලා. රනිල් යන්නේ අන්න එතැනට. රනිල් ආවොත් ෆෙඩරල් දෙනවා දෙනවා මයි. ඇමරිකාව ඉන්දියාව මේ ගේම් එක පිටුපස ඉන්නවාමයි.

ප්‍රශ්නය - ඇමරිකාව අපට උදව් කරන රටක්‌. ඉන්දියාව අපේ අසල්වැසි රට. අපි ඇයි හිතන්නේ ඔවුන් අප සමඟ සතුරුයි කියලා. අපේ රටේ දේශපාලන බලය වෙනස්‌ කරන්න ඔවුන් උනන්දු වුණා කියලා...

පිළිතුර - පහුගිය දවස්‌වල හරි අපූරු දේවල් වුණා. ජනවාරි මාසෙ 26 වැනිදා ඉන්දියාවේ ජනරජ උත්සවයේ ප්‍රධාන අමුත්තා විදිහට ඇමරිකානු ජනාධිපති බරැක්‌ ඔබාමා ඉන්දියාවට ආවා. ඇවිත් එයාගේ කතාවේදී කිව්වා "ශ්‍රී ලංකාවේ තිබුණ පාලනය වෙනස්‌ කරල ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට අපට දැක්‌වූ සහයෝගයට ඉන්දියාවට ස්‌තුතියි" කියලා. මොකක්‌ද මේ කියන්නේ. ලංකාවේ වෙනස කළේ රනිලුයි, මෛත්‍රියි, චන්ද්‍රිකායි එකතුවෙලා කියලද මේ කියන්නේ. නැහැ. ඇමරිකන්කාරයා කියන්නේ ඒ වෙනස කළේ අපි. අපිට උදව් කළ ඉන්දියාවට ස්‌තුතියි කියලනේ ඔහු මේ කිව්වේ.

එතකොට ජෝන් කෙරී කියනවා ඇමරිකාවේ ඉඳන් ශ්‍රී ලංකාවේ "අප කළ වෙනස" ප්‍රජාතන්ත්‍රවාදීව ඒකාධිපතියෙක්‌ ගෙදර යෑවීම අන් රටවලටද ආදර්ශයක්‌ කියලා.

ඒ අතර එරික්‌ සෝල්හයිම් කියනවා එහේ ඉඳගෙන "ශ්‍රී ලංකාවේ වෙනස සිදු කිරීමට ඇමරිකාවට හා ඉන්දියාවට නෝර්වේ රටෙනුත් දැවැන්ත සහායක්‌ දුන්නා" කියලා. ඔන්න ඕකයි කතාව.

ආර්. ආර්. සම්බන්ධන් ත්‍රිකුණාමලයේ දී කිව්වේ මොකක්‌ද ඔහු කිව්වේ ඊළඟට රනිල් බලයට පත් වුණොත් ඒ රනිල්ගේ ආණ්‌ඩුව නිසැකවම "රූකඩ ආණ්‌ඩුවක්‌" කියල නොවෙයිද? අගෝස්‌තු 17 රනිල්ට රට ගියොත් මේ රට පාලය කරන්නේ මෛත්‍රියි රනිලුයි චන්ද්‍රිකයි නොවෙයි. ඇමරිකාවයි ඉන්දියාවයි කියන එක අපි වටහාගන්න ඕන. මේ රූකඩ ආණ්‌ඩුවට අප ඉඩ දෙනවද කියන එකයි අපි 17 වැනිදා තීරණය කරන්න ඕන.

ප්‍රශ්නය - මේක අපිට ලොකු ප්‍රශ්නයක්‌. හැමදාම අපිට ඔය "ඇමරිකානු භීතිකාව" දේශපාලනඥයෝ බණ කියනවා වගේ විස්‌තර කළා. ලෝකෙ මුල්ලක පුංචි තිතක්‌ වන අපේ රට ඇමරිකාවට ඔච්චර වැදගත් කියල විශ්වාස කරන්න පුළුවන්ද... ඇමරිකාවට පිස්‌සුද...

පිළිතුර - කප්ලාන් කියන ඇමරිකානු යුද විශේෂඥයෙක්‌ පොතක්‌ ලිව්වා. ඔහු කියනවා ශ්‍රී ලංකාව ගැන.

19 වැනි සියවසේ ලෝකයේ බල කේන්ද්‍රය වුණේ ඇමරිකාව හා යුරෝපය නිසා වැදගත්ම සාගරය වුණේ අත්ලාන්තික්‌ සාගරය. ඊළඟට 20 වැනි සියවසේ ලෝක බල කේන්ද්‍රය වුණේ ඇමරිකාව හා රුසියාව. එතැනදී වැදගත්ම සාගරය වුණේ පැසිපික්‌ සාගරය .

21 වැනි සියවසේ අනාගත ලෝකයේ ලෝක බලවතකු වන්නේ ඉන්දියාව හා චීනයයි. මේ දෙන්නම ඉන්නේ ආසියාවේ නිසා ඉන්දියානු සාගරය තමයි ලෝක බල කේන්ද්‍රය බවට පත් වන්නේ. ඉන්දීය සාගරයේ හරි මැද පිහිටි නාවුක ගුවන් කේන්ද්‍රය තමයි ලංකාව. මේ නිසා ඇමරිකාවට අනාගත තම බල උපාය මාර්ගික කාරණාවලදී ලංකාව ඉතාම වැදගත්.

දෙවනුව ලංකාව හරිම අපූරු රටක්‌. වැදගත් රටක්‌. මේක දැවැන්ත මුහුද මැද තනිවුණ රටක්‌. එක්‌සත් ජාතීන්ගේ සාගර නීති කොමිසමත්, මහාද්වීපික තටාක යටතේ මුහුද යට තියෙන සම්පත් අයිතිය රටවල් අතර බෙදද්දී ලංකාව වගේ 23 ගුණයක්‌ විශල මුහුදු සීමාවක අයිතිය ලැබිල තියෙනවා. මන්නාරමට ඉහළ මුහුදේ දැවැන්ත ගෑස්‌ නිධියක්‌ තියනවා. බේරුවලට එපිට මුහුදේ න්‍යෂ්ටික බලය හදන්න අවශ්‍ය දැවැන්ත "තෝරියම්" නිධියක්‌ තියනවා. තෙල් කියන සාධකය තවත් ලෝකයේ පවතින්නේ වසර 40 යි. ඊළඟ ලෝක බලශක්‌ති බලාපොරොත්තුව න්‍යෂ්ටික බලය හා ගෑස්‌ විතරයි. අන්න ඒ නිසා තමයි ලංකාව පිළිබඳව ඇමරිකාව මේ තරම් උනන්දු. අපි මේ කියන ඒවා ඔබ නිකන් සැහැල්ලුවෙන් සලකන්න එපා. ජනතාවට මේක කියන්න. මේ ගැන තව තවත් හොයන්න.

සාකච්ඡා කළේ - බුලිත ප්‍රදීප් කුමාර
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.