අපි ෆෙඩරල් ගැන කතා කර නෑ
එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල

13 ට ඔබ්බෙන් බලය බෙදිය යුතු බව ඉන්දියාවට ලිතව දැනුම් දී තිබෙන්නේ මහින්දයි!

මැතිවරණ උණුසුම සමඟ දේශපාලන පක්‍ෂ තමන් ක්‍රියාත්මක කිරීමට යන අනාගත වැඩපිළිවෙළ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් මේ වන විට රට හමුවේ තබා ඇත. ඒ අතර වැඩිපුරම කතාබහට පත්ව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. ඒ ඔවුන් උතුරු නැඟෙනහිරට ෆෙඩරල් විසඳුමක්‌ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉල්ලා සිටීමයි. මේ සියලු කරුණු කාරණා සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය ගැන එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වැවිලි කර්මාන්ත ඇමැති මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්‍ෂක අධි නීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ "ඉරිදා දිවයින සංග්‍රහය" කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - පාර්ලිමේන්තු මැතිවරණය දිනෙන් දින උණුසුම් වෙමින් තිබෙනවා. ලබන 17 වැනිදා පැවැත්වෙන මේ මැතිවරණය ගැන දැන් ඔබේ තක්‌සේරුව මොකක්‌ද?

පිළිතුර - ලබන 17 වැනිදා පවත්වන මැතිවරණයෙන් නියත වශයෙන්ම එක්‌සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරනවා. අපි මන්ත්‍රී ආසන 140 - 150 ක්‌ ලබාගන්නා බව අපි තුළ විශ්වාසයක්‌ තිබෙනවා.

මේ වන විට අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්‌වා තිබෙනවා. ඒ තුළින් ජනතාවට පිළිගත හැකි අපිට කළ හැකි වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කර තිබෙනවා. වෙන කිසිම දේශපාලන පක්‍ෂයකට එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කිරීමට හැකිවී නැහැ.

අද එක්‌සත් ජාතික පෙරමුණ වටා 1977 පැවැති ජන රැල්ලට සමාන ජන රැල්ලක්‌ තිබෙනවා. දැන් එය කාටවත් ආපසු හරවන්න බැහැ.

ප්‍රශ්නය - මෙවර දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව දැඩි සංවාදයක්‌ රට තුළ ඇතිවී තිබෙනවා. ඔවුන් උතුරු නැඟෙනහිරට ෆෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බව සඳහන් කරනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට මේ ඉල්ලීම පිළිගන්න පුළුවන්ද?

පිළිතුර - දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡන්ද ටික ගන්න හැකිවන ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. අපිට එය පිළිගැනීමට වුවමනාවක්‌ නැහැ. අපි අපේ ස්‌ථාවරය රටට දැනුම් දී තිබෙනවා. ෆෙඩරල් ගැන 1930 ගණන්වල මුලින්ම කතා කළේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක. නමුත් ක්‍රියාත්මක කළේ නැහැ.

ප්‍රශ්නය - මොකක්‌ද ඔබේ පක්‍ෂයේ ස්‌ථාවරය.

පිළිතුර - එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීමේ විසඳුමක්‌ ඇතිකළ යුතුයි. එය සියලු ජනකොටස්‌ වල අයිතිවාසිකම් සුරක්‍ෂිත කරන ඔවුන් පිළිගන්නා එකක්‌ විය යුතුයි. ජාතික ප්‍රශ්නය සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය අපි වෙනස්‌ කර නැහැ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය හරහා පළාත් සභා මගින් බලය විමධ්‍යගත කිරීමක්‌ කළා. අද කළයුත්තේ පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර බලය විමධ්‍යගත කිරීමයි.

ප්‍රශ්නය - ඔබ කියන්නේ උතුරු පළාත් සභාවට ඉඩම්, පොලිස්‌ බලතල දියයුතු බවද?

පිළිතුර - උතුරට පමණක්‌ නොවෙයි අනෙක්‌ පළාත් සභාවලටද ඒ බලතල දියයුතුයිs.

ප්‍රශ්නය - එහෙම කළොත් උතුරේ වෙනම ප්‍රාන්තයක්‌ ගොඩනැඟීම වැළැක්‌විය නොහැකියි නේද?

පිළිතුර - එහෙම වෙනම ප්‍රාන්ත ගොඩනැඟෙන්නේ නැහැ. ඉඩම් පොලිස්‌ බලතල පළාත් සභාවලට දුන්නට මහ ඇමැතිවරයාට ඕනෑ විදියට කටයුතු කරන්න බැහැ. මධ්‍යම රජය යටතේ ඉඩම් කොමසාරිස්‌වරයෙක්‌ සිටිනවා. එහිදී ඉඩම් සම්බන්ධව යම් අකටයුත්තක්‌ පළාත් සභාවක සිදුවෙනවා නම් එය ඉඩම් කොමසාරිස්‌ට නැවැත්විය හැකියි. පොලිස්‌ බලතලත් එහෙමයි. පොලිස්‌පතිවරයාට ඕනෑම දෙයක්‌ නැවැත්විය හැකියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 13 වැනි සංශෝධනයට ඔබ්බෙන් යන දේශපාලන විසඳුමක්‌ උතුරු නැඟෙනහිරට ලබාදිය යුතු බව ප්‍රකාශ කළා. ඔහු ඉන්දියාවට ඒ ගැන ලිත පොරොන්දුවක්‌ ලබාදුන්නා. එහෙම කටයුතු කරපු අය අද ජනතාව හමුවේ බොරු කියමින් නැවත රටේ ජාතිවාදයක්‌ ඇවිස්‌සීමට උත්සාහ ගන්නවා.

ප්‍රශ්නය - නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා රට හමුවේ තබා ඇති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම එකක්‌ සඳහන් කර නැහැ.

පිළිතුර - ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැහැ. 13 සංශෝධනයට ඔබ්බෙන් යන විසඳුමක්‌ දෙන බවට ඉන්දියාවට ලිත පොරොන්දුවක්‌ ලබාදී තිබෙනවා. මහින්දගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස බලන විට එය තවත් එක්‌ විහිළුකාර ලියවිල්ලක්‌ පමණයි. එහි ඉදිරියට යැමක්‌ නැහැ.

අවුරුදු දහයක්‌ බලයේ සිටි මහින්ද රාජපක්‍ෂ සහ සන්ධාන ආණ්‌ඩුව අයවැය 11 ක්‌ ඉදිරිපත් කරලත් ජනතාවට සහන දුන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකළේ නැහැ. පෞද්ගලික අංශයේ සේවකයන් ගැන කතා කළේ නැහැ. අවුරුදු 10 ක්‌ ඇස්‌ කන් වසාගෙන සිටි මහින්ද දැන් නැවත ජනතාව මුළාකිරීම සඳහා සුරංගනා ලෝකයක්‌ මවන බව කියනවා. මේ බොරුවලට නැවත වතාවක්‌ රටේ ජනතාව රැවටෙන්නේ නැති බව අපට විශ්වාසයි.

ප්‍රශ්නය - මීට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය කොටි සමඟ රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන තිබෙන බවට බරපතළ චෝදනාවක්‌ එල්ල වුණා. දැන් දෙමළ ජාතික සන්ධානය සමඟ රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින බවට චෝදනා කරනවා. ඇත්තටම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්‌ කිරීමට පෙර ඔබේ පක්‍ෂය සමඟ සාකච්ඡා කළා නේද?

පිළිතුර - එදා කොටි සිටිය නිසා කොටි සම්බන්ධ කරමින් එක්‌සත් ජාතික පක්‍ෂයට මඩ ගැහුවා. දැන් කොටි නැති නිසා දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ කර ගනිමින් මඩ ගහනවා. නමුත් මේ මොනව කළත් ජනතාව දැන් දන්නවා මහින්ද රාජපක්‍ෂලා මේ කරන්නේ බොරුව කියලා. තව ටික කාලයකින් තලෙයිබාන්වලටත් අපිව සම්බන්ධ කරාවි.

ප්‍රශ්නය - ෆෙඩරල් විසඳුමක්‌ සම්බන්ධව දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළේ නැද්ද?

පිළිතුර - ෆෙඩරල් සම්බන්ධව අපි සාකච්ඡා කර නැහැ. නමුත් දෙමළ සන්ධානය රටේ අනෙක්‌ පක්‍ෂ වගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් දේශපාලන පක්‍ෂයක්‌. ඔවුන් සමග නිරතුරුවම අපි සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරන්නේ රට බෙදන්නවත් රටේ කොටසක්‌ ලියලා දෙන්නවත් නොවෙයි.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂය නිතරම හොරු, දූෂිතයන් ගැන කතා කරනවා. ආණ්‌ඩු බලය තිබිලත් ඔය චෝදනා කරන කිසිවකුටත් දඬුවම් නොදුන්නේ ඇයි?

පිළිතුර - ආණ්‌ඩු බලය තිබෙන එක ඇත්ත. නමුත් රටේ නීතියක්‌ තිබෙනවා. අපි වැඩ කරන්නේ ඒ නීතියට අනුකූලවයි. පසුගිය කාලේ බැසිල් රාජපක්‍ෂ, සජින්ද වාස්‌ ගුණවර්ධන වැනි ගිය රජයේ ඇමැතිවරු කිහිප දෙනකුට නඩු පවරා තිබෙනවා. අනෙක්‌ අය ගැන තිබෙන නීති රාමුව තුළ තොරතුරු සොයාගෙන යනවා. 17 වැනිදායින් පසු ඒ සියලු දෙනාටම දඬුවම් ලැබෙනවා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයට රටේ නීතිය සමඟ අපි සෙල්ලන් කරන්න යන්නේ නැහැ. ඔහු නීතිය අවනීතිය බවට පත්කරමින් සරත් ෙµdන්සේකා, ශිරානි බණ්‌ඩාරනායක වැනි අය සම්බන්ධව ක්‍රියාකළ අයුරු කවුරුත් දන්නවා. එහෙම අපිට කටයුතු කරන්න බැහැ.

නීතිය කාටත් එක බව යහපාලන ආණ්‌ඩුව රටට ඔප්පු කළා. පොලිසියේ කටයුතුවලට ඇඟිලි ගහන්න ඇමැතිවරු යන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස්‌වරයාගේ කටයුතුවලට ඇඟිලි ගහන්න ඇමැතිවරු යන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ට බලපෑම් කරන්නේ නැහැ. රාජ්‍ය දේපළ මැතිවරණයට යොදවන්නේ නැහැ. මහින්ද මැතිවරණ කරපු හැටි කාටත් මතක ඇති. අද එහෙම නැහැ. මහ මැතිවරණයක්‌ තියනවා කියා පෙනෙන්නෙවත් නැහැ. ජනතාව අපේක්‍ෂා කරන්නේ මෙවැනි පාලනයක්‌. මෙය ආරම්භයක්‌ පමණයි.

ප්‍රශ්නය - යහපාලන ආණ්‌ඩුවට බැඳුණු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරු දැන් දිනපතා අස්‌වෙමින් යනවා. ඔබ ඔය කියන විදියට යහපාලනය ඔච්චර හොඳනම් ඇමැතිවරු ඉවත් වන්නේ ඇයි?

පිළිතුර - ඔය ඉවත්වෙලා යන යහපාලන ආණ්‌ඩුවේ ඇමැතිවරු කිසිවෙක්‌ යහපාලනය වැරදියි කියන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරමින් මහින්ද රාජපක්‍ෂ යන ගමන වෙනස්‌ කිරීමටයි.

අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ තැනක්‌ නැහැ. පිරිසිදු දේශපාලනඥයන්ට එහි තැනක්‌ නැහැ. මහින්ද කර තියාගෙන යන්නේ දූෂිතයන් කණ්‌ඩායම. ඔවුන් මහින්දගේ කරේ එල්ලිලා බලයට එන්න උත්සාහ කරනවා. මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශවීම වැළැක්‌විය නොහැකියි.

ප්‍රශ්නය - එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය විහිළුකාර ලියවිල්ලක්‌ බවට ඔබ චෝදනා කළා. ඔබේ පක්‍ෂය ඉදිරිපත් කර ඇත්තෙත් එවැනිම හිස්‌ ලියවිල්ලක්‌ බවට ඔවුන් චෝදනා කරනවා.

පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂය කිසිදාක ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුනොකර සිට නැහැ. බලයට පත්වූ හැම විටම ලබාදුන් පොරොන්දු අපි ඉටුකර තිබෙනවා. මෙවර ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයද ලබන 18 සිට ක්‍රියාවට නැංවීම අරඹන බවට මට සහතික විය හැකියි.

දස ලක්‍ෂයකට රැකියා උත්පාදනය කිරීම, ආර්ථික සංවර්ධන අධි කලාප 45 පිහිටුවීම, කර්මාන්ත හා තාක්‍ෂණ සංවර්ධන අධි කලාප 11 ක්‌ පිහිටුවීම, පොකුරු ගම්මාන 2500, යටිතල පහසුකම්, ගැමි කාන්තා සංවර්ධනය, කෘෂිකර්මාන්තය දියුණුකර ගොවියා ආරක්‍ෂා කිරීම, ගොවි නිෂ්පාදනවලට වැඩි මිලක්‌ ලබාදීම, ආර්ථිකය දියුණු කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, අධ්‍යාපනය ඉහළ නැංවීම ඇතුළු වැඩසටහන් රැසක්‌ මාස 60 කින් අලුත් රටක්‌ හදන අපේ පංචවිධ ක්‍රියාවලියට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රශ්නය - රජයේ සියලු ව්‍යාපාර ආයතන සීමා සහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගමක්‌ යටතට පත්කරනු ලැබේ කියා එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යම් තැනක සඳහන් කර තිබෙනවා. මේ හදන්නේ යළිත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්ද?

පිළිතුර - පාඩු ලබන ආයතන විනිවිද බවකින් දියුණු කිරීමේ සැලසුමක්‌ අපි සකස්‌ කරමින් සිටිනවා. කිසිම රාජ්‍ය ආයතනයක්‌ පෞද්ගලීකරණය කරන්නේ නැහැ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මෙය දැඩිලෙස විවේචනය කරමින් යූ.එන්.පී. ය රාජ්‍ය සම්පත් විකුණා දමන්න හදනවා කියා ප්‍රචාරයක්‌ ගෙනයනවා. එය අමූලික බොරුවක්‌. අපි කිසිදාක රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

සාකච්ඡා කළේ - පියසේන දිසානායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.