යුද්දේ ඉවර කරපු අපි ෆෙඩරල් දෙන්නේ නෑ!
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්
කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක සුසිල් ප්‍රේමජයන්ත

මහ මැතිවරණයේ මේ වන විට පවතින තත්ත්වය අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිස්‌ත්‍රික්‌ක 14 ක්‌ ස්‌ථිර වශයෙන් ම ජයගන්නා බවත් තවත් දිස්‌ත්‍රික්‌ක 2 ක්‌ ජය ගැනීමට කටයුතු කරගෙන යන බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් හා එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක අධිනීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟÊපැවැති සාකච්ඡාවකදී පැවැසීය.

මෙහිදී ඒ මහතා අප නැගූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ දැන් තත්ත්වය කොහොමද? පිටතින් එච්චර පේන්නෙ නැහැ නේද?

පිළිතුර - මැතිවරණ ව්‍යාපාර කාගෙත් එහෙම තමයි. අපි සන්ධානය හැටියට දිස්‌ත්‍රික්‌ක මට්‌ටමෙන් රැස්‌වීම් පවත්වනවා. ඒ අතර ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල අපේක්‍ෂකයො රැස්‌වීම් තබමින් ගෙයින් ගෙට යමින් ඡන්ද කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ආසන මට්‌ටමෙන් කාර්යාල පවත්වාගෙන යනවා. එයට අමතරව ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ප්‍ර. - ඒ වුණාට මෙවර පෝස්‌ටර්, කටවුට්‌ එතරම් නැහැනේ?

පි - පෝස්‌ටර්, කටවුට්‌ ගැහුවාම ඉරල දානවා. ඉවත් කරනවා. ඒවාට අපරාදෙනේ සල්ලි වියදම් කරන්නේ. ඒත් හුඟ දෙනෙක්‌ ගම් ඇතුළෙ පෝස්‌ටර් ගහනවා. මොකද ඒවා ඉරන්න යන්නෙ නැති නිසා. දැන් බොහෝ අය මාධ්‍ය මගින් තමයි ඡන්ද ප්‍රචාරය කරගෙන යන්නේ. පත්තර, වෙබ් සයිට්‌ එහෙම නැත්නම් විද්යුත් මාධ්‍ය තමයි දැන් යොදා ගන්නේ.

ප්‍ර - ඔබ මෙවර ජාතික ලැයිස්‌තුවෙන් ඉදිරිපත් වෙන බවයි කලින් ප්‍රකාශ වෙලා තිබුණේ. ඇයි මෙවර තරග කරන්නට ආවේ?

පි - කොළඹ අපේක්‍ෂක ලැයිස්‌තුව ශක්‌තිමත් වෙන්න ඕන. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප නායකයා. ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්තයා කොළඹ දිස්‌ත්‍රික්‌ ජවිපෙ කණ්‌ඩායම් නායක. ඒ නිසා සන්ධානයේ අපි තීන්දුÊකළා ශ්‍රීලනිප ජාතික සංවිධායක හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් වන මා කණ්‌ඩායම් නායක වශයෙන් තරග කළ යුතුයි කියා.

ප්‍ර - ඔබ, අනුර යාපා, ඩලස්‌ අලහප්පෙරුම ආදී නායකයන් මැතිවරණයට තරග කිරීම නිසා සන්ධානයේ සමස්‌ත මැතිවරණ ව්‍යාපාරයට පාඩුවක්‌ සිදුවෙනවා නේද?

පි - ජනාධිපතිවරණයේදී නම් අපි සියලු දෙනාම එකට කටයුතු කළා. මේ අවස්‌ථාවේ අපි සියලු දෙනාම එක්‌ එක්‌ දිස්‌ත්‍රික්‌කවලින් තරග කරන නිසා අපේ ඡන්ද ව්‍යාපාරයේ කටයුතු කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒනිසා ජාතික ලැයිස්‌තුවේ සිටින කිහිපදෙනකු සමස්‌ත ඡන්ද ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතුවලට යොදවා තිබෙනවා. ඒ වුණත් මට මහ ලේකම් වශයෙන් සන්ධානයේ සමස්‌ත ඡන්ද ව්‍යාපාරයේ විශාල වැඩ කොටසක්‌ කිරීමට සිදුවෙලා තියෙනවා.

ප්‍ර - මෙවර මැතිවරණයට තරග කරන සමහර අපේක්‍ෂකයන් මෛත්‍රි පිල, මහින්ද පිල කියල බෙදී ඡන්ද ව්‍යාපාරය කරගෙන යැම සන්ධානයට අවාසිදායකයි නේද?

පි - හැමදාම එකම පක්‍ෂයේ අපේක්‍ෂකයො අතර මනාප සඳහා කල්ලි කණ්‌ඩායම් වශයෙන් බෙදී කටයුතු කිරීමේ ස්‌වරූපයක්‌ දකින්නට තිබෙනවා. තුන්දෙනෙක්‌ එකතුවෙලා, දෙන්නෙක්‌ එකතු වෙලා මැතිවරණ ව්‍යාපාරෙ ගෙනියනවා. ඒක අලුත් දෙයක්‌ නොවෙයි මනාප මැතිවරණ ක්‍රමය තිබෙනකම් මේවා සිද්ධ වෙනවා.

හැබැයි සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය නිකුත් කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැහැදිලිවම ප්‍රකාශ කළා අපි එක කණ්‌ඩායමක්‌ වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම. එතුමා සිය කතාවෙන් ඒ ගැන හොඳ පණිවුඩයක්‌ ලබා දුන්නා.

ප්‍ර - ඒ වුණාට සමහරු රැස්‌වීම්වලදී කියනවා මහින්ද මහත්තයා සමඟÊආවෙ නැති අයට ඡන්දෙ දෙන්න එපා. මහින්ද මහත්තයා වෙනුවෙන් කෙළින්ම පෙනී සිටින අයට පමණක්‌ ඡන්දෙ දෙන්න කියලා.

පි - ඒක තමන්ගෙ මනාප ගොඩ වැඩි කර ගැනීමට ඒ ඒ අය හදාගන්නා සටන් පාඨ. ඒගොල්ලො ඒකෙන් හදන්නෙ අනික්‌ අයගේ මනාප අඩුකරගන්නයි. තමන්ගෙ මනාප වැඩිකර ගන්නයි. ඕක ඔහොම නොවුණත් මැතිවරණ ව්‍යාපාරෙ දකින්න තියෙනවා.

ප්‍ර - මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිනුවත් ඔහුට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමත් කියල තිබුණා. එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන් රැස්‌වීම්වලත් කියාගෙන යනවා.

පි - ඒක මැතිවරණ ව්‍යාපාරයේ ගෙනියන එක්‌ උපක්‍රමයක්‌. 1982 ජනාධිපතිවරණයට කොබ්බෑකඩුව මහත්තය තරග කළ අවස්‌ථාවේ අනුර බණ්‌ඩාරනායක මහත්තයත් කිව්වා. "මා ඔහුට කොන්ත්‍රාත් එකක්‌ දීලා තියෙන්නේ" කියලා. ඒ අනුව මේ කතා ඒ ගොල්ලන්ගෙ වාසියට යොදා ගත්තු සටන් පාඨ පමණයි.

ප්‍ර - සන්ධානෙ ප්‍රතිපත්ති ප්‍රකාශය විකාශය කිරීමට ඉල්ලා සිටියත් ලැබුණේ නැහැ නේද?

පි - ඔව් දුන්නේ නැහැ. මුදල් ගෙවල විකාශය කරන්නයි අපි ඉල්ලුවේ. ඒත් දුන්නෙ නැහැ. අයි.ටී.එන් එක එක්‌සත් ජාතික පක්‍ෂයේ නාලිකාවක්‌ වගෙයි. ඡේ.වී.පී. එක යූඇන්පි එකත් එක්‌ක සම්බන්ධයිනේ. අයියා මල්ලි වාගෙනේ.

ප්‍ර - සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවෙ කුඩුකාරයො, අයි.ආර්.සී කාරයෝ, එතනෝල් කාරයොත් ඉන්නවා යෑයි එජාපය චෝදනා කරනවා?

පි - එහෙම කව්රු හරි ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව නඩු දාල වරදකාරයො කරල දඬුවම් දීල තියෙන්න එපායෑ. නීතිය හමුවට ඔවුන් ගෙනියන්න පුළුවන්නෙ. 1970 මැතිවරණයේදී ඉලංගරත්න මහත්තයාටත් යූ.එන්.පිය කරවල කුමාරයා කිව්වා. නමුත් එතුමාට විරුද්ධව කොහේවත් කිසිම චෝදනාවක්‌ තිබුණේ නැහැ. එතුමා මියයන තුරුම සාමාන්‍ය පුද්ගලයකු ලෙසයි ජීවත් වුණේ.

ප්‍ර - දැන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මැතිවරණ රැස්‌වීම්වල පොරොන්දු දීගෙන යනවා. ඊළඟ ආණ්‌ඩුව ආවොත් අරව කරනවා. මේව කරනවා. පඩි වැඩි කරනවා ආදී පොරොන්දු දෙනවා. බලයේ සිටි පසුගිය අවුරුදු 10 තුළ මේවා කරන්න තිබුණෙ නැද්ද?

පි - නැහැ එහෙම නෙවෙයි. මාස 6 කට පස්‌සෙ අපි අලුත් ගමනක්‌නේ ආරම්භ කරන්නේ. අපි එක දිගට හිටපු ආණ්‌ඩුවක්‌ හැටියට ඒ වෙලාවෙ අපි සංවර්ධන සැලැස්‌මක්‌ එක්‌කයි ගියේ. ඒකෙ ප්‍රතිඵල ලැබෙන්න කාලයක්‌ ගත වෙනවා. අපි දැක්‌කා සමහර ජන කොටස්‌, සමාජයේ කොටස්‌ ක්‍ෂණිකව යමක්‌ බලාපොරොත්තු වන බව. ඒ නිසා ඒ අයට ගැළපෙන හැටියටත් මේ පාර මැතිවරණ ප්‍රකාශය සකස්‌ කළා.

ප්‍ර - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 5 දෙනකුගේ සාමාජිකත්වය පසුගියදා ජනාධිපතිතුමා විසින් තහනම් කළා නේද?

පි - පක්‍ෂයේ සභාපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේ 5 දෙනකු සාමාජිකත්වයෙන් ඉවත් කළා. යහපාලනය ගැන කතා කරන මේ අය පක්‍ෂයෙන් ඉවත් නොවී එක්‌සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට තරග කිරීම සදාචාරාත්මක නැහැ. ඔවුන්ට තිබුණේ පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වෙලා ගිහින් තරග කරන්නයි.

ප්‍ර - ඔබගේ තක්‌සේරුව අනුව මේ පාර මැතිවරණයේ ප්‍රතිඵල කොහොම වේවිද?

පි - දැන් තිබෙන තත්ත්වය අනුව දිස්‌ත්‍රික්‌ක 14 ක්‌ අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. තව දිස්‌ත්‍රික්‌ක 2 ක්‌ දිනන්න තමයි අපි උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් දිස්‌ත්‍රික්‌ක 12 ක්‌ ජය ගන්නා පක්‍ෂයට බොහෝ වෙලාවට ජයග්‍රහණය කරන්න පුළුවන්.

ප්‍ර - එජාප නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියාගෙන යනවා ඔවුන් ජයග්‍රහණය කළොත් ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව. එහෙම වුණොත් ශ්‍රීලනිපයෙන් පිරිසක්‌ ඒකට එකතු වේවිද?

පි - ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා කියන කතාවෙන්ම පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට දිනන්න බෑ කියලා. ජාතික ආණ්‌ඩුව ඔවුන් හදන්න යන්නෙ ද්‍රවිඩ ජාතික සන්ධානය එක්‌ක වෙන්නත් පුළුවන්. අද ඒ ගොල්ලන්ගෙ ප්‍රධාන සටන් පාඨය වෙලා තියෙන්නේ උතුර - නැගෙනහිර ඒකාබද්ධ කොට ස්‌වයං පාලන අයිතිය ලබා ගැනීම සඳහා ෆෙඩරල් ක්‍රමය ඇති කිරීමයි. මේ එක්‌සත් ජාතික පක්‍ෂය හදන ජාතික ආණ්‌ඩුවේ ටී.එන්. ඒ. එක හිටියොත් ඒ අයට ඒ අයගෙ ඉල්ලීම ඉටු කරන්න වෙනවා. අපි 113 ට වැඩියෙන් ආසන ජය ගන්නවා. අපි තනි පක්‍ෂයක්‌ හැටියටයි ආණ්‌ඩුව පිහිටුවන්නෙ. එතකොට ඒ ප්‍රශ්නෙ මතුවෙන්නේ නැහැ.

ප්‍ර - දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයෙන් ෆෙඩරල් ඉල්ලනවා. මොකද ඒ ගැන කියන්නේ.

පි - ඒක තමයි කියන්නේ. අපි අවුරුදු 3 ට ත්‍රස්‌තවාදය අවසන් කරපු දේශපාලන පක්‍ෂයක්‌. මේ රජයේ මේ දියාරු ප්‍රතිපත්තිය නිසා තමයි ඒ අය එතනට ඇවිල්ල තියෙන්නේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිගටම හිටියා නම් ඒ ගොල්ලො ඔය ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙ නැහැ. දැන් ඒ ගොල්ලන්ගෙ බලාපොරොත්තු තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ වගේ දුර්වල නායකයෙක්‌ එක්‌ක එකතු වෙලා ජාතික ආණ්‌ඩුවක්‌ හදල ඒ ගොල්ලන්ගෙ ඉල්ලීම් දිනාගන්නයි. 1965 ඩඩ්ලි සේනානායක මහත්තයා ආණ්‌ඩුව හැදුව වගේ.

ප්‍ර - රනිල් වික්‍රමසිංහ මහත්තයා කියල තිබුණා ඒ අය බලයට පැමිණි පසු ඩොනමෝර් ක්‍රමයේ පාලනයක්‌ ගෙන යන බව. විධායක කමිටුව පිහිටුවලා විපක්‍ෂයටත් එහි බලතල හා වගකීම් පවරන බව. මේ ගැන ඔබේ අදහස

පි - ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා විකාශනයත් එක්‌ක අපි ඉස්‌සරහට යන්න ඕන. ඩොනමෝර් කියන්නේ මීට අවුරුදු 84 කට කලින් මේ රටේ තිබුණු පාලන ක්‍රමයක්‌. ලෝකේ කොහේවත් දැන් එවැනි ක්‍රමයක්‌ නැහැ. අපි අලුත් රටක්‌ හදන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපස්‌සට යන්න හදනවා. මේක තමයි අපේ පක්‍ෂයේ සහ එජාපයේ වෙනස.

ප්‍ර - පසුගිය ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද අනික්‌ පැත්තට ගියා. සන්ධානයට ලැබුණේ නැහැ. මේ වතාවේ ඒ ඡන්ද ගන්න වැඩපිළිවෙළක්‌ තියෙනවාද?

පි - තරුණයො ගොඩක්‌ කල් බලන් ඉන්නෙ නැහැ. මේ මාස 6 දී ඒ ගොල්ලන්ට වැටහිලා තිබෙනවා මේ ආණ්‌ඩුවට වැඩපිළිවෙළක්‌ නැති බව ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්න විසඳීමට.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩි කොටසක්‌ වෙන්වෙලා තියෙන්නේ තරුණ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමටයි. තොරතුරු තාක්‍ෂණය ගෙදරට ගෙනත් දීලා බ්‍රොaඩ්බෑන්ක්‌, ඔන්ලයින් යන්න පුළුවන් අවස්‌ථා ඔවුන්ට සලසා දීමයි අපේ මූලික ඉලක්‌කය. ඒ මගින් ඔවුන්ට ආර්ථිකය දියුණු කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන්ට යන්න පුළුවන්.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.