ඡන්ද සටන උණුසුම් කරන්න ෆෙඩරල් බිල්ලෙක්‌

පසුගිය සති අන්තයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ සියලු අභියෝග මධ්‍යයේ තමන්ට හැකි උපරිමයෙන් වෙහෙසෙමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටියේය. මැතිවරණ ව්‍යාපාරයේ ඔහුට දෙයාකාරයක සටනක්‌ කරන්නට සිදුවිය. එක්‌ අතකින් ඔහු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කණ්‌ඩායම් නායකයා ලෙස රට පුරාම ඇවිදිමින් ඡන්ද සටනේ වෙහෙස විය යුතු විය. එහිදී සෑම දිස්‌ත්‍රික්‌කයකටම යමින් ප්‍රධාන රැලි අමතමින් ප්‍රධාන අපේක්‍ෂක සාකච්ඡා මෙහෙයවමින් නායකත්වයේ වගකීම දරන්නට ද ඔහුට සිදුවිය. ඊට අමතරව තමන් තරග කරන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අභ්‍යන්තර ඡන්ද මෙහෙයුම් කටයුතු සිදුකරන්නට ද ඔහුට සිදුවිය. මේ නිසා මහින්ද රාජපක්‍ෂට පසුගිය සතිය අතිශයින් වෙහෙසකර සතියක්‌ විය. එසේම කොළඹින් බැහැර තැනින් තැනට යමින් මුළු සතියම ගත කළ දින කිහිපයක්‌ ලෙස ද වාර්තා විය.



පසුගිය ඉරිදා මහින්ද රාජපක්‍ෂට මාතලේ ප්‍රදේශයේ රැස්‌වීම් කිහිපයකටම සහභාගි වන්නට අවස්‌ථාව හිමිවිය. විශේෂ සිදුවීමක්‌ මෙහිදී වූයේ මාතලේ නාවුල ප්‍රදේශයේ තිබූ ප්‍රධාන රැස්‌වීමේදීය. අතිවිශාල සෙනඟක්‌ සහභාගි වූ මෙම රැස්‌වීමේදී ප්‍රථම වතාවට එක්‌තරා අපේක්‍ෂකයකු එල්ල කරගෙන විරෝධතාවයක්‌ ප්‍රකාශය වන්නට විය.

ධම්ම පදය වෙනුවට දේශපාලන පදයක්‌

මේ අපේක්‍ෂකයා පසුගිය සමයේ මහින්ද රාජපක්‍ෂගෙන් වෙන්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එකතු වූ නන්දිමිත්‍ර ඒකනායකය. නන්දිමිත්‍රට නාවුල රැස්‌වීම සඳහා ආරාධනයක්‌ ලැබී තිබිණි. ඔහු මෙවර ඡන්දයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් සටන් වැදී සිටින්නේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙනි. එහෙයින් දිස්‌ත්‍රික්‌කයේ සමහර කණ්‌ඩායම් නන්දිමිත්‍ර සමඟ උරණව සිටියහ. මේ පිරිස්‌ නාවුල රැස්‌වීමේදී එළිපිටම ඔහුට විරෝධය පෑවේ ඔහු මහින්ද රාජපක්‍ෂට පිටුපා ගිය බව මතක්‌ කර දෙමිනි.

රැස්‌වීම සංවිධානය කළ රෝහණ දිසානායකට හා ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාට මෙම ජනරැලියේ සිටි කලබලකාරී පිරිස්‌ පාලනය කිරීමට නොහැකි වූහ. අවසානයේ මහින්ද රාජපක්‍ෂ නැගිට ඔවුන් සන්සුන් කළේය. ඔහු නැවත වාඩිවෙනවාත් සමඟම නැවතත් කලබලකාරී පිරිස්‌ නන්දිමිත්‍රට හූ කියන්නට පටන් ගත්හ. මෙහිදී නන්දිමිත්‍ර විරෝධතාවය අතරතුරම තම කතාව කරගෙන ගියේය.

කතාව අවසන් කළ නන්දිමිත්‍ර කෙළින්ම පැමිණ වාඩිවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ළඟය.

"ඔය බලන්නකො සර්.. මේ විදියට කොහොමද අපි එකට වැඩ කරන්නේ. අපි එදා තීන්දුවක්‌ ගත්තෙ පක්‍ෂයේ මතයට ගරු කරමින්. පක්‍ෂයේ මතය අද ඔබතුමාගේ නායකත්වයෙන් ඡන්දෙ ඉල්ලන එක. අපි අද ඔබතුමත් එක්‌ක වැඩ කරනවා. සමහර මිනිස්‌සු මේක තේරුම් ගන්නෙ නැහැනෙ."

"ඕව ගණන් ගන්න එපා නන්දිමිත්‍ර. ඔයාලට ඔය වුණා වගෙ නෙවෙයි මේ ඉතිහාසය පුරාම මට වෙච්ච දේවල්. මට අදත් ඔය වගේ අවලාදවලින් ඉවරයක්‌ නැහැනෙ. ඕව මැද තමන්ගෙ ගමන ශක්‌තිමත්ව යන එක තමයි දේශපාලනය කියන්නෙ. ඔයා ඒක කරන්න. ඔයාට වරදින්නෙ නෑ."

ඉන්පසුව නන්දිමිත්‍ර ධම්ම පදයේ ගාථාවක්‌ කියමින් නින්දා ප්‍රශංසා කීර්ති ගැන ලොකු බණ කතාවක්‌ කියන්නට පටන් ගත්තේය.

"නන්දිමිත්‍ර මං ඔයාට එකක්‌ කියන්නම්. ඔයා දැන් ධම්මපදයේ පදය කියවන එක නෙවෙයි කරන්න ඕන. ඔයා දේශපාලන පදය හරියට කියන්න. දේශපාලන පදයයි මෙතෙන්ට වැදගත්."

එම රැස්‌වීම එසේ ගාලගෝට්‌ටි මැද අවසන් විය. කෙසේ වෙතත් රැස්‌ව සිටි ජනතාව සිය විරෝධය පළ කළේ මහින්ද රාජපක්‍ෂට විරුද්ධව පසුගිය කාලයේ කටයුතු කළ සංවිධායකයන්ට මිස ඔහු සමඟ සිටි කිසිවෙකුටවත් නොවේ. මේ නිසා මෙම විරෝධතාව රෝහණ දිසානායක හා ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා සැලසුම් සහගතව සංවිධානය කරන ලද විරෝධතාවයක්‌ ලෙස සමහරු හඳුන්වන්නට වූහ.

මහින්ද රාජපක්‍ෂ මේ සියල්ල ඉතා ඉවසීමෙන් සොයා බලා තම සංවිධායකයන්ට අවවාද කළේ තම පක්‍ෂයේ සැබෑ සතුරන්ට මෙබඳු දේ කරමින් අවි ආයුධ සපයන්නට එපා යෑයි උපදෙස්‌ දෙමිනි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ සමඟ රට පුරා යමින් දේශපාලන කටයුතුවල නිරත වූ සෙසු නායකයන්ට ද ප්‍රශ්නයක්‌ තිබිණි. ඒ වූ කලී තම තමන්ගේ දිස්‌ත්‍රික්‌කවල තම ඡන්ද ව්‍යාපාරවල නිරතවීමට කාලයක්‌ නොමැතිවීමයි. විශේෂයෙන්ම සන්ධාන වේදිකාවේ ප්‍රධාන කථිකයා වන විමල් වීරවංශට, සුසිල් ප්‍රේමජයන්තට, අනුර යාපාට, ජොන්ස්‌ටන් ප්‍රනාන්දුට, නිමල් සිරිපාලට, ඩලස්‌ට, කෙහෙළියට මෙම ප්‍රශ්නය තදින් බලපා තිබිණි. එම නිසා විමල් හැරුණු විට සෙසු කථිකයන්ට මහින්ද උපදෙස්‌ දුන්නේ හැකි තරම් තම තමන්ගේ දිස්‌ත්‍රික්‌කවල ඡන්ද ව්‍යාපාරවල නිරත වන ලෙසයි. මෙම හේතුව නිසා පසුගිය සතිය වන විට සන්ධානයේ ඉහළ දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ තම තමන්ගේ දිස්‌ත්‍රික්‌කවල හා ආසනවල කටයුතු කරනු දක්‌නට ලැබිණි.

මහින්දට තිබූ මෙම ප්‍රශ්නය මේ ආකාරයටම බලපෑ අනිත් පුද්ගලයා වූයේ එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහයි. රනිල් ද මේ දිනවල නිසැකවම දවසකට ප්‍රධාන රැලි හයක්‌ අමතමින් සිටියේය. සෑම දිස්‌ත්‍රික්‌කයකම යමින් සිටියේය. ඒ හා සමානවම කොළඹ ද රැඳෙමින් උදේ පාන්දර පක්‍ෂයේ මෙහෙයුම් වැඩකටයුතු ද කරමින් සිටියේය. සෑම දිනකම උදේ 8.30 - 9.00 වන විට අරලියගහ මන්දිරයට ගොස්‌ කල් තියා සූදානම් කරගන්නා ලද න්‍යායපත්‍රයට අනුව වැඩ පටන් ගැනීම ඔහුගේ දින චර්යාව විය.

පෙඩරල් බිල්ලා රවී හෙළි කරයි

මේ අතරතුර රනිල්ගේ සියලුම නියෝජිතයන් හමුවීම් හා පක්‍ෂයේ ක්‍රියාකාරිකයන් හමුවීම් යොදාගෙන සිටියේ උදේ වරුවේය. රනිල් අරලියගහ මන්දිරයට එන විට සෑම දිනකම කොළඹ සිටින ක්‍රියාකාරී නායකයන් ද විවිධාකාරයේ සාකච්ඡා සඳහා ඔහු එනතුරු අරලියගහ මන්දිරයේ බලා සිටියහ. පසුගිය බදාදා උදේ 9.00 වන විට මේ ආකාරයට මැති ඇමැතිවරු හා ක්‍රියාකාරීන් පිරිසක්‌ පැමිණ සිටියහ. මලික්‌, චම්පික, රාජිත, මනෝ, රිෂාඩ්, රවී, කිරිඇල්ල, හැරිසන් යන අය ද මේ අතර වූහ.

පක්‍ෂයේ පොදු වැඩ කටයුතුවලට අමතරව තම විරුද්ධවාදීන්ගේ අඩු පාඩු හා දුර්වලතා සාකච්ඡා කිරීමට ද මෙම නායකයෝ මේ සාකච්ඡා අතරවාරයේ අමතක නොකළහ. එදා උදෙන්ම මේ කාර්යය පටන් ගත්තේ රවී කරුණානායකය. රවී ඉදිරිපත් කළ කාරණය වූයේ පසුගිය දිනවල දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ පෙඩරල් යෝජනාව පිළිබඳවය.

"මේ පෙඩරල් යෝජනාවක්‌ ගෙනල්ල දෙමළ ජාතික සන්ධානය හරි තොප්පියක්‌ තමයි අපිට දාල තියෙන්නෙ. සමහරු ඒක අපේ පැත්තට දාල පතුරු ගහනව මාධ්‍යවලින්. හරියටම මේ පෙඩරල් යෝජනාව අපි ගෙනාව වගේ. අපි හරහ මේ යෝජනාව ක්‍රියාත්මක වෙයි කියලයි අපේ විරුද්ධ බලවේග චෝදනා කරන්නෙ." රවී කීවේය.

"එක එක පක්‍ෂ තම තමන්ට ගැලපෙන විදියට තම තමන්ගේ ජනතාවට පාක්‍ෂිකයන්ට විවිධ පොරොන්දු දෙනවා. විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. මේ හැම තැනටම ඔය වගේ ආකර්ෂණීය ඡන්ද පොරොන්දු තියෙනවා. ඕව ඉතින් මේ ඡන්ද කාලවලදි අලුත් දේවල් නෙවෙයි." රනිල් කීවේය.

"ඒ වුණාට සර්... ඒ ඔක්‌කොගේම නරක නාමෙ එන්නෙ අපට. අපේ ආණ්‌ඩුවකින් උතුරට පෙඩරල් දෙන්න එකඟ වෙනවා කියලයි මඩ ගහන්නෙ." රවී නැවත කීවේය.

"ඕවයින් වැඩක්‌ නෑ. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියල තියෙනවා පැහැදිලිවම 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක අපි නැහැ කියලා. අපේ සංකල්පය ඒකීය රාජ්‍යයක්‌. ඊට වඩා එහා ගිය බලය බෙදීමක්‌ ඉන්දියාවෙත් නැහැ. අපිටත් ඉන් එහාට දේවල් කරන්න බෑ. ඒගොල්ල එයාලගෙ ජනතාව නම්ම ගන්න එක එක පොරොන්දු දෙන එක නවත්තන්නත් අපිට බෑ. අපි ඕව ගණන් ගන්න හොඳ නෑ." රනිල් කීවේය.

"ඒ වුණාට සර්... අපි බලය බෙදීම කියන දේ කරන්න ඕන. මම එදා ඉඳලම බලය බෙදීමට පක්‍ෂවයි දේශපාලනය කළේ. මේ රට එක්‌සත්ව ඒකීයව තියාගන්න නම් ඒ මිනිස්‌සුන්ගෙ බලය ඒ මිනිස්‌සුන්ට දෙන්න වෙනවා. රාජිත කීවේය.

මේ අතර කිරිඇල්ල කතා කළේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩුපාඩු ගැනය.

"බලන්නකො සර්... සන්ධානෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ කියල එකක්‌ ගහල තියෙනවා. කාගෙවත් පිංතූරයක්‌ පක්‍ෂ නායකයෙක්‌ගෙ පක්‍ෂෙ නිර්මාතෘවරයෙක්‌ගෙ පක්‍ෂෙ අගමැති අපේක්‍ෂකයා කියල කියන කෙනාගේ පිංතූර නෑ.ඒ වගේම මධ්‍යම කාරක සභාවෙවත් විධායක සභාවෙවත් අනුමැතිය මේකට ලැබිලත් නැහැලු. ඒව තියෙන්නෙත් එක එක වාරණ නියෝගවල හිරවෙලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සුරැකීමේ සංවිධානයත් ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරෝධය පළ කරල තියෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයාට දැනුම් දෙන්නෙත් නැතිව ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ එළිදක්‌වන එක වැරදියි කියලයි කියල තියෙන්නෙ. ඒ වගේම මේක හදල තියෙන්නෙත් පක්‍ෂයේ පූර්ණ අනුදැනුම ඇතිව නොවෙයි. මහින්ද එක්‌ක ඉන්න වෙන වෙන පක්‍ෂවල කණ්‌ඩායමක්‌ තමයි සන්ධානෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් හදල තියෙන්නෙ. ඒකට කවුද එකඟ වෙන්නෙ." කිරිඇල්ල කීවේය.

"සන්ධානය දිනුවත් අගමැති වෙන්නේ කවුද කියලා ඒකෙ කියල නෑ." හැරිසන් කීවේය.

ඉන් අනතුරුව කතා කළේ එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ පසුගියදා සන්ධානගත වී ගිවිසුම් අත්සන් කළ සිවිල් සංවිධාන 106 ක එකමුතුවක්‌ පිළිබඳවය.

"ජනාධිපතිවරණයේදී මෛත්‍රී එක්‌ක සන්ධානගත වුණේ සිවිල් සංවිධාන 40 යි. පක්‍ෂ ඔක්‌කොමත් එක්‌ක තමයි කණ්‌ඩායම් 49 ක්‌ මෛත්‍රී දිනවන්න වැඩ කළේ. මේ පාර ඒක 106 ක්‌ බවට වැඩි වීමෙන්ම මහ ඡන්දයේ උණුසුම පැහැදිලියි. මහින්දට කොහොමටවත් ලේසි වෙන්නෙ නෑ." කිරිඇල්ල සහ රවී විග්‍රහ කළහ.

"සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මාත් එක්‌ක සිවිල් සංවිධානවල නායකයො කතා කළා. ඒගොල්ල පෙන්නල දෙනව අවුරුදු 9 ක්‌ම දෙන්න බැරි වෙච්ච සහන දැන් තමයි මහින්දට දෙන්න හිතිල තියෙන්නෙ කියල. කවදාවත් දිනන්නෙ නැති කෙනෙකුට තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඕන තරම් බොරු දාගන්න පුළුවන් කියලයි සිවිල් සංවිධාන නායකයො කිව්වෙ. එයාල උදාහරණයකට පෙන්නුවෙ විවාහ ගාස්‌තුව රුපියල් 200 ඉඳල රුපියල් 5000 දක්‌වා වැඩි කරපු මහින්ද කසාද බඳින අයට ලක්‍ෂ එකහමාරක්‌ දෙනව කියන විහිළුව වගේ විහිළු තව කොච්චර තියෙනවද කියලයි." රනිල් මෙම කතාව කියා තවත් විස්‌තරයක්‌ කළේය.

රනිල් නිසාම මැතිවරණය පිරිසිදුලු

"මටත් ආව නේ ඔය චෝදනා ගොඩක්‌. මම යුරෝපීය ඇඳුම් අඳිනව කිව්වා. ටයි කෝට්‌ දානව කිව්වා. බටහිරට ගැතියි කිව්වා. මොනවද විවේචනය කළේ නැත්තෙ. ඒ වුණාට බටහිරින් ආපු දේවල් නිසා අද අපේ සමාජය දියුණු වෙලා. අද රටේ තියෙන්නෙ බටහිර වගේ සාධාරණ ඡන්දයක්‌. කටවුට්‌, පෝaස්‌ටර් නෑ. අරක්‌කු, එතනෝල්, දන්සල් නෑ. ගිනි අවි නෑ. සල්ලි නැති අයටත් ඡන්දය කරන්න අද පහසුයි. ඒ පුරුදු ඔක්‌කොම ආවෙ බටහිරින්." රනිල් කීවේය.

"ඒකෙ නම් ගෞරවය ඔබතුමාටයි, ජනාධිපතිතුමාටයි හිමිවෙන්න ඕන. ඒ දවස්‌වල පොලිසියටයි, අනෙකුත් නිලධාරීන්ටයි බලපෑම් කළේ දේශපාලනඥයො නේ. ඔබතුමාල ඒ සංස්‌කෘතිය නැති කළා. ඒක ලොකු දෙයක්‌." රවී එසේ කියද්දී හැරිසන් තවත් කතාවක්‌ එකතු කළේය.

"ඔව් ඔව්... ඉස්‌සර පොලිසියට නියෝග නිකුත් වුණේ මේ මැතිවරණ කාලෙදි අරලියගහ මන්දිරයෙන්. ඒත් අද පොලිසියට නියෝග දෙන්නෙ රාජගිරියෙ මැතිවරණ කාර්යාලයෙන්. මේක තමයි රටේ ඇති කරපු අලුත් වෙනස. මේ වෙනස දැන් රටේ ජනතාවට දැනිලයි තියෙන්නෙ."

"ඔය වෙනස සර් මාධ්‍යවලත් තියෙනව නේ. රාජ්‍ය මාධ්‍ය වුණත් අද හරි ස්‌වාධීනයි. ආණ්‌ඩු පක්‍ෂයේ අයට වඩා විපක්‍ෂයේ අයටයි අවස්‌ථාවල් හිමිවෙලා තියෙන්නෙ." රවී කීවේය.

"1982 දිත් ඔය දේ වුණා. ඒ කාලෙ රූපවාහිනිය අවස්‌ථාවල් දුන්නෙත් තුණ්‌ඩු උඩ දාලයි. ඡේ. ආර්. ජනාධිපතිතුමා එච්චර සාධාරණව වැඩ කළා." රනිල් පෙන්වා දුන්නේය.

"අද කාලෙ සන්ධානයෙ අය තමන්ගෙ වේදිකාවෙ ඉන්න තමන්ගෙම සහෝදර අපේක්‍ෂකයන්ට හූ කියනවා. දැන් නන්දිමිත්‍රට හූ කියල මහින්දගෙ කට්‌ටිය ලොකු අවුලක්‌ ඇතිකරගෙන. දැන් එස්‌. බී.ල, මහින්ද සමරසිංහල, දුමින්දල මහින්ද ඉන්න වේදිකාවට නගින්නෙත් නෑ කියලයි කියන්නෙ." රවී කීවේය.

මේ අයුරින් ඇදී ගිය කතාව නතර වූයේ අගමැතිවරයාට එදා හවස මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වීමට යන්නට තිබීම නිසාය. එජාප නායකයෝ විසිර ගියහ. රනිල් ප්‍රචාරක කටයුතු සඳහා ගියේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වුණේ පසුගිය 28 වැනි අඟහරුවාදාය. එම කටයුත්ත කොළඹ හෙන්ද්‍රි පේදිරිස්‌ ක්‍රීඩාංගණයේදී ආගමික නායකයන්, සන්ධාන නායකයන්, ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි. මහින්ද රාජපක්‍ෂ එම උත්සවයේ සිට පාක්‍ෂිකයන් සමඟ කතා බහ කරමින් සිට ඔවුන්ගෙන් සමුගත්තේ දවසේ ප්‍රචාරක රැලිවලට සහභාගිවීම සඳහා කොළඹින් පිට යැමට ඇති බව ද මතක්‌ කරමිනි.

එදා එම ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්‌වුණු අවස්‌ථාවේ මහින්ද සිටියේ රැස්‌ව සිටි ජනතාව දෙස බලා එක්‌තරා තක්‌සේරුවකට පැමිණියේය. තම ගමන සුබ බව ඔහු ළඟ සිටි හිතවතුන්ට කීවේය. ඒ අතර පහළ තැනක වේදිකාවෙන් ඉවත සිටි එක්‌තරා අයකු දුටුවේය. ඒ දෙහිවල ධනසිරි අමරතුංගය. ඔහුට අතින් සංඥ කරමින් වේදිකාවට කතා කළ මහින්ද දෙවැනි පේළියේ ආසනයක වාඩිවෙන්නැයි කීවේය. පසුපස අසුන දෙසට හැරී ධනසිරිට ළඟට කතා කර මහින්ද කොහොමද දෙහිවල තත්ත්වය යෑයි විමසා බැලීය.

"මල්ලි පොඩ්ඩක්‌ වැඩිපුර මහන්සි වෙන්න. කොළඹ ටිකක්‌ දුවපු තරමට තමයි ප්‍රතිඵල හොඳ."

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වුණු උත්සවයෙන් පසුව මහින්ද නිදහස්‌ චතුරශ්‍රයේ ආකේඩ් සුපිරි වෙළඳ සංකීර්ණයට පැමිණියේය. එහි තරුණ තරුණියන් විශාල පිරිසක්‌ රැඳී සිටි නිසා මහින්ද ඔවුන් අතරට ගොස්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් රැසක්‌ ඔවුන් වෙත බෙදා දුන්නේය. ඒ අතර තරුණ තරුණියන්ගේ අදහස්‌ විමසීමට ද අමතක නොකළේය. තරුණ තරුණියන්ගේ උනන්දුව දේශපාලනය කෙරෙහි ඇති තරම ඔහු හොඳින් වටහා ගත්තේය. සංවාදයට වැඩි වෙලාවක්‌ නොවීය. ඔහු එතනින් සමුගන්නට උත්සාහ කරන අතරතුර තරුණ තරුණියෝ මහින්ද ළඟට පැමිණ තම තමන්ගේ අතෙහි වූ දුරකථනවලින් 'සෙල්ප's ෙµdටෝ ගන්නට පටන් ගත්හ. මේ සෙල්පි නිසා දැන් මහින්ද රාජපක්‍ෂට ප්‍රසිද්ධ තැනකට යන්නට බැරි තරම්ය. එහෙත් ඒ කරදරය ඔහු කරදරයක්‌ ලෙස සැලකුවේ නැත.

එම කටයුත්තට පසුව මහින්ද විමල් වීරවංශ හා සුසිල් ප්‍රේමජයන්ත සමඟ නුවරඑළිය බලා යන්නට තිබෙන බව පවසමින් ආකේඩ් සංකීර්ණයෙන් සමුගත්තේය.

මේ අතරතුර මහින්ද බස්‌නාහිර පළාතේ මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ නිල නිවසට ගොඩවදින්නට ද අමතක නොකළේය. ඔහු යන විට නිවසේ කිසිවකු සිටියේ නැත. සිටියේ ගෙදර සේවකයන් පමණි. ප්‍රසන්න කොයිදැයි විමසන විට ඔවුන් කීවේ මහ ඇමැතිතුමා ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතුවල සිsටින බවය. සේවකයන් ප්‍රසන්නට දුරකථන ඇමතුමක්‌ ගෙන අමුත්තකු පැමිණ ඇතැයි කීහ. ප්‍රසන්න වහාම තම දියණියට කතා කර වහාම නිල නිවසට ගොස්‌ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස කීවේය. ඇය පැමිණ මහින්දට ආහාරපාන සපයන්නට උත්සාහ කළත් මහින්ද තේ කෝප්පයකින් පමණක්‌ සංග්‍රහ ලබාගත්තේය.

"මම මේ උඩරට පැත්තෙ රැලි කීපයකට යන්න කලින් මෙහාට ආවෙ ප්‍රසන්නව පොඩ්ඩක්‌ හම්බවෙලා යන්න. එහෙනම් මම යනවා" කියමින් මහින්ද පිටත්ව ගියේය.

අන්දරේලා ගැන මහින්දගෙන් විග්‍රහයක්‌

මහින්ද, සුසිල් හා විමල් තිදෙනා ගුවන් මගින් නුවරඑළිය බලා පිටත් වූයේ දිවා ආහාරයවත් නොගෙනය. එදා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයේ ප්‍රචාරක රැලි ගණනාවක්‌ම සංවිධානය කර තිබිණි. මුලින්ම ඔවුන්ට යන්නට සිදුවූයේ හඟුරන්කෙත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැලියකටය. ඒ රැලිය පැවති භූමිය වෙත යන අතරතුර සී. බී. රත්නායක මහින්දට එක්‌තරා ස්‌ථානයක්‌ පෙන්වුයේය. එහි තිබුණේ ඉතා පැරණි කොස්‌ ගසක නෂ්ටාවශේෂය. මේක තමයි සර් කන්ද උඩරට රජවරුන් වෙනුවෙන් වෙන් කරල තිබුණු පැණි වරක ගහ. අන්දරේලා පැණි වරක හොරා කෑවයි කියන්නේ මේ ගහෙන් තමයි. සී. බී. විස්‌තර කළේය.

ඒ අතර සී. බී. රත්නායක අන්දරේ හා බැඳුණු තවත් ජනප්‍රවාද ගණනාවක්‌ විස්‌තර කළේය. වෙල්යායක්‌ මැද එම කතාවට අදාළ ගල් පර්වතය තවමත් තිබෙන බව සී. බී. කීවේය.

"එහෙම තමයි සී. බී. එදා වගේම අදත් රජවරු අන්දන අන්දරේලා ඉන්නවා. පේනව නේ අද කට්‌ටිය රජවරුන්ට අන්දන හැටි. අන්න අන්දරේලා" කියමින් මහින්ද විස්‌තර කරන විට කවුරුත් සිනහ වෙන්නට පටන් ගත්හ.

එසේ සුහද කතාබහෙන් යුතුව හඟුරන්කෙත රැලියට සහභාගි වූ මෙම පිරිස දිවා ආහාරය ගත්තේ හවස 5.00 ද ඉක්‌ම ගිය පසුවය. මහින්ද හා විමල් ඉනික්‌බිති සහභාගි වූයේ වලපනේ නිල්දණ්‌ඩාහින්න නගරයේ පැවැති සන්ධාන රැලියටය.

ගිය සතියේ මෙතනම තිබුණ සර් රනිල් වික්‍රමසිංහ සහභාගි වුණු රැලියක්‌. ඒකට එක දාහක්‌වත් මිනිස්‌සු ඇවිත් හිටියෙ නෑ. ඒ වුණාට සර් එනවයි කිව්වහම අද බලන්නකො සර් මෙතන එකතු වෙලා ඉන්න සෙනඟ කොච්චරද කියල. නිල්දණ්‌ඩාහින්න නගරයට පැමිණ සිටි දැවැන්ත ජනකාය දුටු මහින්ද හිස වනමින් සතුට පළ කළා මිස වෙන කිසිවක්‌ කීවේ නැත.

"ඔයගොල්ලන්ව සංවිධාන කටයුතු බොහොම හොඳට කැපී පෙනෙනවා. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කෙ ඒක නිසා මේ පාර වෙනදට වඩා ලොකු වෙනසක්‌ වෙයි කියල මං විශ්වාස කරනවා." මහින්ද නුවරඑළිය අපේක්‍ෂක නිමල් පියතිස්‌සට පැවසුවේය.

නිල්දණ්‌ඩාහින්න රැලියෙන් පසුව මහින්ද එදා රාත්‍රියේ බණ්‌ඩාරවෙල බලා පිටත්ව ගියේ පහුවදා උදේ පටන් බදුල්ල, බණ්‌ඩාරවෙල ප්‍රදේශවල පැවැත්වුණු රැලිවලට සහභාගිවීමට අවශ්‍ය බව කියමිනි.

පසුගිය සතියේ ඔහු සිය රැස්‌වීම්වල වැඩ කටයුතු ආරම්භ කළේ ඉරිදා මාතලේ නාවුල ක්‍රීඩාංගණයේ පැවැති රැලියෙනි. ඉන් පසුව දිගින් දිගටම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගලගෙදර, මැණික්‌හින්න, නුවරඑළියේ හඟුරන්කෙත, නිල්දණ්‌ඩාහින්න, බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගනය, මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මොනරාගල නගරය, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඇඹිලිපිටිය ආදී රැලි ගණනාවකටම සහභාගි වෙමිනි. විමල් වීරවංශ ද ප්‍රධාන කථිකයා ලෙස මේ සියලුම රැලිවලට සහභාගිවීම මෙහි දුටු විශේෂත්වයයි.

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන පෙළේ රැලි මාලාවලට සහභාගි වූයේ පක්‍ෂ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු සියල්ල කොළඹ සිටි කරු ජයසූරිය වෙත පවරා දෙමිනි. ඊට අමතරව කරූට වෙනත් විශේෂ වගකීම් කීපයක්‌ ද පැවරී තිබිණි. පසුගිය 24 වැනිදා කොළඹ දිස්‌ත්‍රික්‌ භික්‍ෂු පෙරමුණේ ඒකාබද්ධ රැස්‌වීම කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විsණි. එයට භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ සහභාගි වූ අතර කරු උන්වහන්සේලාට විශේෂ කාරණයක්‌ අවධාරණය කළේය.

"ජනවාරි 8 වැනිදා අපි මේ රටේ විශේෂ ජයග්‍රහණයක්‌ ලැබුවා. මේ ජයග්‍රහණයෙන් පස්‌සෙ රට ඉදිරියට ගෙනයන වගකීම අපේ පක්‍ෂයට ලැබුණා. සෑම අංශයකින්ම රට ගොඩනැගීමට දැන් අපට වගකීමක්‌ තියෙනවා. ඒකට හොඳ කළමනාකරුවෙක්‌ අවශ්‍යයි. දකුණු ආසියාවේ ඉන්න විශිෂ්ටතම කළමනාකරුවා විදියට පිළිඅරගෙන ඉන්න කෙනා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ විකල්පය අද මුළු ලෝකයම දන්නවා. ඉතින් 8 වැනිදා ලබාපුq ජයග්‍රහණය අර්ථවත් කරන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තය මේ රටේ අගමැති කරන්න ඕන." කරු වැඩම කර සිටි ස්‌වාමීන්වහන්සේලාට මෙසේ ලොකු විස්‌තරයක්‌ කළේය.

අනතුරුව එක්‌සත් ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණ බලගැන්වීමේ වැඩසටහන ද රනිල් වික්‍රමසිංහගේ උපදෙස්‌ පරිදි ගොඩනගන්නට සිදුව තිබුණේ කරු ජයසූරියටය. පක්‍ෂ මූලස්‌ථානයේදී මේ සම්බන්ධයෙන් ලොකු මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වූයේ යොවුන් පෙරමුණේ සභාපති රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙනි. යොවුන් පෙරමුණ මෙම අවස්‌ථාවට සුවිශේෂ අත්පළඳනාවක්‌ ද හඳුන්වා දී තිබිණි. කරු එම හමුවට පැමිණ සිටි තරුණ තරුණියන් වෙත ප්‍රදානය කළේය. තරුණ පිssරිස අමතා ඔහු මෙසේ පැවසුවේ තරුණ පරපුරේ අනාගත අභියෝග ගැන ද මතක්‌ කර දෙමිනි.

"ඔයගොල්ලො දන්නවද අපේ රටේ ඊළඟ යුගය අයිති කාටද කියල. ඒ යුගයෙ අයිතිකාරයො තමයි අවුරුදු 18 ත් 35 ත් අතරෙ ඉන්න තරුණ තරුණියන් වන ඔබ. මේ පරපුර ප්‍රතිපත්තිගරුක දේශපාලනයකට හුරු කරවීම තමයි අපේ බලාපොරොත්තුව. අපි දන්නවා ඔබ ඒ වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්‌. ඔබගේ ඒ පිළිබඳව තියෙන ඇල්ම ගැන අපි ප්‍රශංසා කරන්නෙ අන්න ඒකයි."

මේ අතර රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ සම්මේලනය කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පසුගිය සතියේ පැවැත්වුණේ ද කරුගේ මූලිකත්වයෙනි. මෙහිදී විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ වත්මන් රජය ගැන ඉතා පැහැදීමෙන් කටයුතු කළ විශ්‍රාමිකයෝ කරුට ප්‍රශංසා කළහ.

"ඔබතුමා අපට දීපු වචනය ඉෂ්ට කළා. අවුරුදු දහයක්‌ම අපට අපේ වැටුප් විෂමතා ඉවත් කරගන්න බැරි වුණා. ඒත් ඔබතුමාලා ඒ කටයුත්ත කරගන්න නායකත්වය දුන්නා. අපේ සටනේ හිටපු එක්‌ලක්‍ෂ පනස්‌දාහක්‌ පමණ සාමාජිකයන් පහුගිය දවස්‌වල විසඳුමක්‌ නොදැකම මියගියා. පහුගිය ආණ්‌ඩුවේ සමහර බලධාරීන් කිව්වෙ ඒ ප්‍රශ්නය කාලයට බාරදුන්න කියලයි. ඒත් මේ රජය අපි වෙනුවෙන් ඒ අමාරු වැඩේ කළා. ඊට නායකත්වය දීම ගැන අපි ඔබතුමාට ප්‍රශංසා කරනවා. පින් දෙනවා." විශ්‍රාමිකයෝ කීහ.

පසුගිය සතිය වන විට 2015 මහ ඡන්දයේ පූර්ව සමීක්‍ෂණ වාර්තා කිහිපයක්‌ ද එක්‌ එක්‌ පාර්ශ්වවලින් එළිදක්‌වා තිබිණි. සමහර වාර්තා ඒ ඒ පක්‍ෂවලින් කරන ලද ඒවා නිසා පක්‍ෂග්‍රාහී බව දක්‌නට ලැබිණි. එහෙත් ඒ අතර සාධනීය ලක්‍ෂණ පෙන්නුම් කළ සමීක්‍ෂණ ප්‍රතිඵල ද නොතිබුණාම නොවේ.

ඒ අතර වාර්තා කිහිපයකම පසුගිය ඡන්ද ප්‍රතිඵලය විවරණය කරමින් විස්‌තර දක්‌වා තිබුණේ මෙවර දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්‌ති පෙරමුණ මෙන්ම ෙµdන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙන වෙනම ඡන්දය ඉල්ලන බැවින් එක්‌සත් ජාතික පෙරමුණේ බලවේගයට පසුගිය ජනවාරි 8 වැනිදා ලැබුණු වාසිය මෙවර නොලැබේය කියාය. ඒ අනුව ඉතාමත්ම සීමිත ඡන්ද ප්‍රමාණයකින් එක්‌සත් ජාතික පෙරමුණ කේන්ද්‍රීය වූ කණ්‌ඩායම පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බදුල්ල, ගම්පහ, අම්පාර, පුත්තලම වැනි දිස්‌ත්‍රික්‌ක මෙවර ඔවුන්ට ජයගත නොහැකි බවය. ඒවා සියල්ල සන්ධානයට වාසිදායක වන බව පෙන්වා දී තිබුණේ තාත්විකවය. උදාහරණයක්‌ ලෙස බදුල්ල ගත් විට එය හංසයා ලකුණෙන් තරග කළ කණ්‌ඩායම ජයග්‍රහණය කළේ ඡන්ද 300 ක්‌ බඳු ප්‍රමාණයකිනි. මෙවර ජවිපෙය සටන් කරන්නේ වෙනම වන නිසා බදුල්ලෙන් සාමාන්‍යයෙන් ජවිපෙයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ඉවත් කළ විට එක්‌සත් ජාතික පෙරමුණට අවාසිදායක බව පෙන්වා දී තිබේ. එබඳු කාරණා කෙසේ වෙතත් සමීක්‍ෂණ වාර්තාවලින් සියල්ල අවසන් ඉලක්‌කමට කීම මෙබඳු ඡන්දයක ජනවරම හැසිරෙන ආකාරය ගැන බලන විට යථාර්ථයක්‌ වන්නේ නැත. කෙසේ වෙතත් එම වාර්තා එළිදක්‌වා තිබීම යම් ජයග්‍රහණයක සේයාවක්‌ ලබාගැනීමට ප්‍රමාණවත් බව පෙනේ.

මේ දිනවල මනාප පොරයද ඉතා තදින් දැනෙන්නට පටන්ගෙන ඇත. මෙම මනාප පොරය ප්‍රබලව දක්‌නට ලැබෙන්නේ පක්‍ෂ විපක්‍ෂ කණ්‌ඩායම් අතර නොව එකම පක්‍ෂයේ කණ්‌ඩායම් අතරය.

මනාප පොරය නිසා හූ කියා ගැනිලි ද කිහිපයක්‌ පසුගිය සතියේ සිදුවී තිබිණි. මාතලේ සිදුවූයේ ද එවැන්නකි. ඊට අමතරව උණුසුම් සටනක්‌ තිබුණු තවත් තැනකි ගාල්ල. ගාල්ලේ පියසේන ගමගේ ලොකු ජනතා බලයක්‌ හිමි නායකයෙකි. එහෙත් ඔහු මෛත්‍රී පිලට ගොස්‌ වරප්‍රසාද ලබාගැනීම හේතුවෙන් සමහරුන්ට ඔහුට විරුද්ධව පාවිච්චි කිරීමට අවි ආයුධ කීපයක්‌ ලැබී තිබිණි. එම අවි පසුගිය දිනවල පාවිච්චි වන බව ද දක්‌නට ලැබිණි. පියසේන ගමගේ එබඳු අභියෝග මනූෂගෙන් හා චන්දිම වීරක්‌කොඩිගෙන් එල්ල වනු ගාල්ලේ සුලභ දසුනක්‌ විය.

මේ ආකාරයේම සටනක්‌ මාතර දිස්‌ත්‍රික්‌කයේ තිබුණේ එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළේය. මාතර එජාපයේ මනාප ප්‍රමුඛයා ලෙස කැපී පෙනෙන්නේ කවදත් ජනතාව අතර සිටි නායකයකු වූ බුද්ධික පතිරණය. එහෙත් මංගල හා සාගල ඔහු හා තරගයට පැමිණ සිටීම නිසා මාතර ද ලොකු මනාප පොරයක්‌ ඔවුන් අතර නිර්මාණය වී තිබිණි.

කූරුණෑගල එබඳු පොරයක්‌ නොවූයේ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. එම දිස්‌ත්‍රික්‌කයේ කවුරුත් වැඩ කළේ මහින්ද රාජපක්‍ෂට මූලිකත්වය දෙමිනි. දෙවැනි මනාපය මට දෙන්න යෑයි ඉල්ලීම ඒ හැම කෙනකුගේම සටන විය.

ගම්පහ දිස්‌ත්‍රික්‌ සටනේ සන්ධානය ප්‍රමුඛව සිටියේය. ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළුÊනායකයෝ ඉදිරියෙන්ම සිටියහ. විශේෂයෙන්ම ලන්සා පසුගිය ඡන්දවලදී මෙන් අතිවිශාල ප්‍රමාණයෙන් මුදල් වියදම් කළේ නැත. එහෙත් ඔහු වෙනදාට වඩා ජනතාව අතරට ගොස්‌, ගෙයින් ගෙට ගොස්‌ ඔවුන් සමඟ කතාබහ කර ජනතාවගේ ආදරය දිනාගන්නා සටන කැපී පෙනිණි. ලන්සා විශේෂයෙන් වීදි නාට්‍ය කණ්‌ඩායම් හා සුවිශේෂී සංස්‌කෘතික උපක්‍රම පාවිච්චි කරමින් මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ අවධානය දිනාගැනීමේ ක්‍රියාදාමය කැපී පෙනිණි.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කාන්තාවන්ගේ සටන ද විශේෂත්වයක්‌ පෙන්නුම් කළේය. සුදර්ශනී එහි මුල් පෙළේ සිටියාය. රත්නපුරයේදී පවිත්‍රා හා තලතා යන දෙදෙනාම මුල් පෙළේ කැපී පෙනිණි. කොළඹ කාන්තා සටනේ ප්‍රමුඛ නියෝජනය රෝසි සේනානායක වූවාය. මේ අයුරින් රටේ කැපී පෙනෙන සටන් හා චරිත ගණනාවක්‌ම ඡන්ද සටනේ වූහ.

පසුගිය සතියේ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී වැඩි දෙනකුගේ අවධානයට ලක්‌වූයේ අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම පිළිබඳ කතාබහය. අගමැති රනිල් මේ පිළිබඳ අවධානය යොමු කරමින් කීවේ අලුත් පනතකින් මෙම කොමිසම සක්‍රීය කළ යුතු බවයි. අද අක්‍රියව තිබෙන මේ කොමිසමේ කටයුතු සක්‍රීය කිරීමට නම් මෙය අලුත් පනතකින් ස්‌වාධීන කොමිසමක්‌ කළ යුතු බව ඔහු යෝජනා කළේය.

පහුගිය දවස්‌වල මේකේ දුර්වලතා කැපී පෙනුණා. අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂවරයා ඉල්ලා අස්‌වුණා. කොමිසම අකර්මණ්‍ය වුණා. ඒ දුර්වලතා අපි හදාගන්න ඕන. ඊළඟ වතාවේ අපි මේක ක්‍රමවත් කරගමු. රනිල් කීවේය.

ඒ අනුව ඊට අවශ්‍ය අදහස්‌ උදහස්‌ සෙසු ඇමැතිවරුන් ද ලබා දුන්හ. වෙනදා තරම් වැඩි වේලාවක්‌ මිඩංගු නොකර මෙවර කැබිනට්‌ රැස්‌වීම අවසන් විය. ඒ අතර ජනාධිපතිවරයා රාජිත ඇතුළු ශ්‍රීලනිපයෙන් ඉවත් කරන ලද සාමාජිකයන්ට නතර වන ලෙස කීවේය. ඔවුන් සමඟ ජනාධිපතිවරයා වෙනම රැස්‌වීමක්‌ පවත්වන ලද අතර එම්. කේ. ඩී. එස්‌. ඊට සහභාගි නොවී සද්ද නොකරම පිටත්ව ගොස්‌ තිබිණි. ජනාධිපතිවරයා හා ඔවුන් අතර සාකච්ඡාව තුළ සිදු වූ කරුණු කාරණා හෙළිදරව්ව තිබුණේ නැත.

සෙල්ෆි නෙවෙයි සෙල්ෆිෂ්

පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද කුරුණෑගල ප්‍රචාරක රැස්‌වීම්වලට සහභාගි වී දිවා ආහාරය ගැනීම සඳහා වැව රවුමේ ජොන්ස්‌ටන්ගේ නිවසට ගිය අතර තවත් අපූරු සිද්ධියක්‌ විය.

එදා මහින්ද හමුවන්නට දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ රැසක්‌ පැමිණ සිටියහ. මහින්ද මේ පිරිස සමඟ කතා බහ කර පසුව ගියේ දිවා ආහාරය ගැනීමටය. ආහාර ගන්නට යන විට පවා හතර පස්‌දෙනෙක්‌ ඔහු පිටිපස පැමිණියහ.

මහින්ද මේ පිරිස දෙස විමසුම් බැල්මක්‌ හෙළුවේ ඇයි ඔයාලා යන ප්‍රශ්නය අහන්නාක්‌ මෙනි.

අපට ඔබතුමා එක්‌ක සෙල්ෆි පොටෝ කීපයක්‌ ගන්න ඕන.

හා හා ගනිමුකො කියූ මහින්ද කෑම ගැනීම නතර කර ඔවුන් හා එක්‌වූයේය. එතනට ආ ජොන්ස්‌ටන් ඊට අලුත් අර්ථකථනයක්‌ දුන්නේය.

ඕකට කියන්නෙ මචං 'සෙල්ෆිs' නෙවෙයි. 'සෙල්ෆිෂ්' කියලයි. ජොනී කීවේ තම හිතවතුන්ටත් නොරිද්දා මහින්දට වූ කරදරය ගැන යාළුවන් දැනුවත් කරන්නාක්‌ මෙනි.

මොනරාගල හූවට ජගත්ගෙන් උප්පරවැට්‌ටියක්‌

පසුගිය සතියේ බ්‍රහස්‌පතින්දා මොනරාගල සන්ධානයේ ප්‍රධාන රැස්‌වීම පැවැත්විණි. සිරිගල නිවසේ නතරව සිටි මහින්ද රාජපක්‍ෂ රැලිය සඳහා නගර සභා පිටියට එන විට හවස පහ පමණ වී තිබිණි.

එදින රැස්‌වීම පටන් ගත්තේ මොනරාගල සංවිධායිකා සුමේධාගේ ප්‍රධානත්වයෙන් හවස 3.00 ට පමණය. ඒ වෙලාවේ ලොකු සෙනඟක්‌ එම පිටියේ සිටියේ නැත. හවස 4.00 ට පමණ හත්දහසකට අධික සෙනඟක්‌ සමඟ ජගත් පුෂ්පකුමාර පැමිණියේය. මහින්ද එන විට නගර සභා පිටිය ජනයාගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි.

සංවිධායකයන්ගේ කතා අතර ජගත් පුෂ්පකුමාර කතා කරන්නට පැමිණි විට සභාවේ සිටි එක්‌තරා පිරිසක්‌ සංවිධානාත්මකව හූ කියන්නට පටන් ගත්හ. ජගත් එය එතරම් සැලකිල්ලට නොගෙන කතා කළේය. අවසානයේ ඔහු කීවේ මේ වගේ සුළු පිරිසක්‌ හූ කියන්නට බලා සිටින බව තමා කලින් දැන සිටි නිසා ඊට සූදානම්ව පැමිණි බවය.

ජගත් හූව ගණන් නොගත්තත් ඊට පසු කතා කළ විජිතමුණි සොයිසාට නම් ඒ හූවෙන් තරමක්‌ කේන්ති ගිය බවක්‌ පෙනෙන්නට තිබිණි. ඔහු ඊට ප්‍රතිචාර දැක්‌වූයේ ඉතිහාසයේ වරක්‌ සෝමවීර චන්ද්‍රසිරි හූ කියන්නන් පිරිසකට කියන ලද කවියක්‌ ද නැවත කියමිනි.

මේ සියල්ල දෙස බලා සිටි මහින්ද රාජපක්‍ෂ අවසානයේ තම කතාවේදී සියල්ලට උත්තර දුන්නේය. මෙබඳු ආකාරයේ පටු වාද බේද නොසලකා මේ අටදෙනාගෙන් දක්‍ෂයන් පිරිසක්‌ තෝරා පාර්ලිමේන්තුවට එවන මෙන් ඔහු ජනතාවට ආරාධනා කළේය. ඒ අටදෙනාම තමන්ගේ බව ඔහු අවධාරණය කළේ කිසිවෙකුටත් අසාධාරණයක්‌ නොකරමිනි.



බුලිත ප්‍රදීප් කුමාර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.