'මාලිංග නෙමෙයි, කණ්‌ඩායම තේරුවෙ අප'
- තේරීම් කමිටු සභාපති


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම පරදින විට විවේචන බොහෝය. එවිට කණ්‌ඩායමට මෙන්ම ක්‍රිකට්‌ තේරීම් කමිටුවටත් පුහුණුකරුවාටත් එක එල්ලයේම චෝදනා ගලාගෙන එයි. එම චෝදනාවල සත්‍ය අසත්‍යතාවයට පිළිතුරු බැඳිය යුත්තේ ඔවුන්මය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති කපිල විෙ-ගුණවර්ධන ඇතුළු තේරීම් කමිටුවටද දැන් මේ ස්‌වභාවයට මුහුණදීමට සිදුව තිබේ.

තේරීම් කමිටුවක්‌ වශයෙන් තමන් ඇතුළු සාමාජිකයන් වෙතින් සියයට සියයක්‌ හරි දේ සිදුවනවා යෑයි කියා ඔහු පිළිනොගන්නේ ඕනෑම කෙනෙකු අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්‌ බැවිනි. එහෙත් දක්‍ෂයන් එළියටත් අදක්‍ෂයන් ඇතුළටත් ඇති බව හොඳින්ම තීරණය කරනු ලබන්නේ ක්‍රිකට්‌ වෙනුවෙන් කෑ මොර දෙන ප්‍රේක්‍ෂකයන්ය. විවේචන අතර සාධාරණ මෙන්ම අසාධාරණ විවේචනද තිබෙන බව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.

කෙසේ වෙතත් පකිස්‌තාන් තරගාවලියේදී ඔහු නම් කළ ශ්‍රී ලංකා සංයුතියේ ඇතැම් ක්‍රීඩකයන් පිළිබඳව තවමත් උඩුදුවන ප්‍රශ්න වැලක්‌ තිබේ. එම ප්‍රශ්න වැලම කපිල විෙ-ගුණවර්ධන මහතාට 'දිවයින ඉරිදා සංග්‍රහය' යොමු කළ විට ඔහු මෙසේ පිළිතුරු දැක්‌වීය.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පසුගිය පරාජය සමග තේරීම් කමිටුවටත් විවිධ චෝදනා එල්ල වුණා. ඒ චෝදනා පිළිබඳව ඔබේ මතය කුමක්‌ද?

පිළිතුර - දිනුවත් පැරදුණත් චෝදනා එල්ල වෙනවා. එක කොට්‌ඨාසයක්‌ සාධාරණ විවේචන කරනවා. තවත් සමහරු මතභේදාත්මක විවේචන කරනවා. ඒක සාමාන්‍ය දෙයක්‌

ප්‍රශ්නය - ඔබේ තේරීම් කමිටුව සියයට සියයක්‌ නිවැරදි තේරීම් කළා කියල හිතනවද

පිළිතුර - අපි කියන්නෙ නැහැ සියයට සියයක්‌ හරියට අපි කරනවා කියලා. අපි අතිනුත් වැරදි වෙන්න පුළුවන්. නමුත් උපරිම සාධාරණ තේරීම් තමයි අපේ කමිටුව සිදු කරන්නෙ. අපි කමිටුවක්‌ හැටියට සාකච්ඡා කරල බහුතර කැමැත්ත පරිදි තමයි අන්තිම විසඳුම ගන්නෙ.

ප්‍රශ්නය - තේරීම් සිදුකිරීමේ එක එක බලපෑම් මත ක්‍රීඩකයන්ව නම් කළා කියලත් චෝදනාවක්‌ තියෙනවා.

පිsළිතුර - අපි තේරීම් කරන්න ඉස්‌සර වෙලා කණ්‌ඩායමේ නායකයා සහ පුහුණුකරුවා සමග සාකච්ඡා කරනවා. නමුත් අවසන් තීරණය ගන්නෙ අපේ කමිටුව. මම ඉතාමත් වගකීමෙන් කියනවා කාගෙවත් බලපෑමක්‌ මත කිසිම ක්‍රීඩකයකුව නම් කළේ නැහැ කියලා.

ප්‍රශ්නය - මම අහන්නෙ විස්‌සයි විස්‌ස සංචිත තේරීමේදී ලසිත් මාලිංගගේ ඕනෑ කම අනුව ඔබ තීන්දු තීරණ ගත්තා කියල ආරංචි පැතිර යනවා.

පිළිතුර - අපි කණ්‌ඩායම තෝරන්න ඉස්‌සර වෙලා ඔහු සමග සාකච්ඡා කළා. ඒ හැරෙන්න ඔහු අපිට මේ අයවම ඕනෑ කියල කිව්වෙ නැහැ. අපි අවසානයේ තේරීම් කමිටුවේ සියලු දෙනා සාකච්ඡා කරල තමයි ඒ සංචිතය තේරුවෙ. අපි තෝරපු සංචිතයට මාලිංගත් ඉතාමත් සතුටු වුණා.

ප්‍රශ්නය - දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ඉවත් කළේ මාලිංගගේ වුවමනාව පරිදි කියල තමයි කියන්නෙ. එහෙම දෙයක්‌ වුණේම නැද්ද?

පිළිතුර - අපි ඉදිරියට කණ්‌ඩායම තෝරගන්න නවකයන්ට අවස්‌ථාව දෙන්න තීරණය කරල තිබ්බෙ. මොකද චන්දිමාල් සහ තිරිමාන්න දැන් කණ්‌ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙපළක්‌. ඔවුන් එක දිගට මාස එකහමාරක්‌ විතර ක්‍රීඩා කළ නිසා තමයි විස්‌සයි විස්‌ස තරග දෙකේදී විවේකයක්‌ ලබා දුන්නෙ. මොකද ඉදිරියේදී එක දිගට අපිට තරගවලට සහභාගි වෙන්න තියෙනවා. ඒ දෙන්න විතරක්‌ නෙමෙයි ඇන්ජලෝ මැතිව්ස්‌ වුණත් ඉදිරියේදී විවේක ගන්වන්න වෙයි. ඒක අවස්‌ථානුකූලව අපි බලනවා.

ප්‍රශ්නය - චාමර කපුගෙදරව විස්‌සයි විස්‌ස සංචිතයට නම් කිරීම සාධාරණ නොවන තීන්දුවක්‌ කියලත් චෝදනා එල්ල වෙනවා. ඔහු දේශීය තරගවලදීත් අසාර්ථක වෙලා. නමුත් විස්‌සයි විස්‌ස පුහුණු සංචිතය තේරීම සඳහා පැවැති තරගවලදී ඉක්‌මනින් දැවී ගියහම දෙපාරක්‌ ගහන්න දීල තමයි ඔහුව සංචිතයට ගෙනල්ල තියෙන්නෙ. මේක අනික්‌ ක්‍රීඩකයන්ට අසාධාරණයක්‌ නෙවෙයිද?

පිළිතුර - සමහර ක්‍රීඩකයන්ගෙ දක්‍ෂතාව මොනවද කියල අපි හඳුනගෙන ඉන්නෙ. විස්‌සයි විස්‌ස තරගවලදී ගොඩක්‌ වෙලාවට අඩු පන්දු සංඛ්‍යාවකදී වැඩි ලකුණු ගාණක්‌ ගහන්න අවස්‌ථාව එනවා. ඉතිං චාමර කපුගෙදරට ඒ වගේ අවස්‌ථාවලදී වේගයෙන් ලකුණු ගන්න හැකියාවක්‌ තියෙන නිසා තමයි ඔහුට දෙපාරක්‌ බැට්‌ කරන්න දීලා හරි කණ්‌ඩායමට ගෙනාවේ. ඒ වගේ විශේෂඥ ක්‍රීඩකයන්ව පුහුණු තරගවලදී ඉක්‌මනින් දැවී ගියොත් අපි නැවතත් ඔවුන්ට අවස්‌ථාව දීල බලනව තත්ත්වය කොහොමද කියල.

ප්‍රශ්නය - එක්‌දින සංචිතයට නම් කළ සචිත් පතිරණත් ගහෙන් ගෙඩි එන්න මෙන් තමයි කණ්‌ඩායමට ආවේ. ඔහු දේශීය තරගවලදීත් අසාර්ථක ක්‍රීඩකයෙක්‌. ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමෙත් ඔහුට ස්‌ථානයක්‌ තිබුණෙ නැහැ. ඒක ප්‍රතිඵලයක්‌ වුණේ ඔහු ජාතික කණ්‌ඩායමෙත් තුන් ඉරියව්වෙන්ම අසාර්ථක ක්‍රීඩකයෙක්‌ බවට සනාථ වීම.

පිළිතුර - පකිස්‌තාන් කණ්‌ඩායමේ ගොඩක්‌ පිතිකරුවන් දකුණත් පිතිකරුවන්. ඒක නිසා අපිට වමත් දඟ පන්දු යවන්නකුගෙ අවශ්‍යතාව තිබුණ නිසා තමයි පතිරණව ගෙනාවෙ. මොකද රංගන හේරත් අපිට කියල තිබ්බ එක්‌දින තරගාවලියට එයාව නම් කරන්න එපා කියලා. නමුත් මිලින්ද සිරිවර්ධන අපි හොඳ අනාගතයත් ඇති ක්‍රීඩකයකු කියල ඒ තරගාවලියේදී සොයා ගත්තා.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහණුකරු විදිහට මාවන් අතපත්තු තේරීම්වලට ඇඟිලි ගහන්නෙ නැහැ කියල කියනවා. පුහුණුකරු විදිහට ඔහුගෙන් ඒ පිළිබඳව විමසන්නෙම නැද්ද

පිළිතුර - මාවන් කියූ දෙය නිවැරදියි. අපි ඔහුගෙන් ඒ පිළිබඳව ඇහුවත් අපි තමයි අවසන් තීරණය ගන්නෙ.

ප්‍රශ්නය - විස්‌සයි විස්‌ස දේශීය තරගවලදී දක්‍ෂතා දැක්‌වු අලංකාර අසංක සහ චානක වෙලගෙදරට ස්‌ථානය අහිමි වෙලා තියෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අශාන් ප්‍රියංජනටත් ස්‌ථානයක්‌ ලැබිල නැහැ. ඒ නිසා ඔවුන්ට අසාධාරණයක්‌ වෙලා තියෙනව නේද?

පිළිතුර - අපි මේ හැම ක්‍රීඩකයකුටම ඉදිරියේදී අවස්‌ථාව දෙන්න තමයි තීරණය කරල තියෙන්නෙ. දක්‍ෂතා දක්‌වන කිසිම ක්‍රීඩකයකුට අසාධාරණයක්‌ කරන්නෙ නැහැ. ඔවුන්ට ඉදිරියේදී අවස්‌ථාව අනිවාර්යෙන් ලැබෙනවා.

ප්‍රශ්නය - ඇන්ජලෝ මැතිව්ස්‌ කියන්නෙ දක්‍ෂතා තියෙන ක්‍රීඩකයන් සොයා ගන්න අමාරුයි කියලා. ඒ අනුව තේරීම් කමිටුව දැඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා ඇති සුදුසු ක්‍රීඩකයන් තෝර ගන්න.

පිළිතුර - මම හිතන්නෙ මැතිව්ස්‌ කියන්න ඇත්තෙ පළපුරුදු දක්‍ෂතා තියෙන ක්‍රීඩකයන් නොමැති එක වෙන්න ඇති. කොහොමත් අපිට හොඳ ක්‍රීඩකයන් ටිකක්‌ ඉන්නවා. ඒ අයව ටිකෙන් ටික කණ්‌ඩායමට ගේනවා. අපි අද සහ හෙට ගැන හිතල තමයි මේ හැම තේරීමක්‌ම සිදුකරන්නෙ. එහිදී විවේචන එන්න පුළුවන්. සාධාරණ විවේචනවලට අපි ඇහුම්කන් දෙනවා. නමුත් සමහරු කිසිම පදනමක්‌ නැතිව කරන විවේචනත් තියෙනවා.

සාකච්ඡා කළේ - අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.